දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (13), එනම් 2026 අගෝස්තු 13 වන දින මහ මාර්ගයේ රිය ධාවනය කරමින් සිටියදී ෆේස්බුක් සජීවී වීඩියෝවක් (Facebook Live) කරමින් ගමන් කරන අවස්ථාවක් ලෙස දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය විය. වත්මන් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු විසින්ම සිදු කරන ලද වීඩියෝවක් ලෙස බොහෝ දෙනෙකු මෙම වීඩියෝව හුවමාරු කර ගනිමින් අදහස් ද දක්වා තිබුණි. මේ, අප එම වීඩියෝව පිළිබඳ කළ සොයා බැලීමකි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“රිය පදවන ගමන් LIVE එන්නේ අපේ රටේ අධිකරණ ඇමති තුමා නේ” යනුවෙන් මෙහි සඳහන් වී තිබුණා.
එමෙන් ම රිය පදවන අතරතුර හර්ෂණ නානයක්කාර අමාත්‍යවරයා විසින් මෙම වීඩියෝව සිය ජංගම දුරකතනයෙන් පටිගත කළ අවස්ථාවක් ලෙසට ද, සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණේ මෙලෙසින්.


මෙය සැබවින් මෑතකදී වූ සිදුවීමක් ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප කටයුතු කළේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත වීඩියෝ බැලූ බැල්මට පැරණි වීඩියෝවක් බවට එහි ඇති වීඩියෝවේ තත්ත්වය (Quality) බාල බවට මෙන් ම අපහැදිලි බව ට ද, දැක ගන්නට ලැබෙනවා. එමෙන් ම මෙම වීඩියෝවේ අමාත්‍යවරයා පවසන ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා සහ මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයෙක් වන ප්‍රියංග පුෂ්පකුමාර හෙවත් ප්‍රියාන් මැණික් විසින් මීට වසර කිහිපයකට පෙර රෝගියෙකු රෝහලට ගෙන යන අවස්ථාකදී Facebook live පැමිණ මාර්ගයෙන් ඉඩ දෙන ලෙස කළ ඉල්ලීමට අනුකරණය කරමින් කර ඇති බව දැක ගන්නට ලැබේ.
කෙසේ වෙතත්, අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ හෝ නිල ෆේස්බුක් ගිණුමේ මෙවැනි වීඩියෝවක් මෑතකදී දැක ගත නොහැකි වූ බැවින්, අප මෙම වීඩියෝවේ රූප රාමු කිහිපයක් ප්‍රතිලෝම රූප සෙවුමකට (Reverse Image Search) යොමු කළෙමු.
ඒ අනුව මෙම වීඩියෝව 2023 වර්ෂයේ අගෝස්තු 13 වන දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව අනාවරණය විය. එලෙස හුවමාරු වී තිබූ වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Moratuwa JVP නැමැති ෆේස්බුක් පිටුවක මෙම වීඩියෝව මුල් වරට පළ කර තිබුණේ මෙසේය.
වීඩියෝවේ සැබෑ අන්තර්ගතය
ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ කොටසේ සම්පූර්ණ වීඩියෝව මෙය වන අතර, එහි සඳහන් වන්නේ මොරටුව ජාතික ජන බලවේගයේ ආසන සමුළුව 2023 අගෝස්තු 13 වන දා සවස 3ට පැවැත්වෙන බවත්, එයට අනුර කුමාර දිසානායක මහතා සහ හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පක්ෂ සාමාජිකයෝ පැමිණෙන බවත්ය. එවකට මොරටු ආසන සංවිධායක ලෙස කටයුතු කළ හර්ෂණ නානායක්කාර මහතා, පාක්ෂිකයන්ට එම සමුළුවට පැමිණෙන ලෙස මෙහිදී ආරාධනා කරයි.
දිනය තහවුරු කිරීම : 2023 ද, 2026 ද?
මෙම වීඩියෝව ඊයේ (2026 අගෝස්තු 13) පටිගත කළ වීඩියෝවක් නම්, ඊයේ සවස 3ට මොරටුවේ මෙවැනි රැස්වීමක් පැවැත්වූයේ ද යන්න අප පරීක්ෂා කළෙමු. නමුත් එවැනි රැස්වීමක් පැවැත්වූ බවට කිසිදු පුවතක් වාර්තා වී නොතිබුණි. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරිය සහභාගී වන රැස්වීමක් පැවැත්වේ නම්, ප්‍රධාන මාධ්‍ය ධාරා ඒ සඳහා විශේෂ වාර්තාකරණයක් සිදු කළ යුතුව තිබුණි. එහෙත් එවැනි පුවතක් දැක ගත නොහැකි විය.
එසේම, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සඳහන් වන පරිදි 2023 අගෝස්තු 13 වන දා මොරටුවේ සොයිසාපුර ප්‍රදේශයේ රැස්වීමක් පැවැත්වූයේ ද යන්න ද අප පරීක්ෂා කළෙමු. එවකට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ හරිනි අමරසූරිය මහත්මිය (වර්තමානයේ පිළිවෙළින් ජනාධිපති සහ අගමැති) සහභාගී වූ එම රැස්වීම පිළිබඳ එදින ප්‍රධාන පුවත් ධාරාවක වාර්තා වී තිබෙනු දැක ගත හැකි විය. ඒ අනුව ද තහවුරු වන්නේ, මෙය 2026 අගෝස්තු 13 වන දින නොව 2023 වර්ෂයේ අගෝස්තු 13 වන දින සිදු කරන ලද වීඩියෝවක් බවයි. එම වාර්තාව මෙතනින් නැරඹිය හැකිය.
පටිගත කළේ කවුද?
අධිකරණ අමාත්‍යවරයා විසින්ම එම වීඩියෝව පටිගත කරන ලෙස සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබුණ ද, සම්පූර්ණ වීඩියෝව පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, හර්ෂණ නානායක්කාර මහතා අත් දෙකම සුක්කානම මත තබාගෙන රිය ධාවනය කරමින් සිටින බවත්, ඉදිරිපස වම් පස ආසනයේ සිටින වෙනත් පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් එම වීඩියෝව පටිගත කරන බවත්ය. එනම්, අමාත්‍යවරයා තම දුරකථනයෙන් වීඩියෝව පටිගත කරමින් නොව, පසෙකින් සිටින පුද්ගලයෙකුගේ දුරකථනයේ කැමරාවට අදහස් දක්වමින් සිටින අවස්ථාවකි.
අධිකරණ අමාත්‍යශයේ නිල ප්‍රතිචාරය
මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් පැවසුවේ මෙම වීඩියෝව හර්ෂණ නානායක්කාර මහතා අමාත්‍ය ධුරයක් හෙබවීමට පෙර 2023 වර්ෂයේ ලබා ගත් වීඩියෝවක් වන අතර, එය වර්තමානයේ පටිගත කළ වීඩියෝවක් ලෙස වැරදි අර්ථකතනකින් හුවමාරු වන බවයි.
අප අමාත්‍යවරයාගේ මුල් වීඩියෝව 2023 වසරේ පළ කර තිබූ Moratuwa Jvp ෆේස්බුක් පිටුව හරහා ද, මේ පිළිබඳ විමසීමක් කළ අතර එම පිටුව හරහා මෙම වීඩියෝව පටිගත කරනු ලැබූ බව කියන එවකට ජනතා විමුක්ති පෙරමුණේ, මොරටු ආසනයේ මාධ්‍ය අංශයේ පුද්ගලයෙකු සම්බන්ධ කර ගත් අතර ඔහු විසින් පැවසුවේ, එවකට මොරටුවේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධායක හර්ෂණ නානායක්කාර මහතා එදින සවස පැවැත්වීමට නියමිත වී තිබූ ජවිපෙ රැස්වීමට පැමිණෙන ලෙස කළ වීඩියෝවක් බව ත්, එය මෑතක ලබා ගත් වීඩියෝවක් නොවන බවත් ය.
මෙම වීඩියෝව ඊයේ(13) දින සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ අමාත්‍යරයා විසින් “අද අගෝස්තු 13” යන ප්‍රකාශයක් කරන බැවින් එය අධිකරණ අමාත්‍ය ධූරය හොබවන අමාත්‍ය හර්ෂණ විසින් ඊයේ දින සිදු කරන ලද වීඩියෝවක් ලෙසයි. නමුත් මෙය 2023 වසරේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණීමට පෙර පටිගත කරන ලද පැරණි වීඩියෝවක් බවට තහවුරු වේ. එමෙන් ම මෙය අමාත්‍යවරයා විසින් රිය පදවන අතර තුර ඔහු විසින් ම ජංගම දුරකතනය ඔස්සේ පටිගත කරන අවස්ථාවක් නොව වාහනයේ ඉදිරිපස රියැදුරු අසුනට අනෙක් පස සිටින තැනැත්තෙකු විසින් වීඩියෝ කරන ලද අවස්ථාවක් වේ.
කෙසේ වෙතත් එම වීඩියෝවේ දැක්වෙන්නේ, නානායක්කාර මහතා වෙනත් ජංගම දුරකතනයක කැමරාවක් වෙත අදහස් දක්වමින් රිය ධාවනය කරන අවස්ථාවකි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අධිකරණ අමාත්‍යවරයා විසින් අධිවේගි මාර්ගයේ ධාවන කරමින් සිටියදී අගෝස්තු 13(ඊයේ) සිදු කරන ලද වීඩියෝවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව 2023 වසරේ අගෝස්තු 13 වන දා සිදු කරන ලද වීඩියෝවක් වේ. එමෙන් ම එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ වීඩියෝව පටිගත කරනු ලබන්නේ, අමාත්‍යවරයා විසින් නොව, ඉදිරිපස අසුනේ වම් පස සිටින පුද්ගලයා විසිනි.


