දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අස්වැසුමෙන් රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් අතුරුදහන් වී ඇති බවත්, අදාළ මුදල මාලිමා රජය විසින් සොරකම් කර ඇති බවටත්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මේ රටේ බහුතරයක් පීඩිත පංතියේ මිනිසුන් වෙනුවෙන් ආරම්භ කරපු සමෘධි වැඩසටහන හකුලා පහුගිය රජය විසින් ප්‍රථිලාභීන් දස දහස් ගනනක අස්වැසුම අයින් කර ඉතිරි පීඩිත පංතියේ මිනිසුන් වෙනුවෙන් රජය මගින් දෙන අස්වැසුමත් මේ මාළීමා රජය විසින් හොරා කාල” යනුවෙන් අදාළ සටහනෙහි දක්වා ඇත.

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
කරුණු පැහැදිලි කිරීම (Explainer);
අස්වැසුම මුදල් රුපියල් එක්කෝටි හැට පන් ලක්ෂයක් මාලිමා රජය විසින් සොරකම් කර ඇති බවට අදාළ සටහන ඔස්සේ දක්වා තිබූ අතර, එවැන්නක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ වෙනත් මූලාශ්‍රයක් ඔස්සේ වාර්තාකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ, මාලිමා රජය විසින් සිදු කළ එවැනි සොරකමක් හෝ වංචාවක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් විශ්වසනීය නිලමූලාශ්‍ර කිසිවක සඳහන්ව නොමැති බවයි.
සැබෑ සිදුවීම කුමක්ද?
දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් වංචා කර ඇති බවට විගණන පරීක්ෂණවලින් හෙළිව ඇත. ප්‍රාදේශීය ලේකම්වරයා කළ පැමිණිල්ලක් මත, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාරව කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම සැකකාරිනියන් දෙදෙනා අගෝස්තු 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. මෙම මුදල් වංචාවට එම කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙක් සම්බන්ධ බවට අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අගෝස්තු 06 වන දින පැමිණිල්ලක් ගොනු කර ඇත.මෙම වංචාව අනාවරණය වී ඇත්තේ, අස්වැසුම දීමනාව නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙනය. ඒ අනුව, අදාළ සැකකාරිනියන් දෙදෙනා දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර, නුවරඑලිය දිස්ත්‍රික් සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශවල නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා විශේෂ විගණන පරීක්ෂණයක් සිදු කර ඇත.මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන වැඩසටහන භාරව සිටි නිලධාරියෙකු විසින්ද ප්‍රතිලාභීන්ට හිමි රුපියල් 916,000 ක මුදලක් වංචා කර ඇත.
එසේම, තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන වැඩසටහන භාරව සිටි නිලධාරියෙකු විසින් ප්‍රතිලාභීන්ට හිමි රුපියල් 916,000 ක මුදලක් ඔහුගේ ඥාතියෙකුගේ බැංකු ගිණුමකට බැර කරමින්ද මූල්‍ය වංචාවක් සිදු කර ඇත. තලවකැලේ වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය විසින් අදාළ වංචාව සිදුකළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. එමෙන්ම වංචා කරන ලද රුපියල් 916,000 ක මුදල නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිණුමට අයකර ගැනීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අදාල වංචාව සිදු කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු ය. අස්වැසුම මුදල් රජය විසින් සොරකම් කරන ලද බව පැවසීම අසත්‍යයි
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් තහවුරු කළේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචාවක් සම්බන්ධ සිදුවීමක් සිදු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මූලික විමර්ෂණයක් සම්පූර්ණයෙන් පවත්වා අවසන් කර ඇති බවත් ය. එසේම අදාල වංචාව සිදු කර ඇත්තේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු සහ ඊට අනියුක්තව සේවය කළ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් බවත්, අස්වැසුම මුදල් රජය විසින් සොරකම් කරන ලද බව පැවසීම සම්පූර්ණයෙන් අසත්‍ය බවත් සඳහන් කළා. අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සියලුම මුදල් ගෙවීම් විද්‍යුත් ක්‍රමයට සෘජුවම අදාළ ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කරන බවත්, අදාල නිලධාරීන් විසින් අස්වැසුම පද්ධතියේ පරිශීලික ගිණුම් අවභාවිතා කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් සඳහන් කළා. අදාළ විමර්ශන වාර්තාවේ තොරතුරු සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා හරහා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සඳහන් කළා.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යය අනිල් ජයන්ත මහතාගේ මාධ්‍ය ලේකම්වරිය විසින්ද තහවුරු කළේ, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලිය සිදු වන බවත් ය. මාලිමා රජය විසින් අස්වැසුම මුදල් සොරකම් කර ඇති බවට වන සඳහන ඇය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මෙම වංචාව අනාවරණය කරගෙන, අදාළ නිලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය පියවර ගෙන ඇති බවත් ඇය විසින් සඳහන් කළා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය විසින් සඳහන් කළේ, මෙම මුදල් වංචාව මාලිමා රජය විසින් සිදුකළ හොරකමක් නොව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සේවය කළ නිලධාරීන් පිරිසක් පුද්ගලිකව සිදුකර ඇති මූල්‍ය වංචාවක් බවයි. 2023/24 වසරවල සිට මෙම විෂය භාරව කටයුතු කළ සේවකයින් දෙදෙනෙකු එකතු වී, ජනතාවට ලැබීමට තිබූ අස්වැසුම හිඟ මුදල් රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක් ඔවුන්ගේ සහ ඔවුන්ගේ නෑදෑයින්ගේ බැංකු ගිණුම්වලට වංචනික ලෙස බැර කරගෙන ඇත. මේ පිළිබඳව ලද පෙත්සමකට අදාළව සේවකයින්ව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් අත්හිටුවා වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මාරු කර යවා ඇත. පසුව, සමාජ සුභසාධක මණ්ඩලයේ කණ්ඩායමක් පැමිණ පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු මෙම සම්පූර්ණ වංචාව අනාවරණය කරගෙන තිබේ. මේ වන විට සිදුවීමට සෘජුවම සම්බන්ධ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඇය සඳහන් කළා. තවත් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. මෙම සිදුවීමට අදාළව මුදල් නැවත අයකර ගැනීම පිළිබඳව තීරණය කරනු ලබන්නේ අධිකරණය විසින් බවත් ඇය සඳහන් කළා. මීට පෙර තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය තුළ සිදුවූ මෙවැනිම සිදුවීමකදී අදාළ නිලධාරියා තමන් රුපියල් ලක්ෂ නවයකට අධික මුදලක් ලබාගත් බව පිළිගෙන එම මුදල් නැවත ගෙවා ඇති බවද ඇය සඳහන් කළා.
හැටන් පොලිස් ස්ථානාධිපති
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී හැටන් පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සඳහන් කළේ, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකාරියන් දෙදෙනා සම්බන්ධ නඩුව අද දින එනම් අගෝස්තු 11 කැඳවූ බවත්, එහිදී ඇප ලබාදීම ප්‍රතික්ෂේප වූ බවත් ය. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බවත්, මුදල් නැවත අය කරගැනීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිවක් අද දිනයේ අධිකරණය තුළ සාකච්ඡා නොවූ බවත් ස්ථානාධිපතිවරයා විසින් සඳහන් කළා.
ඒ අනුව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචාවක් (දැනට අනාවරණය කරගෙන ඇති ආකාරයට එක් කෝටි හැට දෙලක්ෂයක මුදලක්) සිදු වී ඇති බව පැහැදිලි ය. ඉහත සමාජ මාධ්‍ය සටහන මගින් මෙම වංචාව වත්මන් මාලිමා රජය විසින් සිදුකරන ලද්දක් ලෙස දක්වා ඇත. නමුත්, මෙය මාලිමා රජයේ දේශපාලන අධිකාරියක් විසින් සිදුකළ එකක් නොව, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් සිදුකර ඇති මූල්‍ය සාපරාධී වංචාවක් ලෙස හඳුනා ගත හැකිය. රජයේ ආයතන යාන්ත්‍රණය හරහා මෙම වංචාව අනාවරණය කරගෙන, අදාළ නිලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය පියවර ගෙන ඇත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


