දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සංවේදී කාරණා වලට බොහෝ පිරිසක් සැබවින්ම සංවේදී තුළින්, එවැනි කාරණා ඔස්සේ හුවමාරු ඇතැම් අවස්ථාවල අසත්‍ය හෝ නොමග යන සුළු ගැබ්ව ඇති බවට අනවබෝධයෙන් පසුවෙති. ඒ ආකාරයේන ඉන්දියාවේ සිදුවූ බෝට්ටුවක් පෙරළී 10 දෙනෙකුට මරණය කැන්දූ ඛේදවාචකය සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ Factcrescendo Sri Lanka අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉන්දියාවේ නර්මදා ගඟේ බාර්ගි වේල්ලේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පසු ජීවිතාරක්ෂක කබායකින් තම 4 හැවිරිදි පුතා අල්ලාගෙන සිටින මවකගේ සහ දරුවෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ සංවේදී සටහනක් සමගින්.
එම සටහන් වල වැඩි දුරටත් සඳහන් වූයේ මෙලෙසින්,
“මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජබල්පූර් හි බාර්ගි වේල්ලේ සිදු වූ සුඛෝපභෝගී බෝට්ටු අනතුර මුළු රටම කම්පා කර තිබේ. සංචාරක චාරිකාවක් සඳහා පුද්ගලයින් 40 දෙනෙකු පමණ රැගෙන යමින් සිටි බෝට්ටුවක් ජලය මැදදී පෙරළී යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ඛේදජනක ලෙස මිය ගියේය; 28 දෙනෙකු ආරක්ෂිතව බේරාගෙන ඇති අතර, අතුරුදහන් වූවන්ගෙන් සමහරක් සෙවීමේ කටයුතු දැඩි ලෙස සිදුවෙමින් පවතී.
ගලවා ගැනීමේ කණ්ඩායම් බෝට්ටුව කරා ගිය විට, දිල්ලි සිට පැමිණි ජූලියස් මෙසී සහ ඔහුගේ ළදරු දියණිය වන සියා මෙසීගේ සිරුරු එකට සොයා ගන්නා ලදී.
මරණාසන්නව සිටියදී පවා මව ජුලියස් තම දරුවා පපුවට තුරුළු කර ගත් සංවේදී දර්ශනය ගල් හදවතක් පවා උණු කිරීමට ප්‍රමාණවත් විය.
අනතුරට හේතුව බලධාරීන්ගේ නොසැලකිල්ල බව දිවි ගලවා ගත් අය චෝදනා කරති. බෝට්ටුවේ සිටි මගීන්ට ජීවිතාරක්ෂක කබා ලබා දී නොමැති බවත් ඔවුන් අගුළු දැමූ කාමරයක රඳවා ඇති බවත් පැවසේ.
තවද, අද්දැකීම් අඩු රියදුරන්, මගීන්ට අධික ලෙස වාහන පටවා ගැනීම සහ අයහපත් කාලගුණය තුළ බෝට්ටුව ධාවනය කිරීම වැනි නීති විරෝධී ක්‍රියා මෙම මරණවලට හේතු අතර වේ.
අග්‍රා සිට පැමිණි විශේෂ ගලවා ගැනීමේ කණ්ඩායමක් දැඩි අභියෝග මධ්‍යයේ බෝට්ටුවේ කොටස් කඩා දමා මළ සිරුරු සොයා ගෙන ඇත. ලාභය පමණක් අරමුණු කර ගනිමින් මගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක් කර ඇති මෙම සිදුවීම දැන් කළමනාකාරිත්වය පිළිබඳව බොහෝ ප්‍රශ්න මතු කර තිබේ.”

මෙම ඡායාරූප සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.






මෙම ඡායාරූප කතාවේ සත්‍ය සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 අප්‍රේල් 30 වන දින සන්ධ්‍යාවේ මධ්‍ය ප්‍රදේශ්හි ජබල්පූර්හි බාර්ගි වේල්ලේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් (Cruise boat) සවස 6.15 ට පමණ අනතුරකට ලක් විය. හදිසියේ ඇති වූ දරුණු කුණාටුවක් සහ පැයට කිලෝමීටර් 70කට වඩා වැඩි වේගයකින් හැමූ තද සුළඟ හේතුවෙන් පාලනය කරගත නොහැකි වූ බෝට්ටුව ජලාශය මැදදී පෙරළී ගොස් තිබුණා.
මෙම බෝට්ටුව පෙරළීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු බේරාගෙන ඇති අතර හතර දෙනෙකු අතුරුදහන්ව ඇත.
වර්ෂාව සහ අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන අතර, සෝදිසි මෙහෙයුම් අතරතුර, එකිනෙකා බදාගෙන සිටි මවකගේ සහ ඇගේ පුතාගේ මළසිරුරු සොයා ගත් බව ත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම මවගේ සහ දරුවාගේ ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඉහත ඡායාරූපය බහුලව සංසරණය වී තිබුණා. නමුත් මෙම ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී, එහි යම් අසාමාන්‍යතා නිරීක්ෂණය වනවා. මවට එක් ඇහැක ඇහිබැමි දෙකක් පැවතීම, මව සහ පුතා යන දෙදෙනාගේම සමේ ස්වභාවය සහ මවගේ අත් වළල්ල ස්වභාවික බවක් දැක ගන්නට නොලැබේ.

මෙවැනි අසාමාන්‍යතා සාමාන්‍යයෙන් AI (කෘතිම බුද්ධිය) මගින් ජනනය කරන ලද ඡායාරූප වල දක්නට ලැබෙන බැවින් අප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයකට මෙම ඡායාරූපය යොමු කරනු ලැබුවා.


ඒ අනුව තහවුරු වුණේ, මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූපයක් බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව වැඩිදුර කළ පරීක්ෂාවේදී මෙම සිදුවීමට අදාළ සත්‍ය අවස්ථාවේ වීඩියෝවක් NDTV මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
මෙම ඡායාරූප ප්‍රථමයෙන් ම ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර මෙලෙසින් හුවමාරු වී තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජබල්පූර් දිස්ත්‍රික් පරිපාලනය මෙම ඡායාරූපය බාර්ගි වේල්ලේ අනතුරට කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලි කර තිබෙනවා.
එම පරිපාලනය විසින් ඊයේ(1) නිකුත් කරන ලද නිල නිවේදනයක බලධාරීන් සඳහන් කර ඇත්තේ, මෙම රූපය කෘතිමව නිර්මාණය කරන ලද්දක් (AI-generated) හෝ වෙනත් සන්දර්භයකින් ලබාගත් එකක් බවයි.
Jabalpur Collector (ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ජබල්පූර් දිස්ත්‍රික්කය පාලනය කරන ඉහළම පරිපාලන නිලධාරි) නිල X පණිවිඩයකින් සඳහන් කර තිබුණේ, මෙම ඡායාරූපය AI මගින් නිර්මාණය කරන ලද්දක් හෝ වෙනත් ප්‍රභවයකින් ලබාගත් එකකි. බාර්ගි බෝට්ටු අනතුර සමඟ මෙහි කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
https://twitter.com/jabalpurdm/status/2050157728182734851
මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, මෙම සංචාරක බෝට්ටුව පෙරළීමෙන් පසු ජීවිත කිහිපයක් අහිමි වී, තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් වී සිටින පසුබිමක බාර්ගි වේල්ලේ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරදීය. මෙවැනි ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය වීම විපතට පත් පිරිසේ අනන්‍යතාව තහවුරු කිරීමට බාධාවක් බව එරට බලධාරීන් පෙන්වා දී තිබෙනවා.
ඛේදවාචකය
මෙම බෝට්ටුව මධ්‍ය ප්‍රදේශ් සංචාරක ක්‍රියාත්මක දෙපාර්තමේන්තුව (MP Tourism) මගින් කරන ලද සංචාරක බෝට්ටුවකි.
සංචාරකයින් මෙම බෝට්ටුවෙන් ගමන් කරමින් සිටියේ බාර්ගි වේල්ලේ ඇති ඛමරියා දූපත (Khamariya Island) නැරඹීම සඳහායි. අනතුර සිදු වූයේ ඔවුන් නැවත වෙරළ දෙසට පැමිණෙමින් සිටියදී, වෙරළේ සිට මීටර් 300ක් පමණ දුරින් ජලාශය මැදදීය.
අප්‍රේල් 30 වන දින සන්ධ්‍යාවේ ජබල්පූර්හි බාර්ගි වේල්ලට බලපෑ දරුණු කුණාටුවත් සමඟ නර්මදා නදියේ ගිලී ගියේ සංචාරක බෝට්ටුවක් පමණක් නොවේ. ඒ සමඟම සිහින, නිවාඩු සතුට, සිනහව සහ මුළු මහත් ලෝකයන්ම දියේ ගිලී ගියේය.
මරීනා මැසී (Marina Massey) නමැති මව, ට ඇගේ කුඩා පුත් ට්‍රිෂාන්ව (Trishaan) තමාගේම ජීවිතාරක්ෂක කබාය තුළ දවටාගෙන පපුවට තද කරගෙන තිබුණා. අවසන් හුස්ම හෙළන තුරුත් තම දරුවාව තුරුළු කරගෙන සිටි මවගේ මෙම දර්ශනය බාර්ගි වේල්ලේ බෝට්ටු අනතුරේ හදවත කම්පා කරවන සංකේතය බවට පත්ව ඇත. ඛමරියා දූපත අසලදී ඇති වූ දැඩි සුළඟ, රළ සහ හදිසි වර්ෂාව මධ්‍යයේ මෙම අධික මගීන් පිරිසක් රැගත් බෝට්ටුව පෙරළී ගොස් තිබුණා. මේ වන විට මළසිරුරු නවයක් සොයාගෙන ඇති අතර 28 දෙනෙකු බේරාගෙන ඇත.මෙම සමස්ත ඛේදවාචකය අතරතුර මරීනා සහ තෘෂාන්ගේ කතාව මුළු රටම කම්පාවට පත් කර තිබුණා. දිල්ලියේ පදිංචි මෙම පවුල ජබල්පූර් වෙත පැමිණ තිබුණේ තම ඥාතීන්ගේ නිවාස උත්සවයකට සහභාගී වී ගිම්හාන නිවාඩුව විනෝදයෙන් ගත කිරීමටයි.
මෙම අනතුරින් ඇගේ දියණිය සියියා (Siya) සහ සැමියා ප්‍රදීප් මැසී දිවි ගලවා ගෙන තිබෙනවා. සියියා මාධ්‍ය වෙත මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
“සුළඟේ වේගය එකපාරටම වැඩි වෙද්දී අපි හොඳින් වාඩි වෙලා හිටියේ. කාලගුණය නරක අතට හැරෙන නිසා බෝට්ටුව වෙරළට පාලම් කරන ලෙස මිනිස්සු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ,” ඇය පැවසුවාය. සියියා සදහන් කරන පරිදි, අනතුර පැහැදිලිවම පෙනෙන්නට තිබූ අතර මගීන් කලබල වී සිටියද බලධාරීන් එම අනතුරු ඇඟවීම් සැලකුවේ නැත. “ඒ වෙනුවට ඔවුන් බෝට්ටුව කෙලින්ම ජලාශය මැදට ධාවනය කළා.”මරීනා සහ කුඩා ට්‍රිෂාන්ට බෝට්ටුවේ පහළ තට්ටුව මර උගුලක් විය. “බෝට්ටුවේ ජනේල කුඩු වුණා. මගේ අම්මයි මල්ලියි හිටියේ පහළ පැත්තේ නිසා ඔවුන් සිරවුණා. මම කොහොම හරි එළියට ආවා, නමුත් ඔවුන්ට එළියට එන්න ලැබෙන්න කලින් බෝට්ටුව සම්පූර්ණයෙන්ම කඩු වුණා.”දිවි ගලවා ගත්තේ සියියා සහ ඇගේ පියා පමණි. ඇගේ මව සහ සහෝදරයාට එයට නොහැකි විය. එමෙන්ම ජීවිතාරක්ෂක කබා නියමිත වේලාවට ලබා නොදුන් බවටද සියියා චෝදනා කළාය. “මගේ තාත්තයි තවත් මනුස්සයෙකුයි තමයි කැබින් එක ඇතුළේ තිබුණු අල්මාරියක් වගේ කොටසක් කඩලා ජීවිතාරක්ෂක කබා එළියට අරගෙන අපිට බෙදුවේ.”තම මව සහ සහෝදරයා කෙසේ හෝ බේරී ඇතැයි යන බලාපොරොත්තුවෙන් සියියා මුළු රාත්‍රියම ගත කළාය. එහෙත් උදෑසන උදා වූයේ අමිහිරි පුවතක් රැගෙනයි. ඔවුන්ගේ සිරුරු සොයාගනු ලැබුවේ තවමත් එකිනෙකා වැළඳගෙන සිටියදීය. මරීනා තම පුතාව කෙතරම් තදින් තුරුළු කරගෙන සිටියේද යත්, ඔවුන් මරණයට මුහුණ දී සිටියේ වෙන් කළ නොහැකි ලෙස මවක් සහ පුතෙකු ලෙසයි. මෙම අනතුරෙන් සියියාට ඇගේ මව සහ සහෝදරයා පමණක් නොව ඇගේ මිත්තණියද අහිමි විය.”අපි මෙහෙ ආවේ මගේ මාමාගේ නිවාස උත්සවයට. මගේ ආච්චියි සීයයි ආවේ ගොඩක් කාලෙකට පස්සේ. අපි තීරණය කළා ඔවුන් එක්ක විනෝද වෙන්න ඇවිදින්න යන්න.” මේ පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තාවක් මෙතනින්.
ජබල්පූර්හි බාර්ගි වේල්ලේ සිදුවූ මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් අද (2) වන විට පවතින තත්ත්වය
තහවුරු වූ මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත. අද දින දරුවෙකුගේ සිරුරක් හමු වූ අතර, තවත් පුද්ගලයින් තිදෙනෙකු හෝ හතර දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.
ඉන්දීය යුධ හමුදාවේ කිමිදුම්කරුවන් , NDRF සහ SDRF කණ්ඩායම් එක්ව අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් අදත් (දෙවන දිනයේදීත්) අඛණ්ඩව සිදු කරනු ලබනවා. ජලාශයේ අඩි 20ක් පමණ ගැඹුරේ සිරවී තිබූ බෝට්ටුවේ සුන්බුන් හයිඩ්‍රොලික් යන්ත්‍ර යොදාගෙන ගොඩට ගෙන ඇත.
බෝට්ටුවේ නියමුවා (Pilot), සහායකයා සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නා සේවයෙන් පහකර ඇති අතර බෝට්ටු සමාජයේ (Boat Club) කළමනාකරුගේ සේවය ද, අත්හිටුවා ඇත. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය පුරා පිහිටි සංචාරක ස්ථානවල සංචාරක බෝට්ටු සහ ක්‍රෲස් (Cruise) මෙහෙයුම් තාවකාලිකව තහනම් කර ඇත.
අධික මගීන් පිරිසක් පැටවීම, කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම සහ ජීවිතාරක්ෂක කබා බෙදා දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් උසස් මට්ටමේ පරීක්ෂණයක් (high-level probe) ආරම්භ කර ඇත. මියගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ 4ක වන්දියක් (ප්‍රාන්ත රජයෙන් ලක්ෂ 2ක් සහ මධ්‍යම රජයෙන් ලක්ෂ 2ක්) සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000 බැගින් ලබා දෙන බව ප්‍රකාශ කර ඇත
මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත්, සංචාරක බෝට්ටු සඳහා දැඩි ආරක්ෂක නීති පනවන ලෙසත් ප්‍රාන්ත රජය නියෝග කර ඇත. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉන්දියාවේ නර්මදා ගඟේ බාර්ගි වේල්ලේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පසු ජීවිතාරක්ෂක කබායකින් තම 4 හැවිරිදි පුතා අල්ලාගෙන සිටින මවකගේ සහ දරුවෙකුගේ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇති ඡායාරූපයක් බවයි. මෙහි සත්‍ය අවස්ථාවේ තොරතුරු වලින් මෙම ඡායාරූපය ජනනය කර තිබේ.


