දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මොබයිල් ජංගම දුරකථනයක් චාජරයට සම්බන්ධ කර භාවිතා කරමින් සිටියදී එය පුපුරා යාමෙන් මස්කෙළිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් අනතුරකට පත්වී ඇති බව දක්වමින් වීඩියෝවක් සහ හඬ පටයක් WhatsApp ඔස්සේ වේගයෙන් සංසරණය වී තිබුණි.
පහතින් දැක්වෙන සංවේදී දර්ශන ඇතුළත්, අදාල වීඩියෝවේ අන්තර්ගත වන්නේ බරපතළ ලෙස අනතුරට පත්ව ඇති දරුවෙක් වන අතර, වීඩියෝව සමග හුවමාරු වන හඬ පටයෙන් අදාළ සිදුවීම මෙරට මස්කෙලිය ප්‍රදේශයේ සිදුවූවක් බවත් දුරකථනයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය භාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

සංවේදී දර්ශන අන්තර්ගත වීඩියෝවකි.
වීඩියෝව සමග හුවමාරු වන හඬ පටයෙන් අදාළ සිදුවීම මෙරට මස්කෙලිය ප්‍රදේශයේ සිදුවූවක් බවත් දුරකථනයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් ප්‍රකාශ කරයි.
Facebook ඔස්සේ ද අදාළ වීඩියෝව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අදාළ සිදුවීම සැබෑ ලෙසම මස්කෙළිය ප්‍රදේශයේ සිදුවූ සැබෑ සිදුවීමක්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මස්කෙලිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් මෙලෙස දුරකථනයක් පුපුරා යෑමෙන් අනතුරකට පත්වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිඳු වාර්තාවක් නොමැති බවයි.
එසේම අදාල වීඩියෝව මස්කෙළිය ප්‍රදේශයේ දමිළ සිසුවෙකුට සිදු වූ අනතුරක් ලෙස හඳුන්වා තිබුණද වීඩියෝවේ සිටින පිරිස කතා කරන භාෂාව තෙලිඟු භාෂාව ලෙස හඳුනාගත හැකිය.
එබැවින්, අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී හඳුනාගත හැකි වූයේ අදාළ වීඩියෝව ඉන්දියාවේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ බහුලව හුවමාරු වී ඇති බවයි.
ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ, කොමරම් භීම් ආසිෆාබාද් දිස්ත්‍රික්කයේ චින්තලමානේ පල්ල මණ්ඩලයට අයත් ගුඩෙම් නමැති ගම්මානයේ සිදුවූවක්
අදාළ සිදුවීම ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ, කොමරම් භීම් ආසිෆාබාද් දිස්ත්‍රික්කයේ චින්තලමානේ පල්ල මණ්ඩලයට අයත් ගුඩෙම් නමැති ගම්මානයේ සිදුවූවක් ලෙස දක්වමින් 2026.07.22 දින පළ කරන ලද X සටහනක් පහතින්.
අදාළ වීඩියෝව පළ කරමින් එම සටහන මගින් දක්වා තිබුණේ ගුඩෙම් ගම්මානයේ පිරිමි ළමයෙකු ජංගම දුරකථනයක් පිපිරීමෙන් මිය ගොස් ඇති බවයි. මෙම පිපිරීමෙන් ඔහුගේ මුහුණට සහ දෑත්වලට බරපතල තුවාල සිදු වී ඇති බවට්, ලෝකේෂ් ලෙස හඳුන්වන අනතුරට පත් වූ පුද්ගලයා වහාම රෝහල වෙත ගෙන යාමට කටයුතු කළද, රෝහලට ගෙන යන අතරමගදී ඔහු මියගොස් ඇති බවත් ය.

අදාළ වීඩියෝව දක්වමින් ඉන්දියාව තුළ පළ කරන ලද තවත් සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. අදාළ සටහන් ඔස්සේද දක්වා තිබුණේ මෙම අනතුර දුරකථනයක් පුපුරා යෑමෙන් සිදුවූවක් බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් ඔස්සේ ද වාර්තා කර තිබේ. The Hindu පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ 2026.07.22 දින කුම්රාම් භීම් අසිෆබාද් දිස්ත්‍රික්කයේ බැටරියක් පුපුරා යාමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් ඇති බවට පොලීසිය විසින් පවසා ඇති බවයි. බරපතල තුවාල ලැබූ මෙම පිරිමි ළමයා කගස්නගර් හි රෝහලකට මාරු කරන අතරතුර මිය ගොස් ඇති බව එහි දක්වා ඇත. මියගිය පුද්ගලයා ගුඩෙම් හි සිල්ලා පරිෂාඩ් උසස් පාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ලෝකේෂ් නම් සිසුවෙක් බව හඳුනාගෙන ඇති බව වාර්තාවේ දක්වා ඇත.
බැටරිය පිපිරීමට හේතු වූ කරුණු පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටින බවත් වැඩිදුරටත් එම වාර්තාව ඔස්සේ දක්වා ඇත.

කුම්රාම් භීම් අසිෆබාද් දිස්ත්‍රික්කයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු ජංගම දුරකථන බැටරියක් අලුත්වැඩියා කිරීමට උත්සාහ කරමින් සිටියදී එය පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව දක්වමින් ඉන්දියාවේ සහ තෙලන්ගනා ප්‍රාන්තයේ මාධ්‍ය වාර්තා රැසක් මේ සම්බන්ධයෙන් පල වී තිබුණා. එම වාර්තා මෙතනින්, මෙතනින්.
මෙම පුද්ගලයා බැටරි චාජරයකට (වෝල්ට් 9) විදුලියට සම්බන්ධ කර එය කටේ තබාගෙන ඇති බවත්, එම අවස්ථාවේ බැටරිය පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් දක්වමින් තෙලිඟු පුවත් වෙබ් අඩවි කිහිපයක් ද මෙය වාර්තා කර ඇත. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අප විසින් මේ සම්බන්ධයෙන් Factcrescendo ඉන්දීය කණ්ඩායම සමග සම්බන්ධ වෙමින් ද විමසීමක් සිදු කළ අතර, ඔවුන් විසින්ද සඳහන් කළේ, මෙම සිදුවීම ඉන්දියාවේ තලන්ගනා හි කුම්රාම් අසිෆබාද් හි සිදු වූවක් බවත්, මෙම අනතුර දුරකථන බැටරියක් විදුලියට සම්බන්ධ කර අලුත්වැඩියා කිරීමට උත්සහ කිරීමේදී සිදුවූවක් බවත් ය.
මස්කෙළිය ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
මස්කෙළිය ප්‍රදේශයේ මෙවැනි සිදුවීමක් වාර්තා වී ඇත්ද යන පරීක්ෂා කිරීම සඳහා අප විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් විමසා සිටි අතර එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, මස්කෙළිය ප්‍රදේශයේ එවැනි කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.
මස්කෙළිය පොලිස් ස්ථානය
අප විසින් මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිස් ස්ථානයෙන්ද විමසා සිටි අතර එහිදී ඔවුන් විසින් ද සඳහන් කළේ, දුරකථනයක් පුපුරා යාම නිසා සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් මස්කෙළිය ප්‍රදේශයෙන් කිසිදු වාර්තාවක් නොමැති බවයි.
මස්කෙළිය රෝහල
මස්කෙළිය ප්‍රදේශයේ මෙවැනි අනතුරක් සිදු වී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් මස්කෙළිය රෝහල අනිවාර්යයෙන් දැනුවත් විය යුතුව අතර ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසීමේදී මස් කෙළිය රෝහල විසින් සඳහන් කළේ එවැනි කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බවයි.
ජංගම දුරකථන හෝ වෙනත් උපකරණවල බැටරි විදුලියට සෘජුව සම්බන්ධ කර අලුත්වැඩියා කිරීමට යාම අවදානම් සහගතය. මෙවැනි අනතුරු සිදුවීමේ විද්‍යාත්මක පසුබිම කුමක් ද ?
ලිතියම්-අයන් බැටරි තුළ ධන සහ සෘණ අග්‍ර වෙන්කර තබා ගැනීමට සියුම් “සෙපරේටරයක්” (Separator) සහ දැවෙනසුළු රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. UL පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි, බැටරියක් විදුලියට සම්බන්ධ කර අවිධිමත් ලෙස අලුත්වැඩියා කිරීමේදී හෝ අධි වෝල්ටීයතාවයක් සැපයීමේදී බැටරියේ අභ්‍යන්තර උෂ්ණත්වය පාලනයකින් තොරව ඉහළ යයි. මෙය දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන අතර, එම ක්‍රියාවලිය විද්‍යාත්මකව Thermal Runaway ලෙස හඳුන්වයි. එහිදී තත්පර කිහිපයක් ඇතුළත බැටරියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සිය ගණනක් දක්වා ඉහළ යයි.
උෂ්ණත්වය අධික ලෙස ඉහළ යද්දී බැටරිය තුළ ඇති රසායනික ද්‍රව්‍ය වියෝජනය වී කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් වැනි දැවෙනසුළු සහ අධික විෂ වායු වර්ග නිපදවයි. බැටරි ආවරණයට මෙම වායු පීඩනය දරාගත නොහැකි වූ විට එය ක්ෂණිකව පිපිරී යාම හෝ ගිනි ගැනීම සිදුවේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
බ්‍රිතාන්‍ය ආරක්ෂක කවුන්සිලය සඳහන් කරන ආකාරයට, හානියට පත් වූ හෝ ඉදිමුණු බැටරි අලුත්වැඩියා කිරීමට යාමේදී එහි අභ්‍යන්තර ව්‍යුහය බිඳ වැටමේ අවදානම ඉතා ඉහළය. ඉදිමුණු බැටරියක් යනු දැනටමත් එහි රසායනික ව්‍යුහය අස්ථායී වී ඇති බවට ලැබෙන අනතුරු ඇඟවීමකි. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මස්කෙළිය ප්‍රදේශයේ දුරකථනයක් පුපුරා යාමෙන් පාසල් සිසුවකු අනතුරට පත් වී ඇති බව දක්වමින් වට්සැප් ඔස්සේ හුවමාරු වන වීඩියෝව නොමඟ යවන සුළු බවයි.
අදාල වීඩියෝව ශ්‍රී ලංකාවේ වීඩියෝවක් නොවන අතර, එය ඉන්දියාවේ තෙලන්ගනා හි සිදු වූවකි. අදාළ අනතුර සිදු ව ඇත්තේ දුරකථන බැටරියක් විදුලියට සම්බන්ධ කර අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමේදීය. බැටරිය පුපුරා යෑමෙන් පසු රෝහල් ගත කරන අතරතුර අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.


