ඇමරිකාව, චීනය, කැනඩාව සමග ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හතරවැනි තැනට පත් වුණාද ?

Economy False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

බංකොලොත් රටක සිට වසර දෙකකින් ලෝකයෙන්ම 4 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව දක්වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණි. ඇමරිකාව, චීනය, කැනඩාව යන රටවල් ත්‍රිත්වයට පසුව ලෝකයෙන්ම සිව්වන ස්ථානයට ලංකාව පත්ව ඇති බව එමගින් ගම්‍ය වී තිබුණි. මෙහි සත්‍යතාව සොයා බලමින් අප කළ කරුණු පරීක්ෂාව පහතින්.

කෙටියෙන් : මෙම නොමඟ යවනසුළු සටහනට මූලික හේතුව, එකිනෙකට අදාළ නොවන ජාත්‍යන්තර දර්ශක කිහිපයක් එකට මිශ්‍ර කරමින් සහ සීමිත කාණ්ඩයකට ඇතුළත් රටවල් ( නැගී එන සහ සංවර්ධන වෙමින් පවතින) අතරින් ලබාගත් ජයග්‍රහණයක්, සමස්ත ලෝක ශ්‍රේණියක් ලෙස ඉදිරිපත් කර තිබීමයි. කෙසේනමුත්, ණය අර්බුදයකින් ගොඩ එමින් සිටින අවධියක, ණය විනිවිදභාවය ඉහළ නංවා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව මෑතක දී ලබාගෙන ඇති ජයග්‍රහණයන් සැබැවින්ම කැපී පෙනේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ප්‍රස්ථාරයක් යොදාගනිමින්, ලංකාව ලොව ප්‍රබල ආර්ථිකයන් සමඟ කරට කර සිටින බව දැක්වීමට යොදාගත් ඡායාරුප සටහන් පහතින්.

Facebook | Archived Link Facebook Facebook Facebook Instagram

එසේම, එවැනිම තේමා ඔස්සේ, ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යන් අතර 4 වන ස්ථානය හිමිකරගත් බව IMF විසින් ප්‍රකාශයට පත් කළ බව දක්වන සටහන් පෙළක් ද වයිරල් දී තිබුනේ මෙලෙසින්. FB

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඇමරිකාව, චීනය, කැනඩාව යන රටවල් සමඟ පිළිවෙලින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත් වූ බවට කියැවෙන එවැනි දර්ශකයක් කිසිඳු නිල ජාත්‍යන්තර වාර්තාවක් හෝ ආයතනයක් මගින් පළ කර නොමැති බව අපගේ මූලික පරීක්ෂාවේදී පැහැදිලි විය. එහෙත්, මෙම වෛරල් සටහන පිටුපස ඇත්තේ පදනමක් සහිත සත්‍ය සිද්ධියක් වැරදි ලෙස රාමුගත කිරීමකි. එය පහත පැහැදිලි කරමු.

1. ජාත්‍යන්තර මූල්‍ය ආයතන (Institute of International Finance – IIF) – සැබෑ පදනම

ශ්‍රී ලංකාව 2026 වසරේදී ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය වේගයෙන්ම වර්ධනය කරගත් රටවල් අතරින් සිව්වැනි ස්ථානයට පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) සිය නිල වාර්තාව මගින් තහවුරු කර ඇත. නමුත් මෙම දර්ශකයේ ද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වැඩිම වර්ධනයක් පෙන්වා ඇත්තේ වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් යන රටවල් ය – ඇමරිකාව, චීනය හෝ කැනඩාව නොවේ.

තවද, විශේෂ කරුණ වන්නේ, මෙම ඇගයීම සිදු කර ඇත්තේ, නැගී එන වෙළඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් සඳහා පමණි. IIF හි “Investor Relations and Debt Transparency Report 2026: The Transparency Dividend” නම් වාර්තාවට අනුව (සම්පූර්ණ වාර්තාව — IIF) ශ්‍රී ලංකාවේ ප්‍රධාන දර්ශක පහත පරිදි වේ.

1.1 – ආයෝජක සබඳතා දර්ශකය (Investor Relations Country Score)

නැගී එන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වන ආර්ථිකයන් 57ක් අතර, පසුගිය වසරට සාපේක්ෂව වේගයෙන්ම වර්ධනය වූ රටවල් අතර 4 වැනි ස්ථානය ශ්‍රී ලංකාව දිනාගෙන ඇත. ලංකාව, සමස්ත ලකුණු 50න් 43.67ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, එය 2025 වසරේ පැවති 37.33 මට්ටමට සාපේක්ෂව ලකුණු 6.3ක කැපී පෙනෙන වර්ධනයකි. 🖼 ආයෝජක සබඳතා දර්ශකය — ප්‍රස්තාරය (රූපය)

ස්ථානයරටලකුණු වර්ධනය
1වියට්නාමය (Vietnam)+10.9
2බෙලීස් (Belize)+8.2
3මොසැම්බික් (Mozambique)+6.4
4ශ්‍රී ලංකාව (Sri Lanka)+6.3
5එල් සැල්වදෝරය (El Salvador)+2.7
6බහරේනය (Bahrain)+2.5
7බොලිවියාව (Bolivia)+2.4
8කැමරූන් (Cameroon)+2.4
9එතියෝපියාව (Ethiopia)+2.3
10ඉක්වදෝරය (Ecuador)+1.6

වැදගත් වන්නේ: මෙම සිව්වන ස්ථානය ලැබී ඇත්තේ “ආයෝජක සබඳතා ලකුණුවල සිදු වූ වර්ධනය” (Change in IR Country Scores, 2026–2025) යන දර්ශකය යටතේ ය. එබැවින් එය “සංවර්ධන වෙමින් පවතින ආර්ථිකයන් අතරින්, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය අතින් සිව්වැනි ස්ථානයට පත්වීම” ලෙස හැඳින්වීම නිවැරදි ය; කිසි ලෙසකත් “ලෝකයෙන්ම සිව්වැනි” ස්ථානයක් නොවේ.

1.2 – රාජ්‍ය ණය විනිවිදභාවය (Debt Transparency Score)

ණය දත්ත නිවැරදිව හෙළිදරව් කිරීමේ දර්ශකයේද ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් පෙන්වමින් 5 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. ණය විනිවිදභාවය සඳහා වෙන් වූ උප දර්ශකයේ උපරිම ලකුණු 13න් ලකුණු 11.25ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. ණය විනිවිදභාවය අතින් ශ්‍රී ලංකාව 2025 වසරේ 19වන ස්ථානයේ සිට 2026දී 5වන ස්ථානය දක්වා, එනම් ස්ථාන 14කින් ඉහළට පැමිණ ඇත (EconomyNext; Newsfirst). 🖼 ණය විනිවිදභාවය දර්ශකය — ප්‍රස්තාරය (රූපය)

ස්ථානයරටලකුණු වර්ධනය
1බහරේනය (Bahrain)+2.8
2අසර්බයිජානය (Azerbaijan)+1.8
3එල් සැල්වදෝරය (El Salvador)+1.5
4මොන්ගෝලියාව (Mongolia)+1.1
5ශ්‍රී ලංකාව (Sri Lanka)+1.0
6කැමරූන් (Cameroon)+0.6
7බෙලීස් (Belize)+0.6
8බොලිවියාව (Bolivia)+0.5
9ජැමෙයිකාව (Jamaica)+0.5
10රුමේනියාව (Romania)+0.3

1.3 පාරිසරික, සමාජීය සහ පාලන තොරතුරු ව්‍යාප්තිය (ESG Data and Policy Dissemination Score)

පාරිසරික හා සමාජීය ප්‍රතිපත්ති තොරතුරු ජාත්‍යන්තර ආයෝජකයින්ට සැපයීමේ හැකියාව මනින මෙම උප දර්ශකයේද, උපරිම ලකුණු 4.0න් 3.25ක් ලබාගෙන ශ්‍රී ලංකාව, ඉහත රටවල් අතරින්, පස්වන ස්ථානය ලබාගෙන ඇත. තායිලන්තය, එල් සැල්වදෝරය සහ නයිජීරියාව වැනි රටවල් සමඟ එය ඉහළම වර්ධනයක් පෙන්වූ රටවල් අතරට එක්වේ. 🖼 ESG දත්ත දර්ශකය — ප්‍රස්තාරය (රූපය)

ස්ථානයරටලකුණු වර්ධනය
1තායිලන්තය (Thailand)+1.1
2ඉතියෝපියාව (Ethiopia)+0.8
3සැල්වදෝරය (El Salvador)+0.8
4බෙලීස් (Belize)+0.8
5ශ්‍රී ලංකාව (Sri Lanka)+0.8
6නයිජීරියාව (Nigeria)+0.6
7රුමේනියාව (Romania)+0.6
8මොන්ගෝලියාව (Mongolia)+0.6
9ජැමෙයිකාව (Jamaica)+0.5
10වියට්නාමය (Vietnam)+0.5

මෙම ප්‍රගතියට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2024 දෙසැම්බර්හිදී මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) යටතේ නිල ආයෝජක සබඳතා වැඩසටහනක් විධිමත්ව ආරම්භ කිරීම බව IIF පෙන්වා දෙයි. එමගින් ජාත්‍යන්තර ණයහිමියන් හා ආයෝජකයින් සමඟ විනිවිදභාවයෙන් යුත් සන්නිවේදනයක් ගොඩනැඟීමට හැකි වී තිබේ. (EconomyNext; Ada Derana; Newsfirst).

මෙම IIF ඇගයීම තුළ ශ්‍රී ලංකාව, චීනය හැරුණු විට ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අනෙකුත් රටවල් කිසිවක් අන්තර්ගත වන්නේ නැත. 

මෙම IIF ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය ඇතුළු ඇගයීම සිදු කරනු ලබන්නේ ලොව පුරා සිටින නැගී එන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් සඳහා පමණි. ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් ලෝකයේ දියුණු වෙළෙඳපොළවල් බැවින්, ඒවා මෙම 57 දෙනාගේ ලැයිස්තුවට අදාළ නොවේ.

චීනය නැගී එන වෙළෙඳපොළක් ලෙස සලකා IIF ආයතනයේ ඇතැම් වාර්තාවලට ඇතුළත් කළද, ඔවුන් ශ්‍රී ලංකාව මෙන් මෑතකදී ණය අර්බුදයකට මුහුණ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ විශේෂ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන රටක් නොවේ.

ඒ අනුව පැහැදිලි වන්නේ IIF ආයතනය විසින් මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට  ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ ඇගයීම් දර්ශක තුළ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබුනේ, වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ මිස, ඇමරිකාව, ජපානය හෝ කැනඩාව වැනි රටවල් සමඟ නොවන බවයි.

2. Remitly 2026 සංක්‍රමණ දර්ශකය (Immigration Index)

එසේම, ඩිජිටල් මූල්‍ය සේවා සපයන Remitly ආයතනයේ 2026 Immigration Index වාර්තාවට අනුව, පවුල් වශයෙන් පදිංචි වීමට ලොව හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව 4 වන ස්ථානයට පත්ව ඇත. මුල් ස්ථාන තුන දිනාගෙන ඇත්තේ ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. කෙසේ නමුත් එම දර්ශකයද වෛරල් සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති දර්ශකයට සමාන නොවේ. 🖼 Remitly Immigration Index 2026 (රූපය)

මෙම දර්ශකය මගින් ලොව පුරා රටවල් 82ක්, සාධක 34ක් ඔස්සේ ඇගයීමට ලක් කරයි. ශ්‍රී ලංකාව පවුල් කාණ්ඩයේ ඉහළ ස්ථානයක් හිමිකරගැනීමට ප්‍රධාන හේතු වූයේ රටේ අධ්‍යාපන පද්ධතිය සහ අඩු ළමා රැකවරණ පිරිවැයයි. (පසුගිය වසරේ මෙම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබුණේ ද ශ්‍රී ලංකාව ය.)

3. ප්‍රධාන ජාත්‍යන්තර දර්ශක අනුව මෙම රටවල සැබෑ ශ්‍රේණි

මීට අමතරව, ලොව පොදුවේ පිළිගත් ප්‍රධාන ජාත්‍යන්තර සංවර්ධන දර්ශක ඔස්සේ ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දක්වා ඇති රටවල් වල සැබෑ ගෝලීය ශ්‍රේණිගත කිරීම් පරික්ෂා කිරීමේ දී මෙලෙසින් දැක්විය හැක.

රට (Country)GDP හෙවත් දළ දේශීය නිෂ්පාදිතය අනුව (IMF 2026 GDP)මානව සංවර්ධන දර්ශකය (UNDP HDI 2026)ලෝක සතුටුදායකම රටවල් (WHR 2026)
ශ්‍රී ලංකාව (Sri Lanka)81 වන ස්ථානය 89වන ස්ථානය 134 වන ස්ථානය
ඇමරිකාව (USA)1 වන ස්ථානය17 වන ස්ථානය23 වන ස්ථානය
චීනය (China)2 වන ස්ථානය78 වන ස්ථානය65වන ස්ථානය 
ජපානය (Japan)4 වන ස්ථානය23 වන ස්ථානය61 වන ස්ථානය
කැනඩාව (Canada)11 වන ස්ථානය16වන ස්ථානය25 වන ස්ථානය
නෝර්වේ (Norway)31 වන ස්ථානය2 වන ස්ථානය (නෝර්වේ සහ ස්විස්ටර්ලන්තය සම ස්ථාන වල පසුවේ)6 වන ස්ථානය
ස්විස්ටර්ලන්තය (Switzerland)20 වන ස්ථානය 2 වන ස්ථානය (නෝර්වේ සහ ස්විස්ටර්ලන්තය සම ස්ථාන වල පසුවේ)10 වන ස්ථානය
ෆින්ලන්තය (Finland)50 වන ස්ථානය 12වන ස්ථානය 1 වන ස්ථානය

* නෝර්වේ සහ ස්විට්සර්ලන්තය HDI හි සම-2වන ස්ථානයේ පසුවේ. (GDP: නාමික/IMF ප්‍රක්ෂේපණ; HDI: නවතම UNDP HDR.)

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික පසුබිම

ඉහත IIF ඇගයීමෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, හුදකලා සිදුවීමක් ලෙස නොව, 2022 වර්ෂයේ බංකොලොත්භාවයෙන් අනතුරුව රට අත්කරගනිමින් සිටින පුළුල් ආර්ථික ප්‍රකෘතියේ එක් අංගයක් ලෙස තේරුම්ගැනීම වඩාත් නිවැරදි ය. එම ප්‍රකෘතියේ විස්තර කෙටියෙන් මෙසේ ය.

2022 වර්ෂයේ උද්ධමනය සියයට 70ක් පමණ දක්වා ඉහළ ගොස්, විදේශ ණය ගෙවීම්හි පැහැර හැරීමකට රට මුහුණ දුන්නද, එතැන් සිට තත්ත්වය සැලකිය යුතු ලෙස ස්ථාවර වී තිබේ. 2025 වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට 5ක් පමණ වූ අතර, 2026 සඳහා සියයට 4–5ත් අතර වර්ධනයක් අපේක්ෂා කෙරේ. උද්ධමනය වර්තමානයේ සියයට තනි ඉල්ලකම අගයක් ගන්නා අතර (~7%), නිල විදේශ සංචිත 2026 මාර්තු මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් පමණ දක්වා ශක්තිමත් වී තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙතනින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල නිවේදනය මෙතනින් කියවිය හැකි ය.

මෙම ස්ථාවරත්වයට ප්‍රධාන පිටිවහලක් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility) වැඩසටහන ය. SDR බිලියන 2.3ක් (ඇ.ඩො. බිලියන 3ක් පමණ) වටිනා මෙම වැඩසටහනේ පස්වන හා හයවන සමාලෝචන 2026 මැයි මාසයේදී සාර්ථකව නිම විය (IMF).

මීට අමතරව, ඇ.ඩො. බිලියන 12.55ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය 2024 දෙසැම්බර් මාසයේදී ණයහිමියන් විසින් අනුමත කරන ලද අතර, එමගින් රටේ ණය බර තිරසාර මාවතකට යොමු වී තිබේ. ණය-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2026දී සියයට 95ක් පමණ දක්වා පහත වැටෙනු ඇතැයි ද, 2030 වන විට සියයට 87ක් දක්වා අඩු කරගැනීම දිගුකාලීන ඉලක්කය බව ද ගණන් බලා ඇත.

මෙම විනිවිදභාවය හා ප්‍රතිසංස්කරණවල ප්‍රායෝගික ප්‍රතිඵලය දක්නට ලැබෙන්නේ රටේ ණය ශ්‍රේණිගත කිරීම්හි ය. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව, Fitch ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය “CCC+” දක්වා ද (මෙතනින්), Moody’s ආයතනය “Caa1” දක්වා ද (මෙතනින්) ඉහළ නංවන ලද අතර, S&P ආයතනය ද “selective default” තත්ත්වයෙන් රට ඉවතට ගෙන “CCC+/C” දක්වා ශ්‍රේණිය නංවන ලදී. විනිවිදභාවයෙන් යුතුව නියමිත වේලාවට ණය දත්ත හෙළිදරව් කිරීම, ආයෝජකයින්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට හා මෙම ශ්‍රේණි ස්ථාවර කරගැනීමට සෘජුවම දායක වේ.

පුළුල් ලෝක සන්දර්භය තුළ බැලූ විට ද මෙම ප්‍රගතියේ වැදගත්කම මනාව පැහැදිලි වේ. 2026 වන විට ගෝලීය ණය ප්‍රමාණය ඇ.ඩො. ට්‍රිලියන 348ක් පමණ දක්වා වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති අතර, නැගී එන ආර්ථිකයන්හි රාජ්‍ය ණය ගැනීම් පමණක් 2025දී ට්‍රිලියන 4 ඉක්මවා ඇත (OECD). අතීත ස්වෛරී ණය අර්බුද බොහොමයක පොදු ලක්ෂණය වූයේ තීරණාත්මක ණය තොරතුරු ප්‍රමාද වන තුරු සැඟවී තිබීම ය; එබැවින් ණය විනිවිදභාවය අද වන විට පැහැදිලි අවශ්‍යතාවක් බවට පත්ව ඇත. (International Banker)

මෙබඳු පසුබිමක, ණය අර්බුදයකින් ගොඩ එමින් විනිවිදභාවය ඉහළ නංවා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සැබැවින්ම කැපී පෙනේ. එහෙත් මෙය රටේ ආර්ථික ප්‍රකෘතියක් මිස, වෛරල් වූ සමාජ මාධ්‍ය සටහනේ ඇඟවෙන පරිදි “ලෝකයේ සිව්වන ආර්ථිකය” බවට පත්වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය.

IMF පුරෝකථන අනුව වේගවත්ම ආර්ථික මොනවා ද? ලංකාව කොහෙද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook, 2026 අප්‍රේල්) වාර්තාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධන පුරෝකථනවලට අනුව, 2026දී ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථික වන්නේ ප්‍රධාන වශයෙන් තෙල් හා පොදු භාණ්ඩ අපනයනය මත යැපෙන කුඩා රටවල් හෝ අර්බුදවලින් ගොඩ එන රටවල් ය : දකුණු සුඩානය (27.2%), ගයනාව (14.4%), ලිබියාව (13.7%) ඉදිරියෙන් සිටී. (IMF දත්ත සිතියම)

ප්‍රධාන ආර්ථික (major economy) අතර වේගවත්ම වර්ධනය පෙන්වන්නේ ඉන්දියාව (සියයට 6.5ක් පමණ) වන අතර, දකුණු ආසියානු කලාපයේ ආර්ථික ගාමකයා ද එය ම ය (ලෝක බැංකුව).

මෙම ලැයිස්තුවේ කිසිම තැනක ශ්‍රී ලංකාව නොමැත. IMF පුරෝකථනවලට අනුව, ශ්‍රී ලංකාවේ මූර්ත GDP වර්ධනය 2025 වසරේ සියයට 5ක සිට 2026දී සියයට 3ක් (3.1%) පමණ දක්වා මන්දගාමී වනු ඇත; IMF මෙය හඳුන්වන්නේ අර්බුදයෙන් පසු දිගුකාලීන ප්‍රවණතාව කරා නැවත පැමිණීමක් ලෙසයි (IMF; ලංකාවේ දත්ත). එබැවින් සියයට 3ක වර්ධන වේගයක් සහිත ශ්‍රී ලංකාව, ලෝකයේ හෝ දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය නොවන බව පැහැදිලිය.

Also Read: දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය හිමි රට, ලංකාව ද? (Fact Crescendo — False)

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇමරිකාව, චීනය සහ කැනඩාව යන රටවල් පසුපසින් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම සිව්වන ස්ථානයට පත්ව ඇතැයි කියා වයිරල් වී ඇති සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවනසුළු බවයි. එවැනි ගෝලීය ශ්‍රේණියක් කිසිඳු නිල ජාත්‍යන්තර ආයතනයක් විසින් පළ කර නැත. සිදුව ඇත්තේ, සැබෑ පදනමක් මත මෑතක දී ලංකාව ලැබූ ජයග්‍රහණ, වැරදි රාමුවකට දැමීම ය.

එම සැබෑ ජයග්‍රහණය නම්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ (IIF) 2026 වාර්තාවට අනුව, ආයෝජක සබඳතා වේගයෙන්ම දියුණු කරගත් රටවල් අතර සිව්වන ස්ථානය (ලකුණු 43.67/50) සහ ණය විනිවිදභාවය අතින් පස්වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකරගැනීම ය. එහෙත් මෙම ඇගයීම සිදුවන්නේ නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් අතර පමණි, ඇමරිකාව හෝ කැනඩාව වැනි දියුණු වෙළඳපොළවල් එයට ඇතුළත් වන්නේම නැත.

වඩාත් වැදගත් කරුණ නම්, මෙය ණය අර්බුදයකින් ගොඩ එමින්, විනිවිදභාවය ඉහළ නංවා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගැනීමයි. 2022 බංකොලොත්භාවයෙන් පසු ඉතා ඉහළ අගයකට ගිය උද්ධමනය, තනි ඉලක්කමේ අගයක් දක්වා පහත වැටීම, ආර්ථිකය නැවත වර්ධනය වීම සහ ණය ශ්‍රේණි (Fitch, Moody’s, S&P) ඉහළ නැංවීම යන සමස්ත ආර්ථික ප්‍රකෘතියේ එක් ලකුණකි. එබැවින්, ගෝලීය ණය වාර්තාගත මට්ටමක පවතින වත්මන් ලෝකයේ, ලංකාව, ණය අර්බුදයකින් ගොඩ එමින් විනිවිදභාවය ඉහළ නංවා ගැනීම සැබැවින්ම අගය කළ යුතු ය.

එහෙත් රටක් ලෙස අප ලද මෙම ප්‍රගතිය, අතිශයෝක්තියෙන් “ලෝකයේ සිව්වන ආර්ථිකය” ලෙස විකෘති කිරීම එහි සැබෑ වටිනාකමට කරන අගෞරවයකි. නිවැරදි කරුණු දැනගැනීම, එම ජයග්‍රහණය නිසි ලෙස තේරුම්ගැනීමට අත්‍යවශ්‍ය ය.

Result Stamp

Title: ඇමරිකාව, චීනය, කැනඩාව සමග ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හතරවැනි තැනට පත් වුණාද ?

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *