දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
‘හොරා කාපු අවුරුදු 74 ණය ට්‍රිලියන 22 යි, අනුර ඇවිල්ලා පෝහෝ දින 17 (එනම් මාස 17)කින් ණය ට්‍රිලියන 34 යි’ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා. එම සටහන් මඟින් අරුත් ගන්වා තිබුණේ, නිදහස ලැබීමෙන් පසු දශක 7ක කාලයක් තුළ රටේ රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 22ක් වූ බව ත්, ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් මාස 17ක් ඇතුළත එය ට්‍රිලියන 34ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි. මෙහි නිර්වද්‍යතාව අප නිවැරදි දත්ත සමගින් පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Fact-Check (කරුණු විමර්ශනය) :
මෙම ප්‍රකාශයේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වාර්තා අප පරීක්ෂා කරනු ලැබුවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා අනුව සකසන ලද (Table 105) දත්ත වලට අනුව, 2023 වර්ෂා අවසානයේදීම එනම් අනුර කුමාර දිසානායක ජනාධිපති වීමට මාස කිහිපයකට පෙර සමස්ත මධ්‍යම රජයේ ණය රුපියල් බිලියන 28,696ක්, එනම් ට්‍රිලියන 28.7ක් පමණ වන බව නිරීක්ෂණ විය. භාණ්ඩාගාරයේ තාවකාලික දත්ත අනුව එම අගය බිලියන 29,146ක් (ට්‍රිලියන 29.15) ක් වේ. 2024 සැප්තැම්බර් වන විට එනම්, අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ මොහොත වන විට සමස්ත ණය බිලියන 30,025ක්, එනම් ට්‍රිලියන 30ක් ඉක්මවා තිබුණි.
එනම්, අනුර කුමාර බලයට පත්වීමට පෙරම රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 22ට වඩා, බෙහෙවින් (ට්‍රිලියන 8 කින් පමණ) වැඩි බව දැක ගන්නට ලැබේ.
මහ බැංකු දත්ත අනුව, මධ්‍යම රජයේ ණය ට්‍රිලියන 22 ඉක්මවා ගියේ 2022 වර්ෂයේ දෙවන කාර්තුවේදීය (2022 අප්‍රේල්-ජූනි). 2022 මාර්තු අවසානයේ ණය ට්‍රිලියන 21.6ක් වූ අතර, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ණයවල රුපියල් වටිනාකම ඉහළ යාමත් සමඟ 2022 ජූනි අවසානය වන විට එය ට්‍රිලියන 24.26 දක්වා ඉහළ ගියේය. මේ පිළිබඳ නිල දත්ත මෙතනින්.
ජාතික ජන බල රජය යටතේ, මාස 17කින් ණය ට්‍රිලියන 34 ක් දක්වා ණය වැඩි වුණා ද?
“ට්‍රිලියන 34” පැමිණෙන්නේ කොහෙන්ද?
‘ට්‍රිලියන 34’ යන අගය කිසිදු නිල CBSL/PDMO ණය ශ්‍රේණියක දැකගනන්ට ලැබෙන්නේ නැහැ. නවතම නිල දත්ත අනුව (PDMO කාර්තුමය ණය සංඛ්‍යාලේඛන වාර්තාව, 2026 මාර්තු අවසානය) මධ්‍යම රජයේ ණය ට්‍රිලියන 31.19ක් (PDMO දළ ශ්‍රේණිය) හෝ ට්‍රිලියන 30.19ක් (CBSL ශුද්ධ ශ්‍රේණිය), රජයේ සහතික සහිත රාජ්‍ය ව්‍යාපාර (SOE) ණය ට්‍රිලියන 1.03ක්, සහ මේ සියල්ල ඇතුළත් සමස්ත රාජ්‍ය ණය ට්‍රිලියන 32.23ක් පමණි.
එනම් පුළුල්ම නිල දර්ශකය පවා ට්‍රිලියන 34ට වඩා ට්‍රිලියන 1.8කින් පමණ අඩුය. ‘ට්‍රිලියන 34’ යන අගය පැමිණ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවට (COPF) ඉදිරිපත් වූ දත්ත ලෙස සඳහන් කළ, PDMO හි නිල අගය සමඟ නොගැලපෙන බැවින්ම ඔහු විසින්ම ප්‍රශ්න කරන ලද, මතභේදාත්මක අගයකිනි.
නවතම PDMO දත්ත අනුව ද (සමස්ත රාජ්‍ය ණය ට්‍රිලියන 32.23 = ඩොලර් බිලියන 102.27; මධ්‍යම රජයේ ණය, පළාත් පාලන ණය රු. බිලියන 7, සහ රජයේ සහතික සහිත SOE ණය රු. ට්‍රිලියන 1.03 යන සියල්ල ඇතුළත් වේ. නිල රජයේ මූලාශ්‍රය: රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) කාර්තුමය සංඛ්‍යාලේඛන ණය වාර්තාව – 2026 මාර්තු අවසානය, රාජ්‍ය ණය කළමනාකරණ පනත අංක 33/2024 යටතේ භාණ්ඩාගාරයේ නිල වෙබ් අඩවියේ පළ කෙරේ මෙතනින්) සහ රවි කරුණානායකගේ COPF ප්‍රකාශය පිළිබඳ වාර්තාව මෙතනින්.
ශ්‍රී ලංකාව මධ්‍යම රජයේ ණය සඳහා අර්ථ දැක්වීම් දෙකක් යටතේ නිල අගයන් ප්‍රකාශයට පත් කරයි: තැන්පතු අඩු කළ CBSL ශුද්ධ ශ්‍රේණිය (2026 මාර්තු වන විට ට්‍රිලියන 30.19 සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ PDMO දළ ශ්‍රේණිය (ට්‍රිලියන 31.19). මේ දෙක අතර රු. ට්‍රිලියන 1ක පමණ වෙනසක් ඇත. මේ අගයන් දෙකම නිල දත්ත වන අතර ට්‍රිලියන 34ට වඩා අඩුය. PDMO දළ ශ්‍රේණියේ නවතම වාර්තාව මෙතනින්.
2024 සැප්තැම්බර් (ට්‍රිලියන 30.03) සිට 2024 දෙසැම්බර් (ට්‍රිලියන 28.74) දක්වා ණය පහත වැටීම ප්‍රධාන වශයෙන් 2024 දෙසැම්බර් 20 වන දින සම්පූර්ණ වූ ISB ප්‍රතිව්‍යුහගත කිරීම නිසාය. විදේශ ණය රු. බිලියන 11,699 සිට රු. බිලියන 10,429 දක්වා (රු. ට්‍රිලියන ~1.27ක්) අඩු වූ අතර, දේශීය ණය බොහෝදුරට නොවෙනස්ව (රු. බිලියන ~18,326 සිට ~18,310 දක්වා) පැවතුණි. එනම් මෙම පහත වැටීම නව ණය ගැනීමක අඩුවීමක් නොව, ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑමකි. ISB ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිල CBSL නිවේදනය මෙතනින්.
පසුගිය වසර 6ක සංසන්දනාත්මක දත්ත
| වර්ෂය (කාර්තුව) | මධ්‍යම රජයේ ණය (රු. ට්‍රිලියන) | මූලාශ්‍රය / සටහන |
| 2019 අවසානය | 13.03 | CBSL |
| 2021 අවසානය | 17.61 | CBSL |
| 2022 අවසානය | 27.49 | රුපියල් අවප්‍රමාණය, forex valuation |
| 2023 අවසානය | 28.70 | CBSL Table 105 |
| 2024 සැප්. (AKD පත්වීම) | 30.03 | ISB restructuring පෙර |
| 2024 දෙසැ. | 28.74 | ISB restructuring පසු |
| 2025 දෙසැ. | 29.99 | CBSL ශුද්ධ |
| 2026 මාර්තු | 30.19 (CBSL ශුද්ධ) / 31.19 (PDMO දළ) | PDMO Q1 2026 |
2023 සහ ඉන් පසු කාර්තු සඳහා මූලාශ්‍ර දෙකක් අතර සුළු වෙනසක් ඇත්තේ එකක් CBSL වාර්ෂික වාර්තාවේ අවසන් අගය වන අතර අනෙක තාවකාලික/සංශෝධිත කාර්තුමය අගයක් වීම නිසාය. එහෙත් දෙකම ‘ට්‍රිලියන 22’ යන ප්‍රකාශයට වඩා බෙහෙවින් ඉහළ අගයන් වේ.
රාජ්‍ය ණය වර්ධනය වූයේ කෙසේද?
2019–2024 ණය වර්ධනයේ පසුබිම
2024 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 30කට ආසන්න මට්ටමකට ළඟා වූයේ කෙසේද යන්න තේරුම් ගැනීම සඳහා පසුගිය වසර කිහිපය තුළ ණය වර්ධනය වූ ආකාරය පිළිබඳ කෙටි පසුබිමක් වැදගත් වේ.
• 2019-2021: මධ්‍යම රජයේ සමස්ත ණය 2019 අවසානයේ රුපියල් ට්‍රිලියන 13.03 සිට 2021 අවසානයේ රුපියල් ට්‍රිලියන 17.61 දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් තිබුණි.
• 2022 දී විශාල ඉහළ යාම: 2022 අවසානය වන විට සමස්ත ණය රුපියල් ට්‍රිලියන 27.49 දක්වා ඉහළ ගියේය. මෙම විශාල වැඩිවීමට ප්‍රධාන හේතුව වූයේ ආර්ථික අර්බුදය අතරතුර ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල්වලින් පවතින ණයවල රුපියල් අගය ඉහළ ගිය අතර, මෙය විශාල ප්‍රමාණයේ නව ණය ගැනීම් හේතුවෙන් සිදුවූවක් නොවීය.
• වත්මන් පාලනයට පෙර (2024 සැප්තැම්බර්): 2024 සැප්තැම්බර් වන විට සමස්ත මධ්‍යම රජයේ ණය රුපියල් ට්‍රිලියන 30.03 ක් ලෙස වාර්තා විය.
ගුද්ධ ණය ප්‍රමාණයේ විශාල වෙනස්වීම් සිදු නොවුනේ ඇයි?
නව ණය ලබා ගැනීම දිගටම සිදු වුවද (බොහෝ දුරට පවතින දේශීය ණය නැවත අලුත් කිරීම්/rollovers), 2024 සැප්තැම්බර් සිට 2026 මාර්තු දක්වා ණය ශුද්ධ බොහෝදුරට පාහේ නොවෙනස්ව පැවතුණේ ප්‍රධාන හේතු තුනක් නිසාය: (1) 2024 දෙසැම්බර් 20 වන දින සම්පූර්ණ වූ ISB ප්‍රතිව්‍යුහගත කිරීම විදේශ ණයවල රුපියල් අගය රු. ට්‍රිලියන ~1.27කින් අඩු කිරීම; (2) රුපියල ශක්තිමත් වීම, එමගින් ඩොලර්වලින් ගත් විදේශ ණයවල රුපියල් අගය ගෙවීමක් නොමැතිවම පහත වැටීම; (3) IMF වැඩසටහන යටතේ මූල්‍ය තහවුරු කිරීම. වැඩිදුර තොරතුරු මෙතනින් (ISB ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිල CBSL නිවේදනය).
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ණය සේවාකරණයේ (Debt Servicing) ප්‍රගතිය
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් 2024 අවසානයේ සහ 2026 මුල් භාගයේ සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව නිල වශයෙන් නැවත ණය ආපසු ගෙවීම ආරම්භ කරනු ලැබීය.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිල වශයෙන් තහවුරු කරන්නේ, 2026 පළමු කාර්තුවේ සමස්ත ණය සේවා ගෙවීම් ඇමරිකානු ඩොලර් බිලියන 8.09ක් – ඉන් ඩොලර් බිලියන 5.98ක් ප්‍රාග්ධන ආපසු ගෙවීම්, ඩොලර් බිලියන 1.59ක් දේශීය පොලී, ඩොලර් මිලියන 530ක් විදේශ ණය සේවා. නිල මූලාශ්‍රය: PDMO නිල නිවේදනය (Sri Lanka Sustains Debt Servicing Momentum Post-Restructuring) මෙතනින්. එනම් ඩොලර් බිලියන 8.09න් 93.5%ක්ම (ඩො.බි. 7.57) දේශීය ණය අභ්‍යන්තරව rollover කිරීම්ය; විදේශිකයන්ට සැබැවින්ම ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 530ක් පමණි. මූලාශ්‍ර: Fact Crescendo (Q1 2026 ණය සේවාකරණය
• 2026 මාර්තු මාසයේදී, 2022 වසරේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) සම්බන්ධයෙන් ඉතිරිව තිබූ බැඳුම්කර හිමියන්ගේ හිඟ ගෙවීම් Cash Tender Offer ක් මඟින් පියවා අවසන් කරන ලදී.
මෙම කරුණු මගින් පෙන්වන්නේ වර්තමාන පාලනය නව ණය රැස්කරනවාට වඩා, පවතින ණය වගකීම් කළමනාකරණය කරමින් ඒවා සේවාකරණය කරමින් සිටින බවයි.
පොලී බර සහ අයවැය ශේෂය (Overall / Primary Balance)
අයවැය හිඟය (Budget Deficit) සහ ණය සමුච්චය වීම අතර වෙනස පැහැදිලි කිරීමෙන් රජයේ මූල්‍ය තත්ත්වය ස්ථාවර වෙමින් පවතින ආකාරය තේරුම් ගත හැකිය.
• සමස්ත අයවැය ශේෂය (Overall Balance): 2026 වසරේ පළමු කාර්තුවේ (ජනවාරි-මාර්තු) රජයේ ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 1,499.2 ක් වූ අතර, සමස්ත වියදම රුපියල් බිලියන 1,382.8 ක් විය. ඒ අනුව රුපියල් බිලියන 116.4 ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා විය. ප්‍රාථමික ශේෂය ගණනය කරනුයේ පොලී ගෙවීම් හැරය; එබැවින් ප්‍රාථමික අතිරික්තය මෙම අගයටත් වඩා විශාල වේ. (CBSL දත්ත අනුව 2025 දී ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%ක වාර්තාගත ප්‍රාථමික අතිරික්තයක් ලබා ගත් අතර, 2023 දී එය 0.6%ක් ද 2024 දී 2.2%ක් ද විය.) [මූලාශ්‍ර: CBSL වාර්ෂික ආර්ථික සමාලෝචනය 2025, Daily FT (2026 අයවැය අතිරික්තය).
සමස්ත අයවැය අතිරික්තයක් (සහ ඒ නිසාම ප්‍රාථමික අතිරික්තයක් ද) වාර්තා වීමෙන් අදහස් වන්නේ, රජයට දෛනික රාජ්‍ය මෙහෙයුම් සහ සාමාන්‍ය වියදම් පියවා ගැනීම සඳහා නව දේශීය හෝ විදේශීය ණය මත යැපීමට අවශ්‍ය නොවන තරමට ආදායම් ප්‍රමාණවත් වී ඇති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අප පරීක්ෂණය කරන ලද නිල දත්ත අනුව, ‘හොරා කාපු අවුරුදු 74ට ණය ට්‍රිලියන 22ක්, අනුර මාස 17කින් ට්‍රිලියන 34ක්’ යන ප්‍රකාශය අසත්‍ය හා නොමඟ යවන සුළුය.
අනුර දිසානායක ජනපති ධුරයට පත්වන විට (2024 සැප්තැම්බර්) මධ්‍යම රජයේ ණය ට්‍රිලියන 30ක් පමණ විය. එබැවින් ඔහුට “මාස 17කින් ට්‍රිලියන 34ක් දක්වා ණය වැඩි කිරීම” ගණිතමය වශයෙන් නොහැකිය.
තවද, කිසිදු සම්මත නිල දර්ශකයක් තුලින්, එනම් මධ්‍යම රජයේ ණය, සාමාන්‍ය රජයේ ණය, හෝ රාජ්‍ය ව්‍යාපාර ණය ඇතුළත් සමස්ත රාජ්‍ය ණය කිසිවක්, වර්තමානයේ ට්‍රිලියන 34ක් ලෙස දක්වා නැහැ. (පුළුල්ම දර්ශකය ද 2026 මාර්තු වන විට ට්‍රිලියන 32.23ක් ලෙස වාර්තා වේ).
ණය ප්‍රමාණයක් පසුගිය වසර තුළ පාහේ නොවෙනස්ව පැවතුණේ 2024 දෙසැම්බර් ISB ප්‍රතිව්‍යුහගත කිරීම, රුපියලේ ශක්තිමත් වීම, සහ 2025 දී වාර්තාගත 5.4% ප්‍රාථමික අතිරික්තය යන කරුණු නිසා වන අතර නව ණය ගැනීම නතර වූ නිසා නොවේ.


