දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන සහ ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙලෙස බහුලව හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව පිළිබඳ සොයා බලා අප විසින් කරන ලද කරුණු විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim:
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මහර බන්ධනාගාරය තුල ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් බන්ධනාගාරය අවට පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය දැමීම වර්තමාන ආණ්ඩුව විසින් බලය ඉක්මවා කටයුතු කළ බවට දක්වමින් ඔහුගේ අත්සනින් යුත් ලිපියක් මාධ්‍ය වෙත යොමු කොට ඇති බවට පළ වූ ලිපිය පහතින්.

Fact-Check :
නිල පාර්ලිමේන්තු හෝ සමගි ජන බලවේගය (SJB) මාධ්‍ය ප්‍රකාශනවල පවතින සම්මත අකුරු රටා, පේළි අතර පරතරය සහ පෙළ පෙළගැස්ම, අක්ෂර වල දෝෂ මෙම ලේඛනයේ නිවැරදිව දක්නට නොමැති බව නිරික්ෂණය විය.
ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රධාන පෙළේ හෝ පිළිගත් නිල පුවත්පත්, රූපවාහිනී නාලිකා හෝ පුවත් වෙබ් අඩවි මඟින් මෙවැනි නිවේදනයක් පිළිබඳ වාර්තා කර නොතිබුණි.
එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ හෝ සමගි ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුවේ හෝ මෙවැනි ලිපියක් පළ කර නොතිබුණි.
අප කළ පරීක්ෂාවේදී කිසිදු මාධ්‍ය ආයතනයකට මෙවැනි ලිපියක් ද, සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, යොමු කර නොමැති බව ද, තහවුරු විය.
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය
අප කළ විමසීමේදී ද, එම අංශය තහවුරු කළේ, මෙම ලිපිය ව්‍යාජ ලෙස සකසා ඇති ලිපියක් බව ත්, විපක්ෂ නායකවරයා විසින් මෙවැනි ලිපියක් පළ කර හෝ, මෙවැනි ප්‍රකාශයක් හෝ සිදු කර නොමැති බවයි.
සජිත් ප්‍රේමදාස මහර සිදුවීම පිළිබඳ ඇත්තටම පැවසූ දේ
සරලව රටේ බන්ධනාගාර පද්ධතිය පාලනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවකට, මේ රටේ මිලියන 22ක් වන සමස්ත ජනතාවගේ ජීවිත නංවාලීමට හෝ රට නැවත ගොඩනැඟීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබේ. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී විෂය භාර අමාත්‍ය අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් එකතු වී පරාජය කර විපක්ෂයට සමච්චල් කළ බව සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරනු ලබනවා. නමුත් එම ඇමැතිවරයා ආරක්ෂා කර දින කිහිපයක් යන්නට මත්තෙන් මහර බන්ධනාගාරය තුළ මෙවැනි විශාල අර්බුදයක් සහ නොසන්සුන්තාවක් නිර්මාණය වීම හරහා ආණ්ඩුවේ අසාර්ථකභාවය නැවතත් ඔප්පු වී ඇති බව ඔහු අවධාරණය කරයි. පවතින ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවට ආණ්ඩුව රට තව තවත් අගාධයකට සහ වැරදි දිශාවකට තල්ලු කරමින් සිටින බවට ඔහු චෝදනා කරයි. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.
රජයේ පොදු පාලන අසමත්භාවය සහ බන්ධනාගාර නොසන්සුන්තාවය පිළිබඳව ඔහු අදහස් දැක්වූව ද, ඇඳිරි නීතිය දැමීම පිළිබඳ විවේචනයක් සිදු කර නැහැ.
Claim:
“මහර බන්ධනාගාරයේ සිදුවීමටත් වගකීම මම භාර ගන්නවා.. නමුත් ඉල්ලා අස්වෙන්නේ නැහැ..” – ඇමති හර්ෂණ කියයි යනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN News) ෆේස්බුක් හි නිල පුවතක් වාර්තා කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

Fact-Check :
අධිකරණ අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් මහර සිදුවීමට අදාළව සිදු කර නොමැති බව අප කළ මූලික පරීක්ෂාවේදී තහවුරු විය.
අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක හෝ පළ වී නොතිබුණි. ඉහත පෙන්වා දී තිබූ පරිදි ITN පුවත් වල හෝ මේ ආකාරයෙන් පුවත් සටහනක් පළ වී තිබුණේ නැහැ. එහි මහර සිදු වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශ බවට දක්වා තිබූ සටහන් පහතින්.
මෙම පින්තූරය සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමත් සමඟ, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) සිය නිල Facebook පිටුව සහ වෙබ් අඩවිය හරහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය තමන්ගේ සන්නාමය (Logo) උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද පුවතක් බවයි.
අධිකරණ අමාත්‍ය මාධ්‍ය අංශය
අධිකරණ අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ද, පවසා සිටියේ අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් මහර බන්ධනාගාරය ගැටුම හා සම්බන්ධ සිදු කර නොමැති බවයි.
මෙම සටහනට පසුබිම් වූ සිදුවීම
2026 ජූලි 5 වනදා මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් විසින් ආරම්භ කළ ගැටුමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, එම ආයතනය තමන් යටතේ පවතින බැවින් සිදුවූ සිදුවීමේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ප්‍රකාශයක් කර තිබුණා. මේ ඔස්සේ ඉහත සටහන නිර්මාණය කර ඇති බව පෙන්වා දිය හැක.
Also Read : මීගමුව බන්ධනාගාර ඛේදවාචකය මැද නිර්මාණය වන ව්‍යාජ ප්‍රකාශ!
Claim :
“බන්ධනාගාර වල සිදුවීම් පිටුපස රාජ්‍ය බුද්ධි අංශය, ” යුධ හමුදා බුද්ධි අංශය හා රාජපක්ෂවරුන් සිටිනවා- සිරිල් ගාමිණී පියතුමා හෙළි කරයි යුනවෙන් පුවත් සටහනක් වාර්තා වූ බවට ද, දක්වා තිබුණේ මේ අයුරින්.

Fact-Check:
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් මෙවැනි ප්‍රකාශයක් පළ කර තිබුණේ නම්, එය ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කර තිබිය යුතුයි. නමුත් එවැනි පුවතක් වාර්තා කර නොතිබුණි.
මෙම පින්තූරයේ දකුණු පස පහළින් TTV News ලාංඡනය යොදා තිබුණද, TTV News නිල වෙබ් අඩවිය හෝ ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් මඟින් මෙවැනි කිසිදු පුවතක් පළ කර නොමැත.
සිරිල් ගාමිණී පියතුමා මෑතකදී ඇති වූ මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ හෝ යුද හමුදාව ඈඳාගනිමින් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැති බව අප කළ විමර්ශනයේදී තහවුරු වුණා. මේ අතර අප කළ විමසීමේදී ද, පියතුමන් තහවුරු කළේ, මෙම පුවත ව්‍යාජ බව ත්, තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත්ය.
මහර බන්ධනාගාර ගැටුම
මහර බන්ධනාගාරය තුළ 2026 අගෝස්තු 1 වනදා සවස 4.00 ට පමණ ආරම්භ වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පැය 13කට අධික කාලයක් පැවති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ තාවකාලික ආවරණ කඩා දමමින් ප්‍රධාන ගේට්ටුවෙන් පලායාමට උත්සාහ කිරීමත් සමඟ එය කැරැල්ලක් දක්වා වර්ධනය විය. එහිදී රැඳවියන් ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර, තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීම් හමුවේ එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් හත් දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරිණි. කැරලිකරුවන් විසින් බන්ධනාගාර රෝහල, මුළුතැන්ගෙය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ එදිනම විවෘත කරන ලද නව පුනරුත්ථාපන ගොඩනැගිල්ල ඇතුළු ස්ථාන රැසකට ගිනි තබා බරපතළ දේපොළ හානි සිදුකර ඇති අතර, අවසානයේ පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බළකාය (STF) එක්ව ඒකාබද්ධ මෙහෙයුමකින් තත්ත්වය පාලනය කිරීමට සමත් විය. 991 දෙනෙකු සඳහා පමණක් ඉඩ ඇති මහර බන්ධනාගාරය තුළ සිද්ධිය වන විට රැඳවියන් 4,100කට අධික පිරිසක් රඳවා තැබීමෙන් හටගත් අධික තදබදය මීට ප්‍රධාන හේතුවක් ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙන අතර, රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කිසියම් බාහිර සංවිධානාත්මක කණ්ඩායමක කුමන්ත්‍රණයකින් මෙය සිදුවූයේද යන්න පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


