දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා 2026 අගෝස්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේදී තමන්ගේ වැටුප් පත්‍රිකාව පෙන්වමින් මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප සහ දීමනා රුපියල් 60,000 කින් වැඩි වී ඇති බව ප්‍රකාශ කළා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ කතා බහක් ඇති වුණු අතර අසත්‍ය ප්‍රකාශයන් රැගත් තොරතුරු ද, හුවමාරු වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් රුපියල් 60,000 කින් වැඩි වී ඇති බවට සඳහන් කරමින් පළ වූ සටහන් පහතින්.



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මන්ත්‍රී අර්චුනාගේ ප්‍රකාශ
ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීමට මූලික වී තිබුණේ, මන්ත්‍රී අර්චුනා විසින් තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප සහ දීමනා රුපියල් 60,000 කින් වැඩි වී ඇති බව ත්, මුළු මුදල රුපියල් 484,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයයි.
මන්ත්‍රීවරයා විසින් එහිදී ප්‍රසිද්ධ කරන ලද ජූනි සහ ජූලි මාසවල පාර්ලිමේන්තු වැටුප් පත්‍රිකා පිටපත්වලට අනුව ඔහුගේ දළ මාසික ආදායම රුපියල් 415,169.93 කි. බදු සහ අනෙකුත් කැපීම්වලින් පසු ශුද්ධ වැටුප රුපියල් 395,861.22 කි. එහි මූලික දීමනා, දුරකථන දීමනා (රු. 50,000), කාර්යාල දීමනා (රු. 100,000) ආදිය ඇතුළත් විය.
මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප් වැඩි කර නැහැ – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිබද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශක් සිදු කළ අතර, මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප් කිසිදු ලෙසකින් වැඩි කර නොමැති බව ඔහු සඳහන් කරනවා.
වැටුප් පත්‍රිකාවේ අගයන් වෙනස් වීමට සැබෑ හේතුව වන්නේ, ඉන්ධන දීමනාව බව ත්, රටේ පවතින වත්මන් වෙළඳපල ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව, දීමනා ලැබීමට සුදුසුකම් ඇති සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා රජය විසින් සංශෝධනය කළ බවයි.
මන්ත්‍රී අර්චුනා මහතාගේ වැටුප් පත්‍රිකාවේ ද ජූනි මාසයේ රුපියල් 179,707.93 ක් වූ ඉන්ධන දීමනාව, ජූලි මාසයේදී රුපියල් 244,300.46 දක්වා මිල සූත්‍රය අනුව වෙනස් වී තිබේ. මෙය මන්ත්‍රීවරුන්ට පමණක් නොව, එම දීමනාව හිමි සියලුම උසස් රාජ්‍ය නිලධාරීන්ට පොදුවේ සිදුවූ මිල ගැලපීමක් මිස රජයෙන් විශේෂයෙන් ලබාදුන් මන්ත්‍රී වැටුප් වැඩිවීමක් නොවේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර
සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් පසුගිය ජූනි 06 වන දා හිරු නාලිකාවේ ‘බලය’ නමැති වැඩසටහනේ දී මාධ්‍යවේදී විසින් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වී ඇත්දැයි යන්න නැගූ පැනයට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප වන්නේ, රු. 54,000 සීමාව බව ත්, වැටුප් වැඩි වී නොමැති බ ත් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය සඳහා ලබා දෙන දීමනාව මෙලෙස නොමග යන ලෙස ඔහු අර්ථකථනය කර ඇති බවයි. අර්චුනා මන්ත්‍රීවරයා යාපනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන බැවින් වැඩිම ඉන්ධන දීමනාව ලබන මන්ත්‍රීවරුන් කිහිප දෙනා අතර ඔහු සිටින බව ත්, අද දිනට ඉන්ධන ගැලපුමත් සමග ඔහුට ලැබෙන ඉන්ධන ලීටර් 500 සඳහා ලැබෙන මුදල ඔහු මෙලෙසින් පෙන්වා ඇති බව ත්, පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප (දීමනාව) රුපියල් 54,285.00 ක් බවට අවසන් වරට ස්ථාවර කෙරුණේ 2006 වසරේදී වේ.
එතැන් පටන් ගත වූ වසර 20 කට ආසන්න කාලය පුරාම මෙම මූලික වැටුප් අගයෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැත. මෙම ස්ථාවර මට්ටම පවත්වාගෙන යාමට බලපා ඇති ඓතිහාසික පසුබිම සහ හේතු පහත පරිදි වේ.
2006 නොවැම්බර් මස පාර්ලිමේන්තු යෝජනාව
2006 නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව විශේෂ යෝජනාවක් සම්මත කරගන්නා ලදී. එමඟින් තීරණය කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ මූලික වැටුප, අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියෙකු වන මහාධිකරණ මූලික වැටුපට සමාන්තරව සකස් විය යුතු බවයි. ඒ අනුව එකල එම වැටුප රුපියල් 54,285 ක් ලෙස නියම විය.
2018 වසරේදී රාජ්‍ය සේවා වැටුප් චක්‍රලේඛ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් සංශෝධනය වීමත් සමඟ, 2006 යෝජනාවට අනුව මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුපද රුපියල් 120,000 දක්වා 215% කින් වැඩි කිරීමට යෝජනාවක් එවකට කථානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් විය.
නමුත් එකල රට තුළ ඇති වූ දැඩි මහජන විරෝධය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එම මූලික වැටුප් වැඩි කිරීමේ යෝජනාව අවසන් මොහොතේදී අත්හිටුවීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මූලික වැටුප රුපියල් 54,285 මට්ටමේ ම දිගටම නතර විය.
රාජ්‍ය සේවයේ වැටුප් ව්‍යුහයන් කිහිප වරක් වෙනස් වුවද, කිසිදු රජයක් මන්ත්‍රී මූලික වැටුප වෙනස් කිරීමට නව ගැසට් පත්‍ර හෝ පනත් කෙටුම්පත් ඉදිරිපත් කර නැත.
මේ නිසාම, මන්ත්‍රීවරුන්ගේ මූලික වැටුප එලෙසම පවතිද්දී, ඔවුන්ගේ මාසික දළ ආදායම වැඩි වීමට බලපාන්නේ මූලික වැටුප නොව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල දීමනා යටතේ පවතින දුරකථන, කාර්යාල සහ වෙළඳපල මිල අනුව වෙනස් වන ඉන්ධන දීමනා පමණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික දීමනාව (වැටුප) රුපියල් 54,285.00 ක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල දත්ත මඟින් තහවුරු කර තිබුණේ මෙලෙසින්.

මන්ත්‍රී වැටුප් වැඩි කරන නිල ක්‍රියාවලිය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා නීත්‍යානුකූලව සංශෝධනය කිරීම හෝ වැඩි කිරීම ප්‍රධාන ක්‍රමවේද දෙකක් ඔස්සේ සිදුවේ.
පාර්ලිමේන්තු පනතක් හෝ යෝජනාවක් මඟින්:
මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා පාලනය වන්නේ 1983 අංක 4 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ (දීමනා) පනත (Establishment of MP Allowances Act) මඟිනි. වැටුප් වැඩි කිරීමට නම්, ඒ පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, සමස්ත මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් එය සම්මත කරගත යුතුය.
රාජ්‍ය සේවා වැටුප් චක්‍රලේඛ සමඟ සම්බන්ධ වීම:
මන්ත්‍රී වැටුප ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් පරිමාණයන්ට (උදාහරණයක් ලෙස මහාධිකරණ විනිසුරු වැටුපට) සමාන්තරව සකසා ඇති බැවින්, පොදුවේ සමස්ත රාජ්‍ය සේවයේම මූලික වැටුප් සංශෝධනයක් සිදුවන අවස්ථාවලදී ඊට අදාළව මන්ත්‍රීවරුන්ගේ මූලික දීමනාවද ඉබේම යාවත්කාලීන වේ.
වැටුප් පත්‍රිකාවේ මුදල වෙනස් වන වෙනත් ක්‍රමවේද
මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285 ක් වුවද, ඔවුන්ට ලැබෙන සමස්ත මාසික දළ ආදායම (Gross Salary) රුපියල් 400,000 ඉක්මවීමට හේතුව වන්නේ මිල සූත්‍ර මත පදනම් වූ දීමනා යාවත්කාලීන වීමයි.
ඉන්ධන දීමනාව
මන්ත්‍රීවරුන්ට ඉන්ධන මුදල් ලෙස ස්ථාවර ගණනක් නොලැබේ. ඔවුන් තේරී පත් වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය අනුව නියමිත ලීටර් ගණනක් (උදා: කොළඹට ලීටර් 283.94, ගම්පහට ලීටර් 355.58) වෙන් කෙරේ. මෙම ලීටර් ගණන සඳහා මුදල් ගෙවන්නේ සෑම මාසයකම පළමු වැනිදා පවතින ලංකා පීටීඑම් ඩීසල් වෙළඳපල මිල (Current Market Price of Diesel) අනුවයි.
ස්වයංක්‍රීය වෙනස් වීම
වෙළඳපලේ තෙල් මිල ඉහළ පහළ යන විට හෝ රජය විසින් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන ලීටර් සීමාවන් සංශෝධනය කරන විට, කිසිදු නව ගැසට් පත්‍රයක් හෝ වැටුප් පනතක් රහිතවම මන්ත්‍රීවරුන්ගේ බැංකු ගිණුමට වැටෙන මුදල ඉබේම වෙනස් වේ. මෑතකදී මන්ත්‍රී අර්චුනා මහතාගේ වැටුප් පත්‍රිකාවේ රුපියල් 60,000 ක වෙනසක් පෙන්වූයේද රජය විසින් පොදුවේ රාජ්‍ය නිලධාරීන්ට සිදුකළ මෙම ඉන්ධන දීමනා මිල ගැලපීම නිසාවෙනි.
Claim :
“මන්ත්‍රී වැටුප් වැඩි කරේ උද්ධමනය වැඩි නිසා. කාටහරි එපානම් කියන්න” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

Fact-Check
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දරන නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් ස්ථානයක මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බව අපගේ නිරීක්ෂණයේදී තහවුරු විය.
එමෙන් News 1st හි නිල පුවත් වාර්තාකරණක් ලෙස ඉහත සටහන පෙන්වා තිබුණ ද, එහි නිල ෆේස්බුක් පිටුවේ එවැනි පුවතක් පළ කර නොමැති බව දැක ගන්නට ලැබුණි. අප කළ විමසීමේදී News 1st Digital හි කළමනාකරු ද, තහවුරු කළේ, හෙවැනි පුවතක් ඔවුන් විසින් පළ කර නොමැති බව ත්, මෙය ඔවුන් නිල සටහන් ආකෘතිය භාවිත කරමින් සිදු කරන ලද ව්‍යාජ සංස්කරණයක් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


