සිමෙන්ති කොට්ට අඩු මිලට විකුණන කතාවේ ඇත්ත නැත්ත!

Misleading Social

ලංකාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ, බඩු මිල ඉහළ යෑම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල භාණ්ඩ හිඟකම සුලභව දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය සමයේ ඉහළ දැමූ සිමෙන්ති කොට්ටයක මිල, නැවත අඩු මුදලකට විකිණීම සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ, මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට Fact Crescendo අප කළ සොයා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“සංස්ථා සිමෙන්ති කොට්ට 10000ක් ඇත ඉක්මනින් විකිණීමට  එකක් rs 1600/=070 168 7398” යනුවෙන් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook 

තවත් සටහනක සඳහන් වී තිබුණේ “සිමෙන්ති කොට්ට 1000ක් ඇත, එකක් 790/= ඉක්මනින් විකිණීමට. ☎ 0703800014” යනුවෙනි. 

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම තේමාව යටතේ පළ වූ සටහන් සංසරණය වී තිබූ අයුරු.

සිමෙන්ති කොට්ටයක මිල ගණන් වැඩි වීමත් සමඟ, පරණ මිලට අයත් සිමෙන්ති තොග ගොඩ ගසා ගැනීම තුළින්, සිමෙන්ති විකුණා ගත නොහැකිව, මෙලෙස අඩු මුදලකට විකුණන බවට බොහෝ පිරිසක් උපකල්පනය කළ බවට එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යනවා.

එසේම මෙම සටහන් සඳහා ප්‍රතිචාර ලබා දෙමින් තවත් පිරිසක් පවසා තිබුනේ හුවමාරු වන සටහන් දැක්වෙන මිල ගණන් අතිශයෝක්තියක් වුවත් , නිෂ්පාදිත දිනයේ සිට මාස කිහිපයකට වඩා සිමෙන්ති කල් තබා ගැන නොහැකි බැවින්, අසාමාන්‍ය මිල ගණන් පහත හෙළීමට, මේ ආකාරයෙන් සිමෙන්ති ගැනීම වර්ජනය කිරීම සියලු දෙනාම සිදුකළ යුත්තක් බවයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය අප්‍රේල් මස කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දැමුවා. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වල පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එම තත්ත්වය යටතේ ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි සිමෙන්ති කොට්ටයක විකුණුම් මිල රු.1000 ටත් වඩා අඩු අගයකින් අලෙවි කරන බවට දක්වා තිබූ සටහන් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා.

මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබූ අඩු මිලකට ලබා ගත හැකියැයි සඳහන් කර තිබූ දුරකතන අංක වලට අප ඇමතුම් ලබා ගනු ලැබුවා.

එම සටහන් වල දක්වා තිබූ බොහෝමයක් අංක, මේ මොහොත වන විට ක්‍රියාත්මක තත්ත්වයෙන් නොතිබුණු අතර ඇතැම් දුරකථන අංක ලෙස ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන්ගේ ජංගම දුරකතන අංක යොදා ගෙන තිබුණා.

මීට පෙර අවස්ථා කිහිපයක දී ද මෙලෙස ජවිපෙ නායකයින්ගේ දුරකථන අංක යොදා ගනිමින් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී තිබුණා. මේ පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ෂණකිහිපයක් මෙතනින් සහ මෙතනින්.

තවද ඉහත සටහන් වල සිමෙන්ති කොට්ට තොග ඇති බවට පළ කර තිබූ ඡායාරූප පිළිබඳව ද, අප නිරීක්ෂණය කරනු ලැබුවා එම ඡායාරූප සිමෙන්ති ගබඩා වල පැරණි ඡායාරූප බවට අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින්, සහ මෙලෙසින්.

අප මේ සම්බන්ධයෙන් විමසීමට සංස්ථා, Tokyo සිමෙන්ති කොට්ට විකුණනු ලබන හාඩ්වෙයාර් කිහිපයකින්ද වෙනත් සිමෙන්ති කොට්ට විකුණනු ලබන හාඩ්වෙයාර් කිහිපයකින්ද, සිමෙන්ති කොට්ට මිල ගණන් විමසා බැලූවා. ඔවුන් සඳහන් කළේ, රු. 2750 – රු. 2850 අතර මිල ගණන් යටතේ සිමෙන්ති කොට්ටයක් අලෙවි කරන බවත්, ඊට අඩු මිලකට සිමෙන්ති කොට්ට අලෙවි නොකරන බවයි.

කෙසේ වෙතත් මෙම සටහන් සඳහා පාදක වී ඇත්තේ, සිමෙන්ති වල සීඝ්‍ර මිල ඉහළයාම හේතුවෙන් ඉදිකෙරෙමින් පැවති නිවාස සහ ගොඩනැගිලි බොහොමයක වැඩ තාවකාලිකව අත්හිටුවීම නිසා, වෙළඳසැල් රැසක සිමෙන්ති තොග කල් ඉකුත්වීමට ආසන්නව ඇති බවට මැයි 03 වැනිදා “දිවයින” පුවත්පතේ පළවූ ලිපියක් සමඟ බව අනුමාන කළ හැක. එම ලිපිය පහතින්.

සිමෙන්ති මිල වැඩි වීමත් සමග එහි බලපෑමට ලක් වූ ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් “අර්බුද හමුවේ බිඳවැටෙන ඉදිකිරීම් ක්‍ෂේත්‍රය” තේමාවෙන් පැවති සාකච්ඡාවක දී අදහසක් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ද  සඳහන් කරන්නේ, සිමෙන්ති මාෆියාක් පවතින බවත්, මිල ඉහළ යාමත් සමග සිමෙන්ති පරිභෝජනය අඩු වී ඇති බැවින් ඉදිකිරීම් කටයුතු ද අඩාල වී ඇති හෙයින් සිමෙන්ති වෙළඳාමක් සිදු නොවන්නේ නම් වෙළඳපළට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා දිය යුතු බවයි. ඒ පිළිබඳව වීඩියෝව මෙතනින්.

ඒ අනුව පැහැදිලි වන්නේ, හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් බොහොමයක්, උපහාසාත්මක කෝණයෙන්, ඇතැම් පිරිස් අපහසුතාවයට පත් කිරීම සඳහා ඔවුන්ගේ දුරකතන අංක යොදා ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සිමෙන්ති කොට්ටයක මිල පවතින මිල ගණන් වලට අඩුවෙන් විකුණන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් ඡායාරූප සටහන් නොමග යවන සුළු බවයි. එලෙස දක්වා තිබූ දුරකතන අංක බොහොමයක් මේ වන විට භාවිතයේ නොමැති අතර ඇතැම් දේශපානඥයින්ගේ අංක ද යොදා හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් ඔවුන් මෙන්ම ජනතාව නොමග යැවීම සඳහා නිර්මාණය කළ ව්‍යාජ සටහන් වේ.

සිමෙන්ති ගබඩා ඇති බවට දැක්වීමට උපයෝගී කර ගෙන තිබුණේ ද සිමෙන්ති ගබඩා වල පැරණි ඡායාරූප වේ. එමෙන්ම හාඩ්වෙයාර් අයිතිකරුවන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේද, සිමෙන්ති කොට්ට අලෙවි කරනු ලබන්නේ වැඩි කළ මිල යටතේ බවයි.

Avatar

Title:සිමෙන්ති කොට්ට අඩු මිලට විකුණන කතාවේ ඇත්ත !

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply