Binance සහ Bybit වැනි ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකා, ලංකාව තුළ තහනම් කරල ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෑතකදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ සටහනක පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා රජය විසින් Binance සහ Bybit වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකා ලංකාව තුළ තහනම් කර ඇති බවයි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“රජය විසින් මෙරට ජයටම කරගෙන යන නීති විරෝධී සූදු ක්‍රීඩා නැවැත්වීමට පියවර ගනී. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට සියලුම සූදු ක්‍රීඩා වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගනී.” යනුවෙන් සඳහන් කළ ද, “සූදු ක්‍රීඩා” (Gambling) ලෙස එහි පසුබිම් රූපයට විශාල ලෙස Binance සහ Bybit ලාංඡන සමඟ “TRADING BAN” යනුවෙන් යොදා තිබුණා.

Facebook | Archived Link

එමෙන් ම මෙම සටහන් Crypto ෆේස්බුක් සමූහ තුළ ද, හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙරට වලංගු බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක වූ නීති විරෝධී ඔන්ලයින් සූදු සහ ඔට්ටු තැබීමේ වෙබ් අඩවි 24 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කරනු ලැබුවා.

2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරී පනත (Gambling Regulatory Authority Act, No. 17 of 2025) යටතේ ස්ථාපිත සූදු නියාමන අධිකාරියේ (GRA) දැනුම්දීමකට අනුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට මෙම වෙබ් අඩවි අවහිර කිරීමට නියෝග කරනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට (Block) නියෝග කර ඇති නීති විරෝධී ඔන්ලයින් සූදු සහ ඔට්ටු තැබීමේ (Online Gambling & Betting) වෙබ් අඩවි 24 හි සම්පූර්ණ ලැයිස්තුව 

  1. 1xbet.com
  2. bet365.com
  3. stake.com
  4. betway.com / betway.com/en-lk
  5. 22bet.com
  6. melbet.com
  7. unibet.com
  8. betfair.com
  9. dafabet.com
  10. 1win.com
  11. spinbetter.com
  12. 10cric.com
  13. bc.game
  14. megapari.com
  15. pin-up.bet
  16. mostbet.com
  17. parimatch.com
  18. betwinner.com
  19. linebet.com
  20. 4rabet.com
  21. rajabets.com
  22. dbbet.com
  23. coldbet.com
  24. WinWin

මෙහි කිසිදු ක්‍රිප්ටෝ හුවමාරු වෙබ් අඩවියක් (Binance / Bybit) ඇතුළත් බව දැක ගන්නට නොලැබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ක්‍රිප්ටෝ මුදල් මෙරට නිල වලංගු මුදලක් (Legal Tender) ලෙස පිළි නොගන්නා අතර ඒ පිළිබඳව අවදානම් නිවේදන නිකුත් කර ඇත. කෙසේ වෙතත්, Binance වැනි වේදිකාවල ලාංකිකයන්ට වෙළඳාම් කිරීම තහනම් කරමින් කිසිදු නව නීතියක් පනවා නොමැත.

එහෙත් “තහනම් නැත” යන්නෙන්, ක්‍රිප්ටෝ යනු මෙරට නිසි නියාමනයකට යටත්, ආරක්ෂා සහිත ගණුදෙනු ක්‍රමයක් යන්නද අර්ථවත් නොවන බව මතක තබාගත යුතුය. ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ශ්‍රී ලංකාවේ තවමත් නීතිමය වශයෙන් නිසි ලෙස නියාමනය නොවී ඇති අතර, මුදල් අහිමි වුවහොත් රජයෙන් හෝ නීතියෙන් ලැබෙන ආරක්ෂාවක් නොමැත. තවද විදේශ විනිමය පනත අංක 12 (2017) යටතේ බැංකු නිකුත් කරන Debit/Credit කාඩ්පත් ක්‍රිප්ටෝ ගනුදෙනු සඳහා භාවිත කිරීම තහනම් කර ඇත. 

එසේම, ක්‍රිප්ටෝ මුදල් සඳහා නීත්‍යානුකූල ටෙන්ඩර් තත්ත්වයක් නොමැති නමුත්, ඉපැයීම් බද්දට යටත් බව රජය පැහැදිලි කර තිබුනේ මෙලෙසින්.

බයිනෑන්ස් – Binance

Binance යනු දෛනික වෙළඳ පරිමාව (Trading Volume) අනුව ලෝකයේ විශාලතම සහ ජනප්‍රියම ක්‍රිප්ටෝ හුවමාරු වේදිකාවයි.

Bitcoin, Ethereum ඇතුළු ක්‍රිප්ටෝ මුදල් වර්ග සිය ගණනක් මිලදී ගැනීමට, විකිණීමට සහ ගබඩා කර තබා ගැනීමට පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත වන්නේ මෙහි ඇති P2P (Peer-to-Peer) ජාලයයි. ඒ හරහා ලාංකිකයන්ට බැංකු ගිණුම් (Commercial Bank, HNB, Sampath) හෝ EzCash / mCash වැනි දේශීය ක්‍රම භාවිත කර සෘජුවම රුපියල් (LKR) මඟින් ක්‍රිප්ටෝ මිලදී ගැනීමට සහ විකිණීමට හැකියාව ඇත.

Spot Trading, Futures Trading, සහ සරලව ක්‍රිප්ටෝ තැන්පත් කර පොලියක් උපයා ගත හැකි Binance Earn වැනි විශේෂාංග රාශියක් මෙහි පවතී.   

Binance 2023 දී එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ මුදල් විශුද්ධිකරණ හා සම්බාධක උල්ලංඝන චෝදනා යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක (US$4.3bn) වාර්තාගත සමථයකට එළැඹි අතර, එහි නිර්මාතෘ වරද පිළිගෙන තිබුණා. Futures/Leverage වෙළඳාම සිල්ලර ට්‍රේඩර්ස්ලාට ඉතා ඉහළ පාඩු අවදානමක් දරනවා.

බයිබිට් – Bybit

Bybit යනු මෑත කාලයේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සීඝ්‍රයෙන්ම ජනප්‍රිය වූ ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිප්ටෝ හුවමාරු වේදිකාවකි.

Binance මෙන්ම ක්‍රිප්ටෝ වෙළඳාම සඳහා ඉඩ සලසන නමුත්, Bybit වඩාත්ම ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති ඉතා වේගවත් සහ උසස් මට්ටමේ Futures/Derivatives Trading (ආන්තික වෙළඳාම) තාක්ෂණය නිසාවෙනි.

Binance මෙන්ම Bybit හි ද සාර්ථක LKR P2P වෙළඳපොළක් පවතී. Binance හි ගිණුම් සත්‍යාපනය (KYC) හෝ නීතිමය සීමාවන් මතු වන අවස්ථාවලදී ලාංකික ට්‍රේඩර්ස්ලා බොහෝ දෙනෙකු විකල්ප සහ ප්‍රධාන වේදිකාවක් ලෙස Bybit භාවිත කරති.

මෙහි පාරිභෝගික සේවාව (Customer Support) ඉතා කාර්යක්ෂම වන අතර, නව ක්‍රිප්ටෝ කාසි වෙළඳපොළට හඳුන්වා දීමේදී (Launchpad කිරීමේ දී) Bybit ඉදිරියෙන් සිටී.

බැංකු කාඩ්පත් අවහිර කර ඇති බැවින්, ලාංකිකයන් මෙම වේදිකා දෙකෙහිම ගනුදෙනු කරනු ලබන්නේ නීත්‍යානුකූලව ආරක්ෂිත P2P (පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සිදුකරන බැංකු මාරුවීම්) ක්‍රමය හරහා පමණි.

2025 පෙබරවාරි මාසයේදී Bybit ඉතිහාසයේ විශාලතම ක්‍රිප්ටෝ සොරකමට (ආසන්න වශයෙන් US$1.5bn ක Ethereum, උතුරු කොරියානු Lazarus කණ්ඩායමට) ලක් විය. එබැවින් කිසිදු හුවමාරු වේදිකාවක් සම්පූර්ණ ආරක්ෂිත නොවේ; තැන්පතු, හැකර් ප්‍රහාර සහ මුදල් ආපසු ගැනීමේ සීමා වැනි අවදානම් පවතී.

ඔන්ලයින් සූදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය මෑතකදී ගත් පියවර

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ මුදල් අමාත්‍යාංශය එක්ව මෙරට මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් සහ විදේශ විනිමය නීති විරෝධී ලෙස පිටතට ගලායාම වැළැක්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටී. ඔන්ලයින් සූදු වෙබ් අඩවි හරහා සිදුවන මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී ලෙස විදේශයන්ට මුදල් ඇදී යාම වැළැක්වීම සඳහා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ වානිජ බැංකු එක්ව ක්‍රියාත්මක වේ.

විදේශීය ඔන්ලයින් සූදු අඩවි සඳහා ලංකාවේ බැංකු මඟින් නිකුත් කර ඇති Credit/Debit කාඩ්පත් සහ අනෙකුත් දේශීය විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රම (Local Payment Channels) සෘජුවම භාවිත කිරීම මහ බැංකු රෙගුලාසි යටතේ සීමා කර තිබේ.

Be Scam Proof” යටතේ මහ බැංකුව විසින් ඔන්ලයින් මූල්‍ය වංචා සහ සූදු වෙබ් අඩවිවල ආයෝජනය කිරීමෙන් සිදුවන මූල්‍යමය හානිය පිළිබඳව දිගින් දිගටම මහජනතාව දැනුවත් කරනු ලබයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

සමාජ මාධ්‍ය ජාලාවල පළවී ඇති සටහන් නොමඟ යවන සුළු වේ. රජය සහ නියාමන අධිකාරීන් විසින් තහනම් කර ඇත්තේ බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු (Online Gambling/Betting) වෙබ් අඩවි පමණක් වන අතර, Binance හෝ Bybit වැනි ක්‍රිප්ටෝ වෙළඳපොළවල් තහනම් කර නොමැත.

කෙසේනමුත්,  “තහනම් නැත” යනු “ආරක්ෂිතයි” හෝ “නීත්‍යානුකූලව ආවරණය වේ” යන්න නොවේ. ක්‍රිප්ටෝ මේ වන තෙක්, නිසි නියාමනය රාමුවක් නොවූ ක්‍රමයක් වන අතර ක්‍රිප්ටෝ වෙළඳාම තම අවදානමින්ම කළ යුතුය.

Result Stamp

Title: Binance සහ Bybit වැනි ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකා, ලංකාව තුළ තහනම් කරල ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *