දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පාතාල කල්ලි නායක “කංජිපානි ඉම්රාන්” නිදහස් කර, ඔහුට රටින් පිටව යාමට අවස්ථාව සලසා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බව දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු විය. මෙම ප්‍රකාශයේ සත්‍යතාව අප කරුණු පරීක්ෂාවකට ලක් කළෙමු.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :



Facebook Facebook Facebook Facebook | Archived Link FB
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඩුබායි සිට පිටුවහල් කිරීම සහ ලංකාවේ දී අත්අඩංගුවට ගැනීම (2019):
පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් “කංජිපානි ඉම්රාන්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරනු ලැබුවේ 2019 වර්ෂයේදීය. 2019 පෙබරවාරි 05 දින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි හි පවත්වන ලද සාදයකදී එරට පොලිසිය විසින් කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. 2019 මාර්තු 28 දින ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව, කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
PTA යටතේ රඳවා තබා ගැනීම:
ඩුබායි සිට ලංකාවට රැගෙන ආ වහාම, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ මාස 3ක කාලයක් ඔහුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නිල වශයෙන් අවසර ලබා දුන්නේය. පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියට අදාළව, එම මාස 3ක රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ද ඔහුව PTA චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. 2019 සැප්තැම්බර් 17 දින ද ඔහුව එම නඩුව යටතේම තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවද, 2019 අගෝස්තු 23 දින ගංජා කිලෝග්‍රෑම් 5.3ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය විසින් ඔහුට සිර දඬුවමක් නියම කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.
PTA චෝදනා ඉවත් වීම :
පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට නොවැටෙන බවට නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව, පොලීසිය විසින් PTA චෝදනා ඉවත් කර දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. සාමාන්‍ය නීතිය අනුව ඔහුට ඇප ලබාදිය හැකි බැවින් ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලා සිටියහ. ඒ අනුව රුපියල් ලක්ෂ පණහක ශරීර ඇපයක් මත ඔහුව මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ 2022 වර්ෂය අවසානයේදීය. ඒ ගැන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙතනින් සහ මෙතනින්.
ඇප මත නිදහස් කිරීම හා රටින් පලා යාම – (2022) අවසානයේ:
2022 දෙසැම්බර් 20 දින, PTA යටතේ පැවති චෝදනා දණ්ඩ නීති සංග්‍රහය යටතට පත් කිරීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුව නිදහස් කරන ලදී. එහිදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගෙන විදේශ ගමන් තහනමක් ද පැනවීය. එහෙත් ඇප ලැබී දින කිහිපයකින්, එනම් 2022 දෙසැම්බර් 25 දින, ඔහු තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ තමිල්නාඩුව (රාමේෂ්වරම් වෙරළ තීරය) බලා පලා ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
කවර පාලන සමයේ ද?
කංජිපානි ඉම්රාන්ට ඇප හිමි වූයේ 2022 දෙසැම්බර් 20 දින වන අතර, ඔහු මෙරටින් පලා ගොස් ඇත්තේ 2022 දෙසැම්බර් 25 දිනය. එහෙත්, එම කාලය වන විට මෙරට පැවතියේ ගෝඨාභය රාජපක්ෂ රජය නොව, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ රජයයි.
2022 ජූලි මාසයේ පැවති අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්, පාර්ලිමේන්තු ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ 2022 ජූලි 20 දිනය. ඔහු නිල වශයෙන් දිවුරුම් දුන්නේ 2022 ජූලි මස 21 වැනිදාය. එබැවින්, කංජිපානි ඉම්රාන් ඇප ලබා මෙරටින් පලා ගිය දෙසැම්බර් මාසය වන විට රට පාලනය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිත්වයෙන් යුත් රජය මිස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය නොවේ.
කාල රේඛාව
- 2019 පෙබ. 05 — ඩුබායි හි මාකඳුරේ මධුෂ්ගේ සාදයකදී අත්අඩංගුවට ගැනීම
- 2019 මාර්තු 28 — ඩුබායි වෙතින් පිටුවහල්; කටුනායකදී CID අත්අඩංගුවට ගැනීම
- 2019 අගෝ. 23 — ගංජා කි.ග්‍රෑ. 5.3ක් සම්බන්ධ චෝදනාව; මහාධිකරණ දඬුවම
- 2022 ජූලි — ගෝඨාභය රාජපක්රෂ ඉල්ලා අස්ල්වීම සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දීම
- 2022 දෙසැ. 20 — PTA චෝදනා, දණ්ඩ නීති සංග්‍රහයට පත් වීම හේතුවෙන්, ඇප මත නිදහස් කිරීම (විදේශ ගමන් තහනම සහිතව)
- 2022 දෙසැ. 25 — තලෙයිමන්නාරමින්, මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා යාම
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, කංජිපානි ඉම්රාන් නිදහස් කර රටින් පිටව යාමට අවස්ථාව සලසා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බවට දක්වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවනසුලු බවයි.
PTA (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) යටතේ ගොනු කර තිබූ චෝදනා, එම පනත යටතට නොවැටෙන බවට නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහය යටතට පත් කිරීමෙන් අනතුරුව, විදේශ ගමන් තහනමක් සහිතව 2022 දෙසැම්බර් 20 දින කංජිපානි ඉම්රාන්ට ඇප හිමි විය. දෙසැම්බර් 25 දින ඔහු මෙරටින් පලා ගියේය. 2022 ජූලි 20 සිට මෙරට පැවතියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිත්වයෙන් යුත් රජය බැවින්, එම සිදුවීම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයට ආරෝපණය කිරීම වැරදිය.


