දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රාශියක් සමාජ මාධ්‍ය වේදිකා තුළ හුවමාරු වී තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ලෙස පත්වීමෙන් පසු ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර ඇති බවත්, ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා දකුණු අප්‍රිකාවේ පරිදි ජාතිකත්ව, ආගමික කෝටාවක් හඳුන්වා දී ඇති බවත් ඒ අනුව, සිංහල බෞද්ධ ක්‍රීඩකයන් 3ක්, සිංහල කතෝලික ක්‍රීඩකයන් 3ක්, ශ්‍රී ලංකා දෙමළ ක්‍රීඩකයන් 2ක්, මුස්ලිම් ක්‍රීඩකයන් 1ක්, කඳුකර දෙමළ ක්‍රීඩකයන් 1ක් සහ බර්ගර් ක්‍රීඩකයන් 1ක් වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක සංයුතිය නිර්මාණය කර ඇති බවත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණා.

මෙම සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 අප්‍රේල් 29 වන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ (SLC Transformation Committee) සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත් කරන ලදී. මෙය සිදු වූයේ එවකට සිටි සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාව ඉල්ලා අස්වීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි. මෙම කමිටුව සඳහා කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් ද ඇතුළත් සාමාජිකයින් නව දෙනෙකු පත් කර ඇත. ඉරාන් වික්‍රමරත්න මහතා ප්රමුඛ කමිටුව මේ වන විටත් පාලන ප්‍රතිසංස්කරණ සහ දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු සිදු කරමින් සිටියි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමු වී ඇති පසුබිමක, ඉරාන් වික්‍රමරත්න මහතා ප්රමුඛ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ජාතිකත්වය සහ ආගමිකත්වය පදනම් කරගත් කෝටාවක් හඳුන්වාදීමට කටයුතු කර ඇත්නම්, එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ප්රමුඛ අවධානයකින් වාර්තාකර තිබිය යුතුයි. අප විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ මෙවැනි පුවතක් වාර්තාකර ඇත්ද යන්න පරීක්ෂා කළත් එවැන්නක් දැකගන්නට ලැබුණේ නැහැ.
එසේම නව පත්වීමෙන් පසු ඉරාන් වික්‍රමරත්න මහතා ප්රමුඛ නව ක්‍රිකට් පරිවර්තන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අදහස් මොනවා ද යන්න සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සැලසුම් මොනවාද යන්න සම්බන්ධයෙන්ද අප අවධානය යොමු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම පිළිබඳ ඉරාන් වික්‍රමරත්න මහතා විසින් සිදු කළ නිල ප්‍රකාශය

ඉරාන් වික්‍රමරත්න මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මූලික අරමුණ ක්‍රිකට් ආයතනය තුළ දක්ෂතාවය මත පදනම් වූ ක්‍රමයක් ස්ථාපිත කිරීම බවයි. ජාති හෝ ආගම් අනුව ක්‍රීඩකයින් වෙන් කිරීමක් ගැන ඔහු කිසිදු තැනක සඳහන් කර නැත.
TOP NEWS ෆේස්බුක් පිටුවේ ආකෘතියෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනක්
අදාළ සමාජ මාධ්‍ය සටහන TOP NEWS නම් ෆේස්බුක් පිටුවක ලාංඡනය සමඟ එම ආකෘතියෙන් පළ වී තිබූ අතර, කෙසේ නමුත් එම පුවත් පිටුව පරීක්ෂා කිරීමේදී එවැනි සටහනක් දැක ගන්නට ලැබුණේ නැහැ. TOP NEWS පුවත් පිටුවේ ආකෘතියෙන් නිර්මාණය කර ඇති මෙම සමාජ මාධ්‍ය සටහන TOP NEWS නිල පුවත් පිටුව විසින් නිර්මාණය කරන ලද හෝ පළ කරන ලද පුවතක් නොවන බව එම ෆේස්බුක් පිටුව ඔස්සේ තහවුරු කරමින් සටහනක් තබා තිබුණා. එම සටහන පහතින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය ලේකම්
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් ඉරාන් වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය ලේකම්වරියගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඇය සඳහන් කළේ, මෙම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, ජාතිකත්වය හෝ ආගමිකත්වය මත පදනම්ව ක්‍රීඩකයින් තෝරාගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා කිසිඳු ස්ථානයක සඳහන් කර නොමැති බවත් ඇය සඳහන් කළා. එසේම ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් රාශියක් මේ දිනවල සංසරණය වෙමින් පවතින බවත්, සමාජයේ නොමග යැවීමේ අරමුණින් නිර්මාණය කර හුවමාරු කරන මෙම සටහන් සම්බන්ධයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් ඇය වැඩිදුරටත් මතු කර සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතා ද, තහවුරු කර සිටියේ, හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය එකක් වන බවයි.
Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ ශ්‍රී ලංකා දහනමයෙන් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාම කොළඹ බෞද්ධ පාසලක සිසුන් දෙදෙනෙක්” – ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති එරාන් – යනුවෙන් දක්වමින් අදාළ ප්‍රකාශය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 අප්‍රේල් 27 වන දින නාරාහේන්පිට ෆයිෆ් පාරේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක වෛද්‍ය ක්ෂේත්රයේ වැඩමුළුවකට සහභාගී වීමට පැමිණි වෛද්‍යවරියන් සහ කාන්තාවන් පිරිසක් දිය නාමින් සිටියදී, ජනේලයක් හරහා ජංගම දුරකථනයක් යොදාගෙන රහසිගතව වීඩියෝ දර්ශන ලබාගෙන ඇති අතර, 119 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව නාරාහේන්පිට පොලිසිය වහාම ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කර ඇත. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා කොළඹට පැමිණ එම හෝටලයේම නවාතැන් ගෙන සිටි වයස අවුරුදු 18 සහ 19 පසුවන 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අප්‍රේල් 29 වන දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ. නඩුව යළි කැඳවීම මැයි 25 වන දිනට නියමිතය. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
නව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ප්රමුඛ අවධානයකින් වාර්තාකරන පසුබිමක, සමාජයේ අවධානය යොමුවූ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු විසින් අදහස් දක්වාා ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. අදාල සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ලෙස පත්වූ ඉරාන් වික්‍රමරත්න මහතා විසින්, අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා කොළඹ බෞද්ධ පාසලක සිසුන් දෙදෙනෙක් බවට ප්‍රකාශ කර ඇත්ද සහ එවැන්නක් පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ වාර්තාකර ඇත්ද යන්න පිළිබඳව අප විසින් පරීක්ෂා කළත් එවැන්නක් දැකගන්නට ලැබුණේ නැහැ.
අදාළ සමාජ මාධ්‍ය සටහන News 19 ෆේස්බුක් පිටුවෙහි පුවත් ආකෘතියෙන් නිර්මාණය කර තිබූ බැවින් එම සටහන අදාළ සමාජ මාධ්‍ය පිටුවෙහි පළ කරන ලද සටහනක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළ අතර, මෙවැනි ආකාරයේ සටහනක් News 19 ෆේස්බුක් පිටුවෙහි දැකගන්නට ලැබුණේ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය ලේකම්
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් ඉරාන් වික්‍රමරත්න මහතාගේ මාධ්‍ය ලේකම්වරියගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඇය සඳහන් කළේ,අදාල සිදුවීම සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ඉරාන් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍යය සටහන් සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය බවද ඇය සඳහන් කළා.
සැ.යු : මෙම ක්‍රීඩකයන් දෙදෙනා කොළඹ බෞද්ධ පාසලක අය බවටද කිසිදු නිල මූලාශ්රයකින්මෙතෙක් තහවුරු වී නොමැත. ඒ අනුව එම සිසුන්ගේ පාසල් සම්බන්ධයෙන් මෙම කරුණු පරීක්ෂාව තුළ අප විසින් අදහස් දක්වා නැහැ.
Also Read: නැවත උපත ලද කිතුණුවෙකු (Born again Christian) ලංකාවේ ජනාධිපති විය හැකි බවට ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවා ද?
Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ලෙස පත්වීමෙන් පසු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ජාතිකත්ව, ආගමික කෝටාවක් හඳුන්වා දී ඇති බවට හුවමාරු වන සටහන් අසත්‍යය බවයි. එසේම මෑතකදී කොළඹ ප්‍රදේශයේ හෝටලයක වෛද්‍යවරියන් ස්නානය කරන ආකාරය වීඩියෝ ගත කළ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා කොළඹ බෞද්ධ පාසලක සිසුන් බවට ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වන සටහන් ද අසත්‍යයි.


