දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මීගමුව බන්ධනාගාරය තුළ 2026 ජූලි 5 සහ ජූලි 6 යන දිනවලදී සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. මෙම නොසන්සුන් වාතාවරණය දේශපාලනික සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා යොදාගනිමින් ජනාධිපතිවරයා, විෂයභාර අමාත්‍යවරයා සහ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියෙකු ඉලක්ක කර ව්‍යාජ සහ සංස්කරණය කරන ලද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් වල සත්‍ය සොයා අප සිදු කරන කරුණු විමර්ශන වාර්තාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1:
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රකාශය
ITN News නාලිකාවේ නිල පුවත් සටහනක් ලෙස පෙන්වමින්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා “මීගමුව බන්ධනාගාරයේ සිදුවීමට මම වගකිව යුතු නැහැ.. රජයේ නිලධාරීන් ඉන්නේ ඒවා පාලනය කරන්න යනුවෙන් ප්‍රකාශයක් කළ බවට දක්වා තිබුණා.

Fact-Check :
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ සංස්කරණය කරන ලද සටහනකි. සැබෑ තත්ත්වය නම්, බන්ධනාගාර ගැටුමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, එම ආයතනය තමන් යටතේ පවතින බැවින් සිදුවූ සිදුවීමේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා. සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත්වන බවත්, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස තමන් නියෝග කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා.
Claim 2:
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (Rupavahini News) පුවත් නිවේදනයක් ලෙස සකසා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් “බන්ධනාගාර ගැටුම නිරාකරණය කිරීමට මා ජේලර් වරයකු නෙමේ” යනුවෙන් ජනාධිපති ජාතිය අමතා සඳහන් කළ බවට හුවා දක්වා තිබුණා.
Whatsapp ඔස්සේ මෙම සටහන හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact-Check :
ශ්‍රී ලංකා රූපවාහිනී පුවත් සේවය මෙවැනි පුවතක් පළකර නොමැති අතර, ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැත. ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශය හරහා බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අප කළ විමසීමේදී සඳහන් කළේ.
Claim 3:
මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතාගේ ප්‍රකාශය
LankaNews ලාංඡනය සහිතව නිර්මාණය කළ සටහනක, ගවේෂණාත්මක මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා “බන්ධනාගාර වල රඳවා ඇති අපරාධකරුවන් කැරලි ගසයි නම්, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි නම් ඔවුන් කෙරෙහි ඊටත් වඩා ප්‍රචණ්ඩත්වයක් යොදා ඔවුන්ව මර්ධනය කිරීම රාජ්‍ය සතු ඇති පරම අයිතියක්.” බවට සඳහන් කළ ලෙස දක්වමින් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Fact-Check :
මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා විසින් ඉහත සදහන් ආකාරයේ ප්‍රකාශයක්, සඳහනක් සිය ෆේස්බුක් ගිණුම හරහා සටහන් කර නොතිබුණි.
ඔහු විසින් මීගමුව බන්ධනාගාර සම්බන්ධ සිදුවීම පිළිබඳ අවස්ථා දෙකකදී පළ කළ සටහන් දෙකකි. ඉන් එක් සටහනකින් මෙරට අනෙකුත් රාජ්‍ය නායකයින් ජනපති ධුරය හොබවන අවස්ථා වලදී බන්ධනාගාර වල සිදුවූ ගැටුම් වලදී වගකීම ගත යුත්තා සේ ම, වත්මන් ජනපති අනුර කුමාර මහතා ද, මීගමුව බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ වගකීම ගත යුතු බව ඉතිහාස ගත වන බව සඳහන් කර තිබුණා.

තව ත් සටහනකින් දක්වා තිබුණේ, 2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් සහ නිලධාරීන් අතර දරුණු ගැටුමක් හටගෙන රැඳවියන් කිහිපදෙනෙකු මියගිය අවස්ථාවේදී, එවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් “බන්ධනාගාරගතව ඉන්න සියලු රැඳවියන් ඉන්නේ රාජ්‍යයේ භාරයේ. ඒ නිසා මේ රැඳවියන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව සහ එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.” යන ප්‍රකාශය උපුටා දැක්වීමයි.

එමෙන් ම ඔහු විසින් මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් ද, මෙලෙස පළ කර තිබුණා. රජයේ භාරයේ සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට රාජ්‍යය අපොහොසත් වීම සම්බන්ධයෙන් කඩිනම් ස්වාධීන විමර්ශනයක් මෙහිදී ඉල්ලා තිබූ අතර ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස සිරකරුවන් මර්ධනය කිරීමක් කළ යුතු බවට අදහස් දක්වා නොතිබුණි.
ඒ අනුව, මෙයද සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ ප්‍රකාශයකි. මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා බන්ධනාගාර රැඳවියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පෙනී සිටින, මෙන්ම වැලිකඩ බන්ධනාගාර ගැටුම පිළිබඳව “12 11 10 වැලිකඩ” නමින් ග්‍රන්ථයක් පවා රචනා කළ අයෙකි. ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් කිසිදු තැනක සිදුකර නොමැති අතර, බන්ධනාගාර නොසන්සුන්තාවය හමුවේ ඔහුගේ ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් මෙම ව්‍යාජ සටහන නිර්මාණය කර ඇති බවට පෙන්වා දිය හැක.
එමෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය වැලිකඩ සමූහ ඝාතනයට වසර 13ක් පිරීම හා ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් සැමරුමක් පසුගිය නොවැම්බර් 11 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වූ අතර එම අවස්ථාවේදී මාධ්‍යවේදී කසුන් පුස්සෙවළ විසින් සිදු කළ කතාව අතර තුර ලබා ගත් ඡායාරූපයක් වේ.
එමෙන් ම කසුන් පුස්සෙවළ මහතා ද අප කළ විමසීමේදී සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක සිදු නොකළ ප්‍රකාශ දක්වමින් තමන්ට මඩ ගසමින් ව්‍යාජ සටහන් පළ කර ඇති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


