දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය නොවැම්බර් අගභාගයේ මෙරටට බලපෑ දිත්වා සුළිකුණාටුවේ බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී තිබුණා. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිසංස්කරණ තවමත් සිදුවෙමින් පවතින කාලවකවානුවක ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් උඩරට දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දක්වමින් හුවමාරු වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
උඩරට දුම්රිය මාර්ගයේ හානි වී ඇති ස්ථාන ඡායාරූපගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහරණ පිරිස් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන දිනමිණ පුවත් ආකෘතියෙන් නිර්මාණය වී තිබූ අතර මෙම ප්‍රකාශය සැබෑ ලෙසම නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන විසින් සිදුකළ ප්‍රකාශයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2025 නොවැම්බර් අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි ඇති විය. ගම්පොළ – නාවලපිටිය, කඩුගන්නාව – බලන, සහ නානුඔය – අඹේවෙල අතර ප්‍රදේශවල ස්ථාන ගණනාවක පස් කඳු කඩා වැටී දුම්රිය මාර්ගය යට වූ අතර, විශේෂයෙන්ම රදැල්ල සහ වරකාපිටිය ප්‍රදේශවල දුම්රිය මාර්ගය යට පස් තට්ටුව සෝදාපාළුවට ලක්ව මාර්ගය අඩි 40-50ක් පමණ ඈතට ගසාගෙන ගොස් ඇති බව වාර්තා විය. එසේම උඩරට දුම්රිය මාර්ගයේ ගල් පෙරළීම සහ පාලම් හානි වීම නිසා දුම්රිය ධාවනය මුළුමනින්ම නතර විය. මරදාන සිට පේරාදෙණිය දක්වා සහ ඉන් ඔබ්බට දුම්රිය මාර්ගයේ ප්‍රධාන ස්ථාන 97ක දරුණු හානි වාර්තා විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් උඩරට දුම්රිය මාර්ගයේ හානි වී ඇති ස්ථාන ඡායාරූප ගත කර සමාජ මාධ්‍යට මුදා හරින පිරිස් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් හුවමාරු වන්නේ මෙවන් පසුබිමකයි.
හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන දිනමිණ පුවත් ආකෘතියෙන් නිර්මාණය වී තිබූ බැවින් අප විසින් මෙවැනි පුවතක් දිනමිණ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ වාර්තාකර ඇද්ද යන්න පරීක්ෂා කළා. කෙසේ නමුත් එවැන්නක් දැක ගන්නට ලැබුණේ නැහැ.
හානියට පත් උඩරට දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර, එම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේද පුළුල් වාර්තාකරණයක් සිදුකර තිබුණා. කෙසේ නමුත් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ මෙවැනි ප්‍රකාශයක් පිළිබඳව කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණේ නැහැ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් සහ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. නමුත් මෙම කිසිදු ප්‍රකාශයක් තුළ අමාත්‍යවරයා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන්නේ නැහැ.
2025 දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වන අවස්ථාවක්
අදාළ සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ඡායාරූපයෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්ථාවක් පැහැදිලිව දර්ශනය වන බැවින් එම අවස්ථාව කුමක්ද යන්න සොයාබැලීමට අප කටයුතු කළා. අදාළ දර්ශනය 2025 මැයි 17 වන දින, ඒ වන විට ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්ථාවේ දර්ශනයකි. එම කාලවකවානුව දිත්වා ආපදා තත්වය උද්ගත වීමට මාස කිහිපයකට පෙර කාලවකවානුවක් වන අතර, ඒ අනුව ඉහත දර්ශනය අමාත්‍යවරයා විසින් ඊට සම්බන්ධව අදහස් දක්වන ලද අවස්ථාවක් නොවන බව පැහැදිලි වනවා. එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය පහතින්.
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
අප විසින් මේ සම්බන්ධයෙන් තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. එහිදී ඔහු විසින් තහවුරු කරන ලද්දේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, මෙය අසත්‍ය සටහනක් වන බවත්ය.
හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල නවතම තත්වය
2026 මැයි 12 වන දින වන විට දිත්වා සුළි කුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 න් ස්ථාන 92 ක ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, කොළඹ සිට පැමිණෙන ප්‍රධාන පෙළේ මගී දුම්රිය ධාවනය තවදුරටත් රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇත. රඹුක්කන සහ කඩුගන්නාව අතර තවමත් දුම්රිය ධාවනය කළ නොහැකි අතර, එහි ඇති ස්ථාන 5 ක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. රජයේ ඉලක්කය වී ඇත්තේ රඹුක්කන සිට පේරාදෙණිය සහ මහනුවර දක්වා කොටස කඩිනමින් විවෘත කර, 2026 වසර අවසන් වීමට පෙර මුළු උඩරට දුම්රිය මාර්ගයේම ධාවන කටයුතු පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කිරීමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් උඩරට දුම්රිය මාර්ගයේ හානි වී ඇති ස්ථාන ඡායාරූපගත කර සමාජ මාධ්‍යයට මුදා හරින පිරිස් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කළ බව දක්වමින් හුවමාරු වෙන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් තහවුරු කර ඇත.


