
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
2025 මෙරට රේගුව විසින් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට චෝදනා එල්ල වී තිබූ ආන්දෝලනාත්මක බහාලුම් 323 සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදියකු විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ සටහන සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙකු විසින් සත්‍ය ලෙස විශ්වාස කරමින් හුවමාරු කරගෙන තිබූ අතර, මෙහි සත්‍යාසත්‍ය භාවය සොයා බලමින් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා. එම කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ලංකාවට ආපු කන්ටේනර් 323 ගැන තායිලන්තයේ ප්‍රභල මාධ්‍යවේදියෙක් ආන්දෝලාත්මක ප්‍රකාශයක් කරයි. තායිලන්තයේ ප්‍රසිද්ධ මාද්‍යවේදියෙක් වන Pravit Rojanaphruk මහතා ශ්‍රී ලංකා රේගුව මගින් නිදහස් කර කන්ටේනර් 323 තායිලන්තයේ සිට ලංකාවට ගිය බවත් එම කන්ටේනර් වල ත්‍රස්ත සංවිධානයක් වෙන LTTE සංවිධානයට අයිති අවි ආයුධ තිබූ බවත් පවසයි…” යනාදී කරුණු දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම කන්ටේනර් 323 සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් කලක පටන් මෙරට තුළ ඇතිව තිබීම හේතුවෙන් අදාළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් සැබෑ ලෙසම තායිලන්ත මාධ්‍යවේදියෙකු විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් සොයා බැලීමක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2025 ජනවාරි මාසයේදී කොළඹ වරායේ පැවති දැඩි බහාලුම් තදබදය සහ ප්‍රමුඛතා භාණ්ඩ ප්‍රමාදවීම් මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටු අනුමැතිය මත බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව මුදා හැර තිබූ බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වූ තිබූ අතර, භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323 මුදා හැරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් හරහා මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් මේ වන විට සිදුවෙමින් පවතිනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
තායිලන්ත මාධ්‍යවේදී ප්‍රවිත් රොජනප්රුක් ශ්‍රී ලංකාවේ බහාලුම් 323 සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහනක් තබා නොමැත
මෙම බහාලුම් සම්බන්ධයෙන් තායිලන්ත මාධ්‍යවේදී ප්‍රවිත් රොජනප්රුක් මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කර ඇත්ද යන්න අප විසින් පරීක්ෂාවට ලක් කලා. තායිලන්තයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, ජාත්‍යන්තර පුවත් සේවා සහ මාධ්‍යවේදී ප්‍රවිත් රොජනප්රුක් (Pravit Rojanaphruk) මහතාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් සියල්ල පරික්ෂා කල අතර ඔහු ශ්‍රී ලංකාවේ බහාලුම් 323 සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහනක් තබා නොමැති බව හඳුනා ගත හැකියි.
එසේම ශ්‍රී ලංකාවේ මෙම බහාලුම් 323 තුළ ත්‍රස්ත සංවිධානයක් වන LTTE සංවිධානයට අයත් අවි ආයුධ තිබූ බවට වන කිසිඳු තහවුරු කළ පුවතක් හෝ නිල වාර්තාවක් ජාත්‍යන්තර මාධ්‍ය, තායිලන්ත මාධ්‍ය හෝ මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ නැහැ.
2017 වසරේ CPJ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් සම්මාන උළෙලේ දර්ශනයක්
අදාළ සටහන සමඟ හුවමාරු වන තායිලන්ත මාධ්‍යවේදී ප්‍රවීන් රොජනප්රුක් මහතා දැක්වෙන දර්ශනය 2017 වසරේ CPJ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් සම්මාන උළෙලේ දර්ශනයක් වන අතර, 2017 නොවැම්බර් 15 වන දින නිව්යෝර්ක් නුවර පැවැති මෙම උළෙලේදී, මාධ්‍ය නිදහස වෙනුවෙන් කළ කැපවීම අගයමින් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව මගින් ප්‍රවීන් රොජනප්රුක් හට සම්මානයක් පිරිනමන අවස්ථාවේදී ඔහු එම උළෙල අමතන දර්ශනයකි.

එම සම්පූර්ණ කතාව තුළ කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ බහාලුම් සම්බන්ධයෙන් හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෝ කිසිවක් ඔහු විසින් ප්‍රකාශ කරන්නේ නැහැ. එම සම්පූර්ණ කතාව මෙතනින්.
කෙසේ නමුත්, 2025 ජුනි මාසයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුව අමතමින්, මෙම කන්ටේනර්වල එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් 2009ට පෙර තායිලන්තයෙන් ආනයනය කිරීමට උත්සාහ කළ අවි ආයුධ තිබූ බවට ප්‍රකාශයක් සිදු කර තිබූණා. එම ප්‍රකාශය මෙතනින්.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර, මන්ත්‍රීවරයා සතුව ඒ සඳහා කිසිදු ලිඛිත හෝ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව හෙළි විය. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
මුදාහරින ලද බහාලුම් තුළ එල්.ටී.ටී.ඊ විසින් තායිලන්තයෙන් ආනයනය කිරීමට උත්සාහ කළ ආයුධ තිබූ බවට එල්ල වන චෝදනා රේගුව තරයේ ප්‍රතික්ෂේප කරයි
2025 ජුනි 8 පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එවකට රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා මෙසේ මුදාහරින ලද බහාලුම් 323 තුළ ආයුධ, මත්ද්‍රව්‍ය හෝ රත්‍රන් අඩංගු බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේම ආනයනකරුවන් විසින් ප්‍රකාශ කරන ලද පරිදි අදාළ භාණ්ඩ කාර්මික අයිතම සහ අමුද්‍රව්‍ය සඳහා පමණක් සීමා වී ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා. අදාළ සියලුම ආනයන ලියකියවිලි හොඳින් පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් බහාලුම් නිදහස් කළ බවත්, භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නීතිවිරෝධී ද්‍රව්‍ය කිසිවක් නීතිවිරෝධී ලෙස ගෙන ආ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.
තායිලන්තයෙන් පැමිණි බහාලුම් බවට කිසිඳු සාක්ෂියක් නැත
මෙම බහාලුම් වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබුණේ ඉන්දියාව සහ චීනය යන රටවලින් බවත්, මීට අමතරව ඉන්දුනීසියාව, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලින්ද බහාලුම් කිහිපයක් පැමිණ තිබුණු බවත්, ආනයනකරුවන් විසින් රේගුව වෙත ඉදිරිපත් කර තිබූ නිල ලේඛනවලට අනුව මේවා මෙරට කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සහ සාමාන්‍ය වෙළඳ භාණ්ඩ වූ බවත්. ඒ අතර ප්ලාස්ටික්, නූල්, රසායනික ද්‍රව්‍ය, මෝටර් රථ උපාංග, සත්ව ආහාර, යන්ත්‍ර සූත්‍ර, කෘමිනාශක, සිමෙන්ති, යකඩ බට, පොහොර සහ ලී ද්‍රව්‍ය අඩංගු වූ බවත් ඔහු විසින් මෙම ප්‍රකාශයේදී සඳහන් කර තිබුණා.
එම මාධ්‍ය සාකච්ඡාව පහතින්.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති
මෙම සිදුවීම වාර්තා වූ 2025 ජනවාරි මාසයේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසා තිබුණේ කිසිදු නීතිවිරෝධී දෙයක් මෙම බහාලුම් වල තිබු බවක් ඔප්පු වී නොමැති බවත්, එවැන්නක් සිදුවුවහොත් රජයක් ලෙස එය බාරගන්නා බවයි. එම වීඩියෝව පහතින්
ශ්‍රී ලංකා රේගුව
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ශ්‍රී ලංකා රේගුවේ වත්මන් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සඳහන් කර සිටියේ තායිලන්ත මාධ්‍යවේදියෙකු විසින් සිදුකළ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නොමැති බවත්, කෙසේ නමුත් අදාළ බහාලුම් සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ලිමේන්තු කමිටුවක් හරහා පරීක්ෂණ සිදු වෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් රේගුව විසින් අභ්‍යන්තරව සිදුකළ පශ්චාත් නිෂ්කාෂණ විගණන වලින් එවැනි අවි ආයුධ සම්බන්ධ කිසිදු තොරතුරක් හමු නොවූ බවත් ඔහු ප්‍රකාශ කළ බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එහිදී පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් සඳහන් කරන ලද්දේ අදාල බහාලුම් සම්බන්ධයෙන් එවැනි අනාවරණයක් සිදු කිරීමක් ගැන වාර්තා වී නොමැති බවයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය
මේ සම්බන්ධයෙන් අපි විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් කළ අතර, ඔහු විසින් සඳහන් කරන ලද්දේ තායිලන්ත මාධ්‍යවේදියෙකු විසින් මෙරට අදාළ බහාලුම් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකරා ඇති බවට වාර්තා වී නොමැති බවත් අදාළ සටහන අසත්‍ය සටහනක් වන බවත් ය.
අප විසින් තායිලන්ත මාධ්‍යවේදී ප්‍රවීත් රොජනප්රුක් මහතාගෙන් මේ සම්බන්ධයෙන් ලිඛිතව විමසීමක් සිදු කර ඇති අතර, ඒ අනුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තායිලන්ත මාධ්‍යවේදී ප්‍රවීන් රොජනප්රුක් විසින් පසුගිය වසරේ මෙරට රේගුව විසින් භෞතික පරීක්ෂාවකින් තොරව මුදාහැරි බවට චෝදනා එල්ල වන බහාලුම් 323 හි අන්තර්ගත වූයේ තායිලන්තයේ සිට ලංකාවට ගෙන ආ LTTE සංවිධානයට අයත් අවි ආයුධ බවට ප්‍රකාශයක් කර ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එවැනි ප්‍රකාශයක් අදාළ මාධ්‍යවේදියා විසින් සිදු කර ඇති බවට සාක්ෂි නොමැත. එසේම එවැනි අනාවරණයක් පිළිබඳව වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇත.


