දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ඇතුළු ප්‍රධාන ජාතික විභාග කිහිපයක ප්‍රශ්න පත්‍ර කල්තියා පිටවීම මුල් කරගෙන රට පුරා දැවැන්ත තරුණ විරෝධතා සහ දේශපාලන අර්බුදයක් හටගෙන තිබුණා. මෙවන් පසුබිමකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වීඩියෝ පණිවිඩයක් මගින් ඉන්දියාවේ වත්මන් ශිෂ්‍ය විරෝධතා අමතමින්, ශ්‍රී ලංකාවේ ඇති වූ “අරගලය” ආදර්ශයට නොගන්නා ලෙසත්, ලංකාවට සිදු වූ විනාශය දෙස බලා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ත් අගමැති මෝදි ඉන්දීය දූ දරුවන්ගෙන් පියෙකු මෙන් ඉල්ලා සිටි බවට දක්වමින් සටහනක් හුවමාරු වී තිබුණා. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අප විසින් සිදු කළ කරුණු විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මෝඩි විසින් සිදු කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය ලෙස එම සටහනේ සඳහන් කර තිබුණේ මේ අයුරින්.
“භාරත දේශයේ අභිමානවත් දූවා දරුවනි!!
පියෙකුමෙන් ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ ඉවසිමෙන් සහා දුරදිග බලා කටයුතු කරන ලෙසයි.
ආවේගශීලි නොවන්න.
ඔබලා ලංකාවේ ඇතිවු අරගලය ආදර්ෂයට ගෙන ක්‍රියාත්මක වෙනබව මේ සිදුවෙන ප්‍රචණ්ඩකාරි තත්ත්වයෙන් පෙනෙන්න්ට තියෙනවා.
ඔබලා ලංකාවේ අරගලය දුටුවද මේ වනවිට ඇතිවි තිබෙන ඛේදනීය තත්ත්වය දුටුවාද
ලංකාවේ අරගලය දෙස බලා ඉන්පසු නිද්‍රාශීලී වු දුවේ පුතේ දැන් ලංකාව දෙස බලන්න.
එවිට ඔබට තවදුරටත් අරගලයේ රැඳිසිටින්න හෘද සාක්ෂිය ඉඩනොදෙනු ඇත
භාරත මාතාවට ජයවේවා”
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
වීඩියෝවේ සැබෑ පසුබිම
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඉන්ස්ටග්‍රෑම් රීල් වීඩියෝව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් නිල වශයෙන් නිකුත් කරන ලද්දකි. එහිදී ඔහු කතා කරනු ලබන්නේ, ඉන්දියාවේ මෑතකදී සිදුවූ ජාතික මට්ටමේ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ අර්බුදය සහ ඒ හේතුවෙන් රට පුරා හටගත් තරුණ විරෝධතා පිළිබඳවයි.
අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත කතාව පරිවර්තනය කර බැලීමේදී, ඔහුගේ කතාවේ අන්තර්ගත ප්‍රධාන කරුණු නම්,
සිසුන්ගේ අනාගතය සමඟ සෙල්ලම් කළ ප්‍රධාන වැරදිකරුවන් දැනටමත් අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බව,
මෙම වංචාවලට සම්බන්ධ අයට ප්‍රමුඛතාවය දී ඉක්මනින් නඩු විභාග කර දඬුවම් පැමිණවීම සඳහා විශේෂ කඩිනම් අධිකරණ පිහිටුවා ඇති බව,
විභාග වංචා සහ ප්‍රශ්න පත්‍ර කාන්දු කරන්නන්ට එරෙහිව ඉතා දැඩි දඬුවම් සහ දඩ මුදල් පැනවිය හැකි නව පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව,
ජාතික විභාග ක්‍රමය වඩාත් විනිවිදභාවයෙන් යුතුව සහ සුරක්ෂිතව පැවැත්වීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පත් කර ඇති බව,
සුප්‍රසිද්ධ තාක්ෂණික විශේෂඥයෙකු සහ ඉන්ෆොසිස් (Infosys) සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන නන්දන් නිලෙකානි මහතාගේ නායකත්වයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන බව,
ප්‍රශ්න පත්‍ර කාන්දු වීම නිසා පීඩාවට පත් වූ මිලියන ගණනක සිසුන්ගේ අධ්‍යයන වර්ෂය අපතේ යා නොදී, ඉතා කෙටි කලක් තුළ නැවත සාධාරණ ලෙස විභාග පවත්වා අවසන් කිරීමට රජය කටයුතු කරන බව යන කරුණු වේ.
ශ්‍රී ලංකාව හෝ “අරගලය” ගැන සඳහනක් තිබේද?
නැත, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල ප්‍රකාශයේදී ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලංකාවේ පැවැති “අරගලය” පිළිබඳව කිසිදු සඳහනක් සිදු කර නොතිබුණි.
ඔහුගේ කතාව සම්පූර්ණයෙන්ම වෙන් වූයේ ඉන්දියාවේ මෑතකදී සිදු වූ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිදුවීම්, ඊට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දීම සහ ජාතික විභාග පද්ධතිය තාක්ෂණය ඔස්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ සැලසුම් පැහැදිලි කිරීම පමණි.
ඉන්දියාවේ පවතින උණුසුම් තත්ත්වය සහ ලංකාවේ අතීත දේශපාලන අර්බුදය සංසන්දනය කරමින් ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශයක් ලෙස මෙම සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ ලෙස ඈඳා සකස් කර තිබේ.
ගැටුමට මුල් වූ හේතුව
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් තෝරාගන්නා ප්‍රධානතම විභාගය වන NEET (National Eligibility-cum-Entrance Test) විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවී ඇති බව අනාවරණය විය. මේ හේතුවෙන් සිසුන් මිලියන 2.3කගේ පමණ ප්‍රතිඵල අවලංගු කර, ඔවුන්ට නැවත විභාගයට පෙනී සිටීමට සිදු විය.
වසර ගණනාවක් මහන්සි වී පාඩම් කළ සිසුන්ට සිදුවූ අසාධාරණය සහ ඉන් ඇතිවූ දැඩි මානසික පීඩනය නිසා සිසුන් 20 දෙනෙකු පමණ දිවි නසාගෙන ඇති බව වාර්තා වූ අතර මෙය රට පුරා මහජන කෝපය ඇවිලවීමට ප්‍රධාන හේතුවක් වී තිබුණා.
“කොක්‍රෝච්” (Cockroach) තරුණ අරගලය සහ නවදිල්ලි ගැටුම්
ඉන්දියාවේ Gen-Z පරපුරේ තරුණ තරුණියන් එකතු වී ‘Cockroach Janta Party’ (CJP) නමින් ව්‍යාපාරයක් අරඹා නවදිල්ලියේ ‘ජන්තර් මන්තර්’ (Jantar Mantar) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සති ගණනාවක උපවාස ව්‍යාපාර ආරම්භ කරනු ලැබීම ඊට හේතුව වූයේ, ඉන්දීය අගවිනිසුරුවරයා විසින් විරැකියාවෙන් පෙළෙන තරුණයන් “කැරපොත්තන්ට” උපමා කිරීමයි. මෙම ප්‍රකාශයකට උපහාසාත්මක ප්‍රතිචාරයක් ලෙස ඔවුන් මෙම නම අරගලය සඳහා යොදාගෙන ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු [මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
තරුණයන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය විසින් බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර මෙයින් තරුණ තරුණියන් රැසක් තුවාල ලබා නවදිල්ලිය යුද පිටියක මුහුණුවරක් ගනු ලැබුවා. විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් ද සිසුන්ට සහාය පළ කරමින් මෙයට එක් විය. තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අරගලය හමුවේ රජය ගත් තීරණ
ජනතා පීඩනය හමුවේ නරේන්ද්‍ර මෝදි රජයට මෙවර සිසුන් හමුවේ දැඩි තීරණ කිහිපයක් ගැනීමට සිදු විය. මෙතනින්, මෙතනින්
- අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම: සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.
- නන්දන් නිලෙකානි කමිටුව: විභාග පද්ධතිය සම්පූර්ණයෙන්ම තාක්ෂණයෙන් සුරක්ෂිත (Hack-proof) කිරීම සඳහා Infosys සමාගමේ සම නිර්මාතෘ සහ Aadhaar ව්‍යාපෘතියේ ප්‍රධානී නන්දන් නිලෙකානි (Nandan Nilekani) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ තාක්ෂණික කාර්ය සාධක බලකායක් පත් කරන ලදී.
- දැඩි දඬුවම් සහ කඩිනම් අධිකරණ: ප්‍රශ්න පත්‍ර ලීක් කරන ජාවාරම්කරුවන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ රුපියල් කෝටි 10ක දඩ පැනවිය හැකි නව නීති පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, නඩු ඉක්මනින් අවසන් කිරීමට කඩිනම් අධිකරණ (Fast-track courts) පිහිටුවීමට අගමැති මෝදි පියවර ගනු ලැබීය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
නිගමනය (Conclusion) :
අපගේ කරුණු විමර්ශනයට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවේ අරගලය ගැන සඳහන් කරමින් ඉන්දීය සිසුන්ට අවවාද කළ බවට පළවන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළුය. ඔහු කතා කළේ එරට ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ ගැටලුවට රජය ගන්නා නීතිමය සහ තාක්ෂණික පියවර පිළිබඳව පමණි.


