දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති කංජිපානි ඉම්රාන් නැමැති පුද්ගලයාගේ ගිණුමකින් පක්ෂ අරමුදලට රුපියල් මිලියන 50 ක් ලැබී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් විමසීමක් යනුවෙන් සඳහන් කරමින් සටහනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපය සහිතව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පසුබිම සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණි. මේ පිළිබඳව විමසා බලමින් Factcrescendo අප සිදු කරන ලද කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Facebook | Archived Link Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ජනතා විමුක්ති පෙරමුණු හෝ ජාතික ජන බලවේගයේ පක්ෂ අරමුදලකට කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගිණුමකින් රුපියල් මිලියන 50ක මුදලක් ලැබී ඇති බවට කිසිදු නිල තහවුරු කිරීමක් හෝ විශ්වාසදායක ප්‍රවෘත්තියක් ප්‍රධාන පෙළේ පුවත් වාර්තාවල සඳහන් වී නොමැත. අදාළ සමාජ මාධ්‍ය සටහන හිරු News ආකෘතියෙන් නිර්මාණය කර තිබුණද අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ මෙවැනි පුවතක් හිරු News නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පල කර නොමැති බවයි. ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් ඍජුව විමසීමක් කළෙමු.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වෙබ් අංශය විසින් අප වෙත තහවුරු කළේ අදාල සටහන ව්‍යාජ සටහනක් බවත්, එවැනි විමර්ශනයක් සිදු නොවන බවත්ය.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් තහවුරු කළේ ද , කංජිපානි ඉම්රාන් නැමැති පුද්ගලයාගේ ගිණුමකින්, ජාජබ පක්ෂ අරමුදලට රුපියල් මිලියන 50ක් ලැබුණු බව හෝ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදුවන බව, සම්පූර්ණයෙන්ම අසත්‍යය ප්‍රකාශ බවයි.
මෙවැනි සටහනක් හුවමාරු වන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මූල්‍ය කටයුතු මෙහෙයවන ලද බව කියන රත්මලානේ ‘කුඩු සයිමා’ නැමති පුද්ගලයා අත්තඩංගුවට ගෙන ඇති පසුබිමකයි.
විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙයවන ලද බව කියන ඔහුගේ ප්‍රධාන සගයකු වූ රත්මලානේ ‘කුඩු සයිමා’ නැතිනම් ධනුෂ්ක කෞෂල්‍ය නැමති පුද්ගලයා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කැළඹීමක් ඇති කරන ලද කංජිපානි ඉම්රාන්ගේ තර්ජනාත්මක හඬපට සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා සිදුකළ මූල්‍ය හා අපරාධ සම්බන්ධීකරණ කටයුතුද මෙහෙයවා ඇත්තේ මොහු බවට අනාවරණය වී ඇත. 2026 ජූලි 28 වනදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
‘කුඩු සයිමා’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මැලේසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමඟ, කංජිපානි ඉම්රාන් තමන් සිටි ස්ථානය මාරු කර වෙනත් ප්‍රදේශයකට පලාගොස් සැඟවී ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත. ඔහුව කොටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා මීට පෙරම රතු නිවේදන නිකුත් කර තිබුණි. ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර පොලිසිය සහ මැලේසියානු පොලිසිය එක්ව තවදුරටත් මේ සම්බන්ධව මෙහෙයුමක් දියත් කර ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.
කන්ටේනර් 323: සිදු වූයේ කුමක්ද, විමර්ශන කොතැනද, මෙතෙක් සොයාගෙන ඇත්තේ කුමක්ද
2025 ජනවාරි 18 වැනිදා, කොළඹ වරායේ පැවති දැඩි බහාලුම් තදබදය අවම කර ගැනීම සඳහා යැයි පවසමින්, ශ්‍රී ලංකා රේගුවේ ඉහළ කළමනාකාරිත්වයේ තීරණයක් මත, අනිවාර්ය භෞතික පරීක්ෂාවකට ලක් විය යුතුව තිබූ, (red-flagged) බහාලුම් 323ක් එවැනි පරීක්ෂාවකින් තොරව මුදා හරින හැරීමේ සිදුවීම සහ මෙය ස්ථාපිත රේගු ක්‍රියාපටිපාටිවලට පටහැනි බවට චෝදනා එල්ල වූ පසුබිමක, එය ජාතික මට්ටමේ මතභේදයක් බවට පත් විය
මෙතෙක් තහවුරු වී ඇති කරුණු දෙආකාරයකින් පවතී. එක් අතකින්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පත් කළ පරීක්ෂණ කමිටුවක් සොයාගත්තේ මෙම මුදා හැරීම නීතිවිරෝධී වූ බවත්, එය ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආදායම සහ මහජන ආරක්ෂාව සඳහා බරපතළ අවදානමක් ඇති කරන බවත්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රේගුවේ හිටපු ඉහළ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කරන ලද අතර, පසුව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ හිටපු රේගු ප්‍රධානියෙකු ක්‍රියාවලියේ “අඩුපාඩු” සිදු වූ බව පිළිගත්තේය.
අනෙක් අතට, එවකට රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා 2025 ජූනි 8 වැනිදා ප්‍රකාශ කළේ, බහාලුම් තුළ තිබුණේ ආනයනකරුවන් ප්‍රකාශ කළ පරිදි කාර්මික අමුද්‍රව්‍ය පමණක් වන බවත්, ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රත්‍රන් තිබූ බවට සාක්ෂි නොමැති බවත්ය.
කෙසේ වෙතත්, අරුක්ගොඩ මහතාම මෙම මුදා හැරීමට සෘජුව සම්බන්ධ, චෝදනාවට ලක් වූ පාර්ශ්වයක් වන බැවින්, ඔහුගේ ප්‍රකාශය ස්වාධීන නිගමනයක් ලෙස නොව උනන්දුවක් ඇති පාර්ශ්වයක ස්ථාවරය ලෙස සැලකිය යුතුය.
මේ පිලිබඳ විමර්ශනය තවමත් අවසන් වී නැත. 2026 ජනවාරි ආරම්භ වූ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සතිපතා රැස්වෙමින් කරුණු විමර්ශනය කරගෙන යයි. 2026 ජූනි වන විට, හිටපු රේගු ප්‍රධානීන්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ නීතිඥ/ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පුද්ගලයන් දහ දෙනෙකු පමණගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ වන විට කාරක සභාවේ අවසන් වාර්තාව සහ නිශ්චිත නිර්දේශ ප්‍රසිද්ධියේ නිකුත් වී නොමැත. එබැවින්, බහාලුම් තුළ නීතිවිරෝධී භාණ්ඩ තිබුණේද යන්න පිළිබඳ අවසන් නිගමනයක් තවම නොමැත. නිශ්චිතව තහවුරු වී ඇත්තේ මුදා හැරීමේ ක්‍රියාවලිය අක්‍රමවත්/නීතිවිරෝධී වූ බව මිස, ඒවා තුළ ආයුධ හෝ මත්ද්‍රව්‍ය තිබූ බව නොවේ.
Also read :
කංජිපානි ඉම්රාන්, ඇප ලැබීමෙන් පසු ලංකාවෙන් පැන ගියේ, ජනපති ගෝඨාභයගේ පාලන සමයේ ද ?
පරීක්ෂා නොකර නිදහස් කල කන්ටේනර් 323 ගෙනාවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සමාගමකින් ද ?
ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදියෙක්ගෙන් ප්‍රකාශයක් ?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති කංජිපානි ඉම්රාන්ගේ ගිණුමකින්, පක්ෂ අරමුදලකට රුපියල් මිලියන 50 ක් ලැබී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් විමසීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවයි.
කංජිපානිගේ නඩුවේ සැබෑ මූල්‍ය විමර්ශන අවධානය යොමුව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මූල්‍ය ජාලා සහ ඔහුගේ සගයන් වෙත මිස, කිසියම් දේශපාලන පක්ෂයක අරමුදල් වෙත නොවේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අප වෙත ප්‍රකාශ කරන ලද්දේ ද සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයේ, කංජිපානිගෙන් අරමුදල් දේශපාලන පක්ෂයක් වෙත ලැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොවන බවයි.


