කොවිඩ් එන්නත් හරහා මිනිස් සෛල දුරස්ථව පාලනය කළ හැකි තාක්ෂණයකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙනද?

COVID False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කොවිඩ් එන්නත් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර අසත්‍ය හෝ නොමග යවන සුළු සටහන්, සංසරණය වනවා. එලෙසින් සංසරණය වූ සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කොවිඩ් එන්නත් හරහා ඔබේ සෛල දුරස්ථව පාලනය කළ හැකි බව ත්, රොක්ෆෙලර් එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රයක් මගින් එය නිල වශයෙන් සනාථ කර ඇති බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

“ මේක ඉතා නරක දෙයක් Rockefeller patent එකක් (No. US10786570) මගින් දැන් ඔවුන්ට 5G සහ mRNA Covid “vaccines” භාවිතයෙන් ඔබගේ සෛල දුරස්ථව ‘CONTROL’ කළ හැකි බව තහවුරු කරයි.

මෙම patent එක Ferritin Nanoparticle Compositions භාවිතයෙන් සෛලීය ක්‍රියාකාරකම් දුරස්ථව වෙනස් කිරීම සහ නියාමනය කිරීමේ හැකියාව ගැන සාකච්ඡා කරයි.

ඉලක්කය?

එක් signal එකකින් මිනිස් හැසිරීම්, hormones සහ සෛල control කිරීම සහ manipulate කිරීම. මේ පිටුපස සිටින අය දශක ගණනාවක් තිස්සේ ජනගහනය අඩු කිරීම (depopulation) ප්‍රවර්ධනය කරමින් සිටි අයමයි.

අපේ ශරීර තවදුරටත් අපේම නොවේ. ඔවුන් ඔබ තුළම අවසාන smart grid එක ගොඩනඟමින් සිටී.

Shedding වල ස්වභාවය නිසා, මෙම nanoparticles සහ nanotechnologies දැන් අප සැමගේ ශරීර තුළ තිබේ.

දැන් ඒවා solar geoengineering programs හරහාත් ක්‍රියාකාරීව විසුරුවා හරිමින් සිටී. නිල patents මේක තහවුරු කරයි..

ඔබගේ ශරීරය තුළ nanotech සහ heavy metals වැඩි තරම් තිබෙන විට… ඔබ වැඩි වශයෙන් responsive සහ reactive වෙයි.

ඔබ vaccine (“jab”) ලබාගෙන තිබේ නම්… හෝ solar geoengineering වැඩි ප්‍රදේශයක ජීවත් වෙයි නම් — ඔබ PRIME target එකක් බවට පත්වෙයි.

ඒ නිසාම මේ ද්‍රව්‍ය ඔබගේ ශරීරයෙන් ඉවත් කිරීම ඉතා වැදගත්… ප්‍රමාද වීමට පෙර.

‼️ Nanotechnology, heavy metals, සහ mRNA දැන් අප සැමගේ ශරීර තුළ ඇත. ප්‍රමාද වන තුරු බලා නොසිටින්න. අපි ක්‍රියා කළ යුතුයි.

එහෙත් ස්වභාවික විසඳුම් CENSORED, SILENCED සහ HIDDEN කරමින් සිටී…”

Facebook | Archived Link

මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

කොවිඩ් එන්නත්කරණයේ නියැලුනු මිනිසුන් පාලනය කළ හැකි ක්‍රමවේදකට පේටන්ට් බලපත්‍රයක් හිමිව ඇත්නම් එය ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළ යුතු අතර එනම් එය මේ වන විට ලොව පුරා අභියෝගයකට ලක් විය හැකි උණුසුම් මාතෘකාවක් වනු නොඅනුමානයි. නමුත් එවැනි තොරතුරක් ජාත්‍යන්තර ප්‍රධනා මාධ්‍ය ධාරා වල දැක ගන්නට නොලැබුණි.

ඒ අනුව මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා ඇති US10786570 නමැති පේටන්ට් බලපත්‍රය ඔස්සේ මේ පිළිබඳ පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

මොකක් ද මේ US10786570B2 පේටන්ට් බලපත්‍රය කියන්නේ?

US10786570B2 දරන පේටන්ට් බලපත්‍රය යනු  නිව්යෝර්ක් හි පිහිටි රොක්ෆෙලර් විශ්වවිද්‍යාලය (The Rockefeller University) සතු එක්තරා විශේෂිත විද්‍යාත්මක පේටන්ට් බලපත්‍රයකි. එහි මාතෘකාව වන්නේ “සෛල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා වන ෆෙරිටින් නැනෝ අංශු සංයුති සහ ක්‍රමවේද” (Ferritin nanoparticle compositions and methods to modulate cell activity) යන්නයි. මෙම පර්යේෂණය මෙහෙයවා ඇත්තේ ජෙෆ්රි ෆ්‍රීඩ්මන් (Jeffrey Friedman) නම් විද්‍යාඥයා මූලිකව කණ්ඩායමකි.

මෙය මගින් විස්තර කරන්නේ රේඩියෝ තරංග (Radiofrequency waves) භාවිතයෙන් ශරීරයේ සෛලවල ක්‍රියාකාරිත්වය දුරස්ථව පාලනය කළ හැකි රසායනාගාර තාක්ෂණයකි. මෙහි අඩංගු ප්‍රධාන තාක්ෂණය වන්නේ Radiogenetics.

මෙම පේටන්ට් බලපත්‍රය මගින් Radiogenetics නමින් හැඳින්වෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. 

මෙම තාක්ෂණය දැනට භාවිතා කරන්නේ සතුන් (මීයන් වැනි) යොදාගෙන සිදුකරන රසායනාගාර පර්යේෂණ සඳහා පමණි. එහිදී ඉන්සියුලින් නිපදවීම වැනි විශේෂිත ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් රැහැන් රහිතව උත්තේජනය කළ හැකි ආකාරය අධ්‍යයනය කෙරේ.

නැනෝ අංශු (Nanoparticles)

මෙහිදී ෆෙරිටින් (Ferritin) නම් යකඩ අඩංගු ප්‍රෝටීන අංශු භාවිතා වේ. නිශ්චිත රේඩියෝ තරංගවලට නිරාවරණය වූ විට මේවා කුඩා “හීටර්” ලෙස ක්‍රියා කරයි. එම තාපය මගින් සෛලයක ඇති උෂ්ණත්වයට සංවේදී “දොරටුවක්” විවෘත කර සෛලීය ප්‍රතිචාරයක් ඇති කරයි.

වෙනස් කරන ලද සෛල අවශ්‍ය වේ

මෙම ක්‍රමය සාමාන්‍ය මිනිස් සෛල මත ක්‍රියා නොකරයි. සෛලයක් මෙයට ප්‍රතිචාර දැක්වීමට නම්, එම සෛලය තුළට ෆෙරිටින් නැනෝ අංශු සහ උෂ්ණත්වයට සංවේදී “දොරටුව” ඇතුළත් වන සේ එම සෛලය මුලින්ම ජානමය වශයෙන් වෙනස් (Genetically engineered) කළ යුතුය. මෙය ප්‍රධාන වශයෙන් දියවැඩියාව වැනි රෝග සඳහා නව ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට සහ මොළයේ සෛල ක්‍රියා කරන ආකාරය පිළිබඳ පර්යේෂණ කිරීමට නිර්මාණය කර ඇත.

මේ පිළිබඳ තොරතුරු National Library of Medicine හි දැක්වෙන්නේ මෙලෙසින්.

මෙය සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස භාවිත කරනවාද?

මෙය දැනට පවතින්නේ පර්යේෂණ මට්ටමේ පවතින තාක්ෂණයක් (Proof-of-concept) ලෙස මිස, සාමාන්‍ය ජනතාව අතර ප්‍රායෝගිකව භාවිත වන තාක්ෂණයක් ලෙස නොවේ. එය හුදු ලේඛනයකට (Paper) පමණක් සීමා නොවූවත්, මිනිස් සිරුර තුළ සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමට තවමත් බොහෝ කල් ගත වනු ඇත. 

මෙය විද්‍යාගාර තුළ ඔප්පු කර ඇති අතර, පර්යේෂකයන් මෙම ක්‍රමය විද්‍යාගාර මීයන් යොදාගෙන සාර්ථකව පරීක්ෂා කර තිබේ. රේඩියෝ තරංග භාවිතයෙන් මීයන්ගේ සිරුරේ ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කර, ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. නමුත්, මෙය තවමත් මිනිසුන් සඳහා සූදානම් කර නොමැත. මෙය මිනිස් වෛද්‍ය විද්‍යාවේදී තවමත් භාවිත නොවේ. මෙම ක්‍රමය පුද්ගලයෙකු තුළ ක්‍රියා කිරීමට නම්, එම පුද්ගලයාගේ සෛල මුලින්ම ජාන චිකිත්සාව (Gene therapy) මගින් වෙනස් කළ යුතුය. එනම්, පේටන්ට් බලපත්‍රයේ සඳහන් විශේෂිත “ග්‍රාහක ප්‍රෝටීන” සෛල තුළට ඇතුළත් කළ යුතුය. දැනට මෙහි ප්‍රධාන ප්‍රායෝගික භාවිතය පවතින්නේ ස්නායු විද්‍යා පර්යේෂණ (Neuroscience research) සඳහාය. මොළයේ සෛල වලට වයර් හෝ වෙනත් උපකරණ සම්බන්ධ නොකර, දුරස්ථව ඒවා ක්‍රියාත්මක කරමින් මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් මෙය භාවිත කරයි. මෙය උසස් තාක්ෂණික විද්‍යාගාර තුළ ක්‍රියාත්මක වන විද්‍යාත්මක ක්‍රමවේදයකි, නමුත් එය එදිනෙදා ජීවිතයේදී හෝ සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලදී දක්නට නොලැබේ. මෙම පේටන්ට් බලපත්‍රය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රෝටීන ඌනතාවය වැනි වෛද්‍ය ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන සෛලීය ප්‍රතිචාර පිළිබඳව පමණි මේ පිළිබඳ තොරතුරු මෙතනින්.

විද්‍යාඥයන් මෙම Radiogenetics තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන සුවිශේෂී රෝග මොනවාද?

මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ ශරීරය තුළ නිසි ලෙස ක්‍රියා නොකරන හෝ අඩුවෙන් පවතින ප්‍රෝටීන පාලනය කරමින් රෝග සුව කිරීමයි.

මෙම තාක්ෂණය මගින් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන රෝග:

දියවැඩියාව (Diabetes):

ශරීරයට පිටතින් ඉන්සියුලින් එන්නත් කරනවා වෙනුවට, රේඩියෝ තරංග භාවිතයෙන් ශරීරයේම සෛල ලවා අවශ්‍ය වේලාවට ඉන්සියුලින් (Insulin) නිපදවීම මෙහි ප්‍රධාන අරමුණකි.

ස්නායු රෝග (Neurological Disorders):

පාර්කින්සන් (Parkinson’s) වැනි රෝගවලදී මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වය දුර්වල වේ. මෙම තාක්ෂණය මගින් මොළය තුළට කම්බි හෝ උපකරණ ඇතුළත් නොකර (Non-invasively), රේඩියෝ තරංග හරහා අදාළ ස්නායු සෛල උත්තේජනය කර රෝග ලක්ෂණ පාලනය කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වේ.

ජානමය ප්‍රෝටීන ඌනතා (Protein Deficiencies):

උපතින්ම යම් ප්‍රෝටීනයක් නිපදවීමට නොහැකි රෝගීන් සඳහා, අවශ්‍ය මොහොතේදී එම ප්‍රෝටීනය නිපදවීමට සෛල උත්තේජනය කිරීම මෙහි තවත් භාවිතයකි.

Rockefeller University – Remote control of cells with radiogenetics – මෙහි “Treatment for diseases” යටතේ මෙම තාක්ෂණය අනාගතයේදී රෝගීන් සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව පැහැදිලි කරනු ලබයි.

ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති අනෙක් කරුණු කෙරෙහිද අප අවදානය යොමු කරනු ලැබුවා.

එහි පෙන්වා දෙන පරදි,

“එක් signal එකකින් මිනිස් හැසිරීම්, hormones සහ සෛල control කිරීම සහ manipulate කිරීම”

රොක්ෆෙලර් පේටන්ට් බලපත්‍රයේ ඇති තාක්ෂණය ක්‍රියා කිරීමට නම් සෛල ජානමය වශයෙන් වෙනස් කළ යුතුය. සාමාන්‍ය මිනිස් සෛලවලට එවැනි රේඩියෝ සංඥාවලට ප්‍රතිචාර දැක්විය නොහැක බව එහි සඳහන් වේ.

නැනෝ තාක්ෂණය ශරීරයෙන් පිටවීම (Shedding)

නැනෝ තාක්ෂණය යනු කුමක්ද?

“නැනෝ” (Nano) යනු මීටරයකින් බිලියනයකින් එකකි. නැනෝ අංශු යනු පියවි ඇසට තබා සාමාන්‍ය අන්වීක්ෂයකටවත් දැකිය නොහැකි තරම් කුඩා දේවල්ය. වෛද්‍ය විද්‍යාවේදී නැනෝ තාක්ෂණය භාවිතා කරන්නේ ඖෂධ ඉතා නිවැරදිව ශරීරයේ අවශ්‍යම ස්ථානයට රැගෙන යාමටයි. 

රොක්ෆෙලර් පේටන්ට් බලපත්‍රයේ, මෙහිදී භාවිතා කරන්නේ ෆෙරිටින් (Ferritin) නම් ලෝහමය නැනෝ අංශුයි. මේවා රේඩියෝ තරංගවලට සංවේදී කුඩා “ඇන්ටෙනා” හෝ “හීටර්” ලෙස ක්‍රියා කරමින් සෛල උත්තේජනය කරයි. US Patent 10,786,570

mRNA එන්නත්වල, මෙහිදී භාවිතා කරන්නේ ලිපිඩ (Lipid) නම් මේද නැනෝ අංශුයි. මෙහි ඇති එකම කාර්යය වන්නේ mRNA එක ඉතා සියුම් ආවරණයකින් ඔතා ආරක්ෂිතව සෛලය තුළට රැගෙන යාමයි. සෛලය තුළට ගිය පසු මෙම මේද ආවරණය දියවී විනාශ වී යයි.  Lipid nanoparticles for mRNA delivery

ප්‍රධාන වෙනස:

  • පේටන්ට් බලපත්‍රයේ: භාවිතා කරන්නේ ලෝහ (යකඩ) අංශුයි. එය සෛල පාලනය කිරීමට උත්සාහ කරයි.
  • එන්නත්වල: භාවිතා කරන්නේ මේද (තෙල් වැනි) අංශුයි. එය ඖෂධය ප්‍රවාහනය කිරීමට පමණක් භාවිත කරයි.

එන්නත්වල ඇති නැනෝ අංශු සන්නිවේදන තාක්ෂණය (5G) සමඟ සම්බන්ධ වීමට හෝ ක්‍රියා කිරීමට කිසිසේත්ම හැකියාවක් නැත. ඒවා සාමාන්‍ය මේද අංශු මෙන් ශරීරයට උරා ගනී.

‘Shedding’ යනු සජීවී වෛරස් අඩංගු එන්නත් වලදී සිදුවිය හැකි දෙයකි. mRNA එන්නත් වල සජීවී වෛරස් නැත. එන්නත් වල ඇති ලිපිඩ (මේද) අංශු දින කිහිපයකින් ශරීරයෙන් ස්වභාවිකව ඉවත් වේ. ඒවා වාතය හරහා තවත් කෙනෙකුට බෝ විය නොහැක.

mRNA එන්නත් වල එන්නත්වල අමුද්‍රව්‍ය පිළිබඳව අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (CDC) මෙහි එන්නත් වල අඩංගු සියලුම ද්‍රව්‍ය ලැයිස්තුගත කර ඇත. එහි පේටන්ට් එකේ සඳහන් Ferritin ඇති බවට දක්වා නොමැත.

සූර්ය භූ ඉංජිනේරු විද්‍යාව (Solar Geoengineering/Chemtrails)

රජයන් විසින් අහසින් නැනෝ අංශු හෙළන බවට කිසිදු සාක්ෂියක් නැත. සූර්ය රශ්මිය පාලනය කිරීම පිළිබඳ විද්‍යාත්මක යෝජනා තිබුණද, ඒවා  වෛද්‍යමය නැනෝ තාක්ෂණය බෙදා හැරීමේ වැඩසටහන් නොවේ. 

බර ලෝහ (Heavy Metals) මගින් ඔබව සංවේදී කිරීම

“බර ලෝහ මගින් ඔබව සංවේදී කිරීම” (Sensitizing yourself with heavy metals) යන සංකල්පය විද්‍යාත්මකව බොහෝ විට වැරදි ලෙස වටහා ගන්නා කරුණකි. විද්‍යාවේදී “සංවේදී වීම” යනු බර ලෝහ ශරීරයට ඇතුළු වී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දැඩි ප්‍රතිචාරයක් (ආසාත්මිකතාවයක්) හෝ විෂ වීමක් ඇති වීම මිස, ශරීරය 5G ඇන්ටෙනාවක් බවට පත්වීම නොවේ.

මේ පිළිබඳ විද්‍යාත්මක කරුණු සහ මූලාශ්‍ර පහත දැක්වේ:

වෛද්‍ය විද්‍යාත්මක සංවේදීතාව (ආසාත්මිකතා)

වෛද්‍ය විද්‍යාවේදී “ලෝහ සංවේදීතාව” යනු සම මතුපිට ස්පර්ශය හෝ ශරීරය තුළ ඇති වෛද්‍ය උපකරණ (උදා: දත් පිරවුම්, කෘත්‍රිම සන්ධි) නිසා ඇතිවන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයකි.

  • පොදු ලෝහ: නිකල්, කොබෝල්ට් සහ ක්‍රෝමියම් බහුලව මෙවැනි ආසාත්මිකතා ඇති කරයි.
  • නිල මූලාශ්‍රය: National Institutes of Health (NIH) – මෙහි ලෝහ සංවේදීතාව ඇතිවන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ ඇතුළත් වේ.

බර ලෝහ මගින් මිනිස් සිරුර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවලට (EMF/5G) “සංවේදී” කරන බවට ඇතැම් මත පල වුවද, විද්‍යාත්මකව එය තහවුරු වී නැත.

  • පර්යේෂණ ප්‍රතිඵල: විද්‍යුත් චුම්බක තරංගවලට තමන් සංවේදී යැයි පවසන පුද්ගලයන්ගේ ශරීරවල ඊයම් හෝ රසදිය මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි බවට සාක්ෂි හමු වී නැත.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO): WHO Fact Sheet on EMF – 5G හෝ EMF තරංග මගින් ලෝහ අංශු හරහා සිරුරේ රෝග ලක්ෂණ ඇති වන බවට වූ මතය මෙහිදී විද්‍යාත්මකව ප්‍රතික්ෂේප කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 5G mobile networks and health – 5G තරංග මගින් සෛල පාලනයක් සිදු කළ නොහැකි බව පැහැදිලි කර තිබුණේ මෙලෙසින්. එන්නත් මගින් සෛල පාලනය කරන බවට හෝ ලුහුබැඳීමේ උපකරණ (Tracking devices) අඩංගු බවට පවතින මිථ්‍යාවන් බව සඳහන් කර තිබුණ අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ(FDA) ප්‍රකාශකයෙකු AFP වෙත පවසා තිබුණේ,, එන්නත් වල ලුහුබැඳීමේ උපකරණ සවි කර ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එම වාර්තාව මෙතනින්. ෆවිසර් එන්නත හා ලුහුබැඳීමේ උපරණ සම්බන්ධයෙන් රොයිටර්ස් කරුණු විමර්ශන වාර්තාවක් මෙතනින්. මොඩර්නා එන්නත හා ලුහුබැඳීමේ උපරණ සම්බන්ධයෙන් AP කරුණු විමර්ශනයක් මෙතනින්.

‘ජනගහනය අඩු කිරීමේ සැලසුම්’ (Depopulation agendas)

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන ‘ජනගහනය අඩු කිරීමේ සැලසුම්’ (Depopulation agendas) පිළිබඳ කරුණ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර, mRNA එන්නත් ගෝලීය ජනගහනය අඩු කිරීමේ අරමුණින් නිපදවා ඇති බවට කිසිදු විද්‍යාත්මක හෝ සාක්ෂි සහිත සාධකයක් නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) වැනි ආයතන පෙන්වා දෙන්නේ එන්නත් මගින් මිලියන ගණනකගේ ජීවිත බේරාගෙන ඇති අතර ජනගහනයට හානි කිරීමේ කිසිදු අරමුණක් ඒවාට නොමැති බවයි. ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් එන්නත් ලබාගෙන ඇති අතර, ජනගහනය ක්‍රමානුකූලව අඩු කිරීමේ කිසිදු ප්‍රවණතාවක් විද්‍යාත්මක දත්ත මගින් තහවුරු වී නොමැත. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

රොක්ෆෙලර් විශ්වවිද්‍යාලය

The power of the radio: remote control of cells with radiogenetics – තම පර්යේෂණය විද්‍යාගාර මීයන් සඳහා පමණක් බවත්, එය 5G හෝ සාමාන්‍ය එන්නත් සමඟ සම්බන්ධයක් නැති බවත් මෙම වාර්තාවෙන් තහවුරු වේ. 

අමුද්‍රව්‍යයmRNA COVID-19 එන්නතරොක්ෆෙලර් පේටන්ට් තාක්ෂණය
ප්‍රධාන ක්‍රියාකාරී ද්‍රව්‍යයmRNA (ප්‍රතිශක්තිය සඳහා උපදෙස් ලබා දේ)Ferritin – යකඩ පදනම් කරගත් ප්‍රෝටීනයක්)
ආවරණය (Delivery)ලිපිඩ (Lipids) – මේද අංශු වලින් සැදුම්ලත් බුබුළුවෛරස් වාහක (Viral Vectors) – ජාන වෙනස් කිරීම සඳහා
පාලන ක්‍රමයබාහිර පාලනයක් නොමැතරේඩියෝ තරංග මගින් රත් කිරීම
ශරීරයේ රැඳී පවතින කාලයදින කිහිපයකින් ස්වභාවිකව විනාශ වේස්ථිර ලෙස ජානමය වශයෙන් වෙනස් කරන ලද සෛල

මූලාශ්‍ර :

ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය (FDA) විසින් නිකුත් කර ඇති මෙම නිල ලේඛනවල එන්නත්වල අඩංගු සෑම අමුද්‍රව්‍යයක්ම විස්තරාත්මකව දක්වා ඇත.

රොක්ෆෙලර් පේටන්ට් තාක්ෂණයේ අමුද්‍රව්‍ය (තාක්ෂණික මූලාශ්‍ර)

රොක්ෆෙලර් තාක්ෂණයේදී භාවිතා වන සංරචක පිළිබඳ විස්තර පේටන්ට් බලපත්‍රයේ සහ විශ්වවිද්‍යාල පර්යේෂණ වාර්තාවල සඳහන් වේ.

  • සම්පූර්ණ පේටන්ට් ලේඛනය: Google Patents – US10786570B2 — මෙහි Ferritin (යකඩ අඩංගු) අංශු සහ TRPV1 ජානය භාවිතා කරන ආකාරය විස්තර කෙරේ.
  • විශ්වවිද්‍යාල පර්යේෂණ පුවත්: Rockefeller News: Radiogenetics – රේඩියෝ තරංග මගින් මීයන්ගේ සෛල පාලනය කළ ආකාරය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව කියවිය හැක.

රොක්ෆෙලර් විද්‍යාඥයන් රේඩියෝ තරංග මගින් සෛල පාලනය කිරීමේ මූලික පර්යේෂණ ආරම්භ කරේ කොවිඩ් වලට පෙරයි

මෙම තාක්ෂණය සහ COVID-19 අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කිරීමට ඇති හොඳම සාක්ෂිය වන්නේ එහි කාලරාමුවයි. 2011 – 2012 වකවාණුවේ රොක්ෆෙලර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් රේඩියෝ තරංග මගින් සෛල පාලනය කිරීමේ මූලික පර්යේෂණ ආරම්භ කර තිබූ අතර ඒ කොවිඩ් වසංගතයට වසර 8කට පෙරයි. මේ පිළිබඳව රොක්ෆෙලර් විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

2014 වසරේ දෙසැම්බර් මස මෙම පර්යේෂණය පිළිබඳ ප්‍රධාන විද්‍යාත්මක වාර්තාව Nature Medicine සඟරාවේ පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම ගැටලුවට  තුඩු දී ඇති පේටන්ට් බලපත්‍රය (US10786570B2) ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කරන ලද්දේ, 2018 ජූලි 30 වන දා වන අතර එ් කොවිඩ් රෝගය ලොවට හඳුනා ගැනීමට වසරකටත් පෙරයි. 

2020 සැප්තැම්බර් මස පේටන්ට් බලපත්‍රය නිල වශයෙන් ප්‍රදානය කරන  තිබේ. කොවිඩ් වෛරසය හෝ කොවිඩ් එන්නත් ලොවට පැමිණීමට වසර ගණනාවකට පෙර මෙම තාක්ෂණය නිපදවා තිබීමෙන්ම, මෙම තාක්ෂණය කොවිඩ් එන්නත් සඳහා නිර්මාණය කළ එකක් නොවන බව තවදුරටත් පැහැදිලි වේ.

patents.google.com

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍යවල පැතිර යන කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයන්ගේ සෛල පාලනය මගින් ඔවුන් පාලනය කිරීමට හැකි තාක්ෂණයකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවට පළ වන සටහන් අසත්‍ය බවයි. එම පේටන්ට බලපත්‍රයේ ඇති තාක්ෂණික වචන වැරදි ලෙස අර්ථකථනය කර අසත්‍ය තොරතුරු මෙමගින් මුදා හැර තිබේ. සැබවින්ම මෙය රේඩියෝ තරංග භාවිතයෙන් සෛල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සඳහා වූ “Radiogenetics” නම් නව පර්යේෂණාත්මක සොයා ගැනීමක් වන අතර එය දියවැඩියාව වැනි රෝග සුව කිරීම සඳහා යොදා ගත හැකි බවට පර්යේෂණාත්මක ලේඛනයකි.

Result Stamp

Title: කොවිඩ් එන්නත් හරහා මිනිස් සෛල දුරස්ථව පාලනය කළ හැකි තාක්ෂණයකට පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙනද?

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *