දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
NS 200 යතුරුපැදිය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට නියෝග යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය සත්‍යභාවය සොයාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :



Facebook | Archived Link Facebook Facebook Facebook Facebook Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
NS 200 යතුරු පැදිය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබිය යුතුයි. අප විසින් සිදුකළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ, එවැනි තහනමක් සම්බන්ධයෙන් කිසිදු නිල මූලාශ්‍රයක් ඔස්සේ තහවුරු කර නොමැති බවයි.
ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් සෘජුව විමසීමක් සිදුකළා.
ශ්‍රී ලංකා පොලීසිය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් තහවුරු කළේ අදාල යතුරුපැදිය තහනම් කර හෝ තහනම් කිරීමේ සූදානමක් හෝ නොමැති බවයි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් සඳහන් කළේ, NS 200 යතුරුපැදිය තහනම් කළ බවට සමාජ මාධ්‍යවල පැතිරෙන සටහන් අසත්‍ය බවයි. එසේම අදාල යතුරුපැදිය තහනම් කිරීමේ සූදානමක් ද නොමැති බව ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළා.
මෙවැනි සටහනක් හුවමාරු වී තිබුණේ, පසුගියදා කටාන ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුර සමඟයි. කටාන, දාගොන්න, බෝලවලාන ප්‍රදේශයේදී 2026 ජූලි 29 වන දින රාත්‍රී 11 ට පමණ සිදු වූ මෙම මාරක රිය අනතුරින් යතුරුපැදි දෙකක ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. අනතුරට ලක්වූ කන්ටේනර් රථයේ රියදුරු මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ “NS 200 බයික් දෙකක් ආවා, වේගය 150-200 විතර ඇති” යනුවෙනි.
ඒ හේතුවෙන් අදාළ අනතුරට ලක් වූ NS 200 යතුරුපැදි සම්බන්ධයෙන් මෙලෙස ආන්දෝලනයක් සමාජ මාධ්‍ය තුළ ඉස්මතු වී ඇත. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
පොදු මාර්ගවල ධාවනය කිරීම සපුරා තහනම් කර ඇති යතුරුපැදි
ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන පනත සහ පොලිස් රෙගුලාසි අනුව, පොදු මාර්ගවල ධාවනය කිරීම සපුරා තහනම් කර ඇති සහ වැටලීම්වලට ලක්වන යතුරුපැදි වර්ගීකරණයන් කිහිපයක් පවතී. ලංකාවේ සාමාන්‍ය පොදු මාර්ගයක ලියාපදිංචි කර ධාවනය කළ හැක්කේ උපරිමය 450cc දක්වා වූ යතුරුපැදි පමණි. 450cc සිට 1001cc දක්වා වන අධි ධාරිතා යතුරුපැදි සාමාන්‍ය මාර්ගවල ධාවනය කිරීම සපුරා තහනම් වේ. (උදා: Yamaha R1, Suzuki Hayabusa, Kawasaki Ninja ZX-10R, Honda CBR 1000RR වැනි යතුරුපැදි පොදු මාර්ගවල පැදවීම නීති විරෝධී ය). ආන්දෝලනයට ලක් ව ඇති NS 200 (Bajaj Pulsar NS 200) යතුරුපැදියේ එන්ජින් ධාරිතාව 199.5 cc වේ. එම නිසා එය මෙරට තහනම් යතුරුපැදි එන්ජින් ධාරිතාවට වඩා අඩු බැවින් එම යතුරු පැදිය මෙරට තුළ ධාවනයට තහනමක් නැත. එසේම, කොටස් වශයෙන් ලංකාවට හොර රහසේ ගෙන්වා මෙරටදී එකලස් කරන ලද හෝ ව්‍යාජ චැසි අංක සහ ව්‍යාජ පොත් සකස් කර ඇති ඕනෑම ධාරිතාවක යතුරුපැදියක් ලංකාව තුළ සම්පූර්ණයෙන්ම තහනම් වේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
කිසියම් යතුරුපැදියක් නීත්‍යානුකූල වුවද, පහත සඳහන් වෙනස්කම් සිදුකර ඇත්නම් ශ්‍රී ලංකා පොලිසිය මඟින් ඒවා ධාවනය කිරීම තහනම් කර අත්අඩංගුවට ගනු ලබයි.
- අධික ශබ්දය නිකුත් කරන සයිලන්සර්- පරිසරයට සහ මහජනතාවට පීඩාවක් වන පරිදි අධික ශබ්දයක් නිකුත් කරන සයිලන්සර් සවිකර ඇති යතුරුපැදි.
- අනවසර ආලෝක පද්ධති-විවිධ වර්ණවලින් යුත් දැල්වෙමින් නිවෙන ලාම්පු සහ අනවසර LED බල්බ සවිකළ යතුරුපැදි.
ඩේවිඩ් පීරිස් මෝටර් (DPMC) ආයතනය
ශ්‍රී ලංකාවට බජාජ් පල්සර් එන්.එස්. 200 (Pulsar NS200) ඇතුළු බජාජ් මෝටර්සයිකල් සහ අමතර කොටස් ආනයනය කර බෙදාහරින්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (DPMC) විසින් වන අතර, ඒ අනුව මෙම බයික් වර්ගයේ තහනම් කිරීමක් සිදු කර ඇත්නම් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනය දැනුවත්ව තිබිය යුතුයි. අප විසින් සිදුකළ විමසීමේදී DPMC ආයතනය විසින් තහවුරු කළේ, NS 200 යතුරුපැදිය තහනම් කරන ලද බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් ය. අදාළ යතුරුපැදි වර්ගය ආනයනය කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කරන බවයි ආයතන කළමණාකාරීත්වය විසින් සඳහන් කළේ.
මෙම යතුරුපැදියේ සාමාන්‍ය උපරිම වේගය පැයට කිලෝමීටර් 136 – 140 (km/h) අතර වේ. ඇතැම් අවස්ථාවලදී මෙම වේග සීමා ඉක්මවා යතුරුපැදි ඉහළ වේගයකින් ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී එන්ජිම හදිසියේම වේගවත් වීමක් සිදුවිය හැකි අතර එය පාලනය කර ගැනීමට අපහසු වීම නිසා අනතුරුදායක විය හැක. දිගින් දිගටම අධික වේගයෙන් ධාවනය කිරීම නිසා එන්ජිම රත්වීම සහ ක්ලච් ප්ලේට් පිළිස්සීමටද ඉඩ ඇත. මෙය ධාවනය අතරතුර යතුරුපැදිය අතරමග නැවතීම හෝ ගැස්සීම වැනි තත්ත්වයන් ඇති කරමින් අනතුරු සඳහා මග පාදයි.
ඉහළ වේගයකදී රෝද ලිස්සා යාම වැළැක්වීම සඳහා Dual Channel ABS සහ විශාල තැටි බ්‍රේක් (300mm front disc) පද්ධතියක් මෙම යතුරු පැදියේ යොදා තිබුණද, උපරිම වේගය ඉක්මවා යාම නිසා තිරිංග පාලනය කිරීමේදී අනතුරු සිදුවීමට ද ඉඩ පවතී. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, NS 200 යතුරුපැදි වර්ගය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට යන බවට පැතිරෙන සටහන් අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ද තහවුරු කළා. ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොදු මාර්ගවල ධාවනය කිරීම සපුරා තහනම් කර ඇති යතුරුපැදි වර්ග කිහිපයක් පවතින අතර, 450cc ට වැඩි අධිධාරිතා යතුරුපැදි මෙරට සාමාන්‍ය මාර්ගවල ධාවනය කිරීම තහනම් වේ. NS 200 යතුරුපැදියේ එන්ජින් ධාරිතාව 199.5 cc වන බැවින් එය මෙරට තහනම් යතුරුපැදි එන්ජින් ධාරිතාව ඉක්මවා යන්නක් නොවේ. එබැවින් අදාළ යතුරුපැදිය මෙරට තුළ ධාවනය කිරීමට තහනමක් නොමැත.


