තලපති විජේ, සාධාරණ නායකයෙකු ලෙස වීරත්වයේ දැක්වීමට, යොදා ගන්නා ව්‍යාජ නිර්මාණ රැල්ලක් ! 

False Internatioanl Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් අසාධාරණයට එරෙහිව ක්ෂණිකව යුක්තිය ඉටුකරන බවත්, අසරණයන්ට සහය ලබාදීමට පියවර ගෙන ඇති බවත් දක්වමින්, විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ, පසුගිය සමයේ ඉන්දියාව තුළ බහුලව, විශේෂයෙන්ම  හින්දි භාෂාවෙන්, හුවමාරු වන බව දැකගන්නට ලැබෙනවා. 

ලංකාවේ ද එවැනිම තේමා යටතේ හුවමාරු වන සටහන් පෙළක් හමුවූ අතර ඒ ගැන ඇතුළුව තලපති විජේ වීරත්වයේ ලා දක්වන මෙම සටහන්හි ඇත්ත නැත්ත අපි සොයා බැලුවේ මෙලෙසින්.  

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

තලපති විජේ විසින් ස්ත්‍රී දූෂණයන්ට එරෙහිව දැඩිව කටයුතු කරනා බවත්, වරදකරුවන් පැය 24ක් තුළ එල්ලා මැරීම වැනි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook Facebook Facebook

ඉංග්‍රීසි බසින් ද එම තේමාවෙන්ම මෙම සටහන් හුවමාරු වී තිබු අතර එහි ද සඳහන් කරන්නේ, තමිල්නාඩුවේ හෝ වෙනත් ඉන්දියාවේ ප්‍රාන්තයක වුවද, මෙලෙසින් ස්ත්‍රී දුෂකයෙකු ලෙස හඳුනාගන්නා වරදකරුවන්, පැය 24ක් ඇතුළත, එල්ලා මැරීමේ දඬුවම ලබාදෙන බවයි.

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව මෙවැනි දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඉන්දීය මාධ්‍ය, ජාත්‍යන්තර මාධ්‍ය සහ නිල විශ්වසනීය පුවත් මූලාශ්‍ර විසින් තහවුරු කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ එවැනි කිසිදු තීරණයක් හෝ සිදුවීමක් නිල තහවුරු කිරීමක් හෝ නිල වාර්තාවක් නොමැති බවයි.

ඉන්දියාවේ රාජස්ථාන්, බටහිර බෙංගාලය සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රදේශවල මෑතකදී බාලවයස්කාර දැරියන් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර, එවැනි කිසිඳු සිදුවීමකදී වරදකරුවන් පැය 24ක් තුළ එල්ලා මැරීමට කටයුතු කර  නොමැත. අදාළ වරදකරුවන් අත්තඩංගුවට ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් පවතින නීතිය ‍යටතේ ක්‍රියාත්මක වීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත. ඒ සම්බන්ධ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එසේම, ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණයන්ට එරෙහිව දඬුවම් නියම කිරීම, මහ ඇමතිවරයෙකුට කළ හැකි දෙයක් නොවන අතර එය අධිකරණය සතු කාර්යයකි. තමිල්නාඩු මහ ඇමති තලපති විජේගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු India Today කණ්ඩායමට තහවුරු කර ඇත්තේ මෙම සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එසේම තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව විසින් ස්ත්‍රී දූෂකයන් පැය 24ක් තුළ ඝාතනය කර යුතු බවට එවැනි පනතක් සම්මත කර නොමැති අතර, ඒ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් ද සිදු කර නොමැත. එසේම මෙම සමාජ මාධ්‍ය සටහන්හි තමිල්නාඩු සහ වෙනත් ඕනෑම ප්‍රාන්තයක ස්ත්‍රී දූෂකයන් සඳහා මෙම දඬුවම ලබා දෙන බව සඳහන් වේ. එක් ප්‍රාන්ත රජයකට වෙනත් ප්‍රාන්ත සඳහා බලපැවැත්වෙන පරිදි නීති පැනවිය නොහැක. 

තමිල්නාඩු මහ ඇමති විජේ, වීරත්වයට නගන එකම ආකෘතියේ වීඩියෝ රැසක්!

සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් රැසක් විසින් “තලපති විජේගෙන්  තීරණයක්: මගේ ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂකයන් එල්ලා මරනු ඇත, නැතහොත් වෙඩි තබා ඝාතනය කරනු ඇත” වැනි නොමඟ යවන සුළු මාතෘකා සහිත, වීඩියෝ පළ කරන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. ඉන්දියාවේ හර්යානා, උත්තර ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල වෙසෙන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් විසින්, මේ ආකාරයෙන් තලපති විජේ වෙත ප්‍රශංසා කරමින් ප්‍රධාන වශයෙන්ම හින්දි භාෂාවෙන් මෙම වීඩියෝ මුදාහැර ඇත. 

YouTube එවැනි තවත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

තවත් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් පිරිසක්, වීඩියෝ නිර්මණ ඔස්සේ පෙන්වා දී තිබුනේ, පෞද්ගලික රෝහලකදී රෝගියෙකු මිය ගියහොත්, ඔවුන්ගේ සම්පූර්ණ බිල ගෙවීම අවශ්‍ය නොවන බවටත්, එම බිල ඉවත් කරන බව මහ ඇමති විජේ නිවේදනය කර ඇති බවයි. නමුත් ඉහත සටහන් වගේම මේ ආකාරයේ කිසිඳු තීන්දුවක් ද ගෙන නැහැ.

මෙම වීඩියෝ සඳහා නැරඹුම් සහ බෙදාගැනීම් දහස් ගණනක් ලැබී තිබේ. ඒවාට ලැබී ඇති අදහස් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, බොහෝ දෙනෙකු මෙම අසත්‍ය ප්‍රකාශ සත්‍ය ලෙසම විශ්වාස කර ඇති බවයි. 

ඉන්දියාව තුළ මෑතකදී බාලවයස්කාර දැරියන් සමූහ දූෂණයට ලක්වීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති පසුබිමක දී මෙවැනි සටහන් සහ වීඩියෝ මගින් තලපති විජේ දමිළ සිනමාවේ ඔහු රඟපෑ චරිත මෙන් තීරණාත්මක සහ බලපෑම් සහගත නායකයකු ලෙස පෙන්වීමට උත්සහ කරන බවක්, ඉන්දීය සමාජ මාධ්‍ය  විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

2004 වසරේදී ඔහු රඟපෑ “ඝිල්ලි” (Ghilli) චිත්‍රපටයේ කබඩි ක්‍රීඩකයෙකු ලෙස රඟපාමින් ඔහු මැරයන්ගෙන් කාන්තාවක බේරාගත්තේය. 2019 වසරේ තිරගත වූ “මෙර්සල්” (Mersal) චිත්‍රපටයේ ඔහු වෛද්‍ය ක්ෂේත්‍රයේ දූෂණයට එරෙහිව සටන් කරන වෛද්‍යවරයෙකු ලෙස රඟපෑවේය. මේවා ඔහු රඟපෑ එවැනි චිත්‍රපට ගණනාවකින් කිහිපයක් පමණි.

දේශපාලන අභිලාෂයන් සහිත බොහෝ දමිළ නළුවන් මෙන්ම, තලපති විජේද සිය සිනමා චරිත හරහා ජනතා නායකයෙකුගේ ප්‍රතිරූපයක් ගොඩනඟා ගෙන ඇති බව පැහැදිලි ය. නමුත් මෑතකදී දේශපාලනයට පිවිසි බොහෝ නළුවන්ට වඩා වෙනස්ව, එම ප්‍රතිරූපය සැබෑ ලෙසම ප්‍රයෝජනයට ගැනීමට ඔහුට හැකිවූ අතර, සිය පළමු දේශපාලන උත්සාහයෙන්ම, ඓතිහාසික ජයක් ලබමින්, තමිල්නාඩුවේ මහ ඇමති බවට පත්වීමට ද ඔහුට හැකිවිය.

India Today Fact Check විසින් මෙම සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් කිහිප දෙනෙකුගෙන් මෙලෙස නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් විමසා ඇති නමුත් ඔවුන්ගෙන් කිසිදු පිළිතුරක් ලැබී නොතිබුණි. එබැවින්, මෙය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න නොදැන මෙය සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපාරයක් ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි අතර මෙම සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් විසින් තලපති විජේ  පිළිබඳ පවතින ජන රැල්ලෙන් ප්‍රයෝජන ගනිමින් තමන්ගේ ගිණුම් සඳහා ඉහළ ප්‍රතිචාර ලබාගැනීමට උත්සාහ කිරීමක්ද විය හැක. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔවුන් සිදු කර ඇති කරුණු පරීක්ෂණ වාර්තාව මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් ස්ත්‍රී දූෂකයන් පැය 24ක් තුළ මරා දැමීමට නියෝග කර ඇති බවට පල වන සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එසේම තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව විසින් ස්ත්‍රී දූෂකයන් පැය 24ක් තුළ ඝාතනය කර යුතු බවට එවැනි පනතක් සම්මත කර නොමැති අතර, ඒ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් ද සිදු කර නොමැත. එසේම මෙම සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ වල තමිල්නාඩු සහ වෙනත් ඕනෑම ප්‍රාන්තයක ස්ත්‍රී දූෂකයන් සඳහා මෙම දඬුවම ලබා දෙන බව සඳහන් වේ. එක් ප්‍රාන්ත රජයකට වෙනත් ප්‍රාන්ත සඳහා බලපැවැත්වෙන පරිදි නීති පැනවිය නොහැක. එම නිසා මෙම පෝස්ටුව අසත්‍ය බව තහවුරු වේ. මෙම සටහන හින්දි භාෂාවෙන් බහුලව ඉන්දියාව තුළ හුවමාරු වන අතර, ඇතැම් විට එය තලපති විජේ වීරත්වයට නැගීම සඳහා සිදු කරන සංවිධානාත්මක ප්‍රචාරණයක් හෝ  විජේ සතු විශාල රසික පදනම සහ ජනප්‍රියත්වය ආකර්ෂණය කර ගනිමින් සමාජ මාධ්‍ය ගිණුම්වලට වැඩි නැරඹුම් වාර සහ ප්‍රතිචාර ලබා ගැනීමේ අරමුණින් සිදු කරන්නක් විය හැකිය.

Result Stamp

Title: තලපති විජේ, සාධාරණ නායකයෙකු ලෙස වීරත්වයේ දැක්වීමට යොදාගන්නා ව්‍යාජ නිර්මණ රැල්ලක්!

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *