දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පිළිකා සඳහා ප්‍රතිකාරකයක් ලෙස මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සහ අමු මඤ්ඤොක්කා දියරයක් ලෙස පානය කිරීම සුදුසු බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි විද්‍යාත්මක පසුබිම සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සමාජ මාධ්‍ය සටහනකින් උපුටා ගැනීමක් ලෙස දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙබ් පිටුවලද අදාළ සටහන මීට කලකට පෙර පළ කර තිබුණේ මෙලෙසින්.
“මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු විසින් තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබූ පිළිකා රෝගී තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප්‍රතිචාරයක් ලෙසටය.
මඤඤොක්කා අල ප්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක් පිළිබඳවයි මේ.
පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ මහතා විසින් බොහොම කාලකට ඉහතදී මඤ්ඤොක්කා අල ප්‍රතිකාරයෙන් උග්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙනවා.
මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප්‍රතිකාර ක්‍රම පහත දක්වේ.
අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් සොයා ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරගන්න.
දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් පිරිසිදු ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වන ආකාරය දැකගත හැකිය.
ඉහළින් තිබෙන ජලය වැනි අවර්ණ දියර කොටස ප්‍රවේශමෙන් වෙනත් භාජනයකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න.
(මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසයක් ගනී) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතු බවට මතක තබා ගන්න.
මෙසේ ක්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (ඔබ මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත්‍රාවයි)
පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න වග බලාගන්න.
අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 8 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 7 හමාරක් විය යුතුය.)
මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත්‍රාව ඉක්මවා නොයැමයි.එය නිසි ආකාරයෙන් සිදු කරන්න.
මෙම ද්‍රවණයේ රසය, ප්‍රසන්න කර ගැනීම වෙනුවට දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.එවිට ඔබට අප්පිරියාවක් නොදැනෙනු ඇත.
මෙම ප්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි කර තිබෙනවා.
වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර තිබෙනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබිණා.
ළමුන් සඳහා භාවිත කිරීමේදී ප්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීම වනවා.
මෙම ප්‍රතිකාර ක්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද සුදුසු විමයි.
පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව මෙන්න.
මඤ්ඤොක්කා අල සහ ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන හේතුව නිසා සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසෙනවා.
පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක් මෙන්න.
මඤ්ඤොක්කා අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය දෙළුම් කරවිල ඇට සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කර තිබෙනවා”
එසේම සමාජ මාධ්‍ය ඔස්සේ ද කලක පටන් මෙම සටහන සංසරණය වී තිබේ.


මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් හෝ අමු මඤ්ඤොක්කා යුෂ පානය කිරීමෙන් පිළිකා සුව වන බවට හෝ පිළිකාවලට එරෙහිව ධනාත්මක බලපෑමක් ඇති කරන බව වෛද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළ අතර එහිදී පැහැදිලි වූයේ, ලෝකයේ පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකින් හෝ සායනික පරීක්ෂණයකින් එවැන්නක් සනාථ කර නොමැති බවයි.
විටමින් B17
මඤ්ඤොක්කා මගින් පිළිකා සුව වන බවට හුවමාරු වන සටහන් හි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ මඤ්ඤොක්කා තුළ “විටමින් B17” අඩංගු බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය (FDA), ඇමරිකානු පිළිකා සංගමය (ACS) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු ප්‍රමුඛ විද්‍යාත්මක ආයතන රැසක් විසින් කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ B17 හෝ Amygdalin මගින් පිළිකා සුව නොවන බවත්, එමගින් බරපතල ලෙස සයිනයිඩ් විෂ විය හැකි බවත්ය. අමු මඤ්ඤොක්කා වල ලිමාරින් (Linamarin) නැමැති සයිනොජෙනික් ග්ලයිකොසයිඩ් (Cyanogenic glycosides) අඩංගු වේ. අමු මඤ්ඤොක්කා බ්ලෙන්ඩර් කර කෙලින්ම පානය කිරීමෙන් ශරීරය තුළ සයිනයිඩ් නැමැති විෂ රසායනිකය නිපදවෙයි. ලිපියේ සඳහන් වන පරිදි “කරකැවිල්ල ඇතිවීම ඖෂධයේ මාත්‍රාවේ සීමාවයි” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු වන අතර කරකැවිල්ල ඇතිවන්නේ සයිනයිඩ් විෂ වීම ආරම්භ වන මුල් ලක්ෂණයක් ලෙසය. මෙය නොසලකා හැරීමෙන් අක්මාවට හානි සිදුවීම, ස්නායු ආබාධ හෝ ජීවිත හානි පවා සිදුවිය හැකිය. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එසේම, විටමින් B17 එනම් ලේට්‍රයිල් (Laetrile) / ඇමිග්ඩලින් (Amygdalin) යන සංයෝගය පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත්, එය පාලනයකින් තොරව භාවිතය අනිසි ප්‍රතිඵල ලබා දිය හැකි බවත්, ScienceInsights මගින්ද වාර්තා කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු Cancer Research UK — Laetrile (amygdalin / B17) Memorial Sloan Kettering — Amygdalin
ඇමරිකානු සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින විෂ ද්‍රව්‍ය හා රෝග ලියාපදිංචි කිරීමේ ඒජන්සිය (ATSDR) මගින්ද පෙන්වා දෙන පරිදි, මඤ්ඤොක්කා අල වැනි ඇතැම් ශාක ආහාරවල සයිනයිඩ් ස්වභාවිකවම අඩංගු වන බවත්, අධික සාන්ද්‍රණයකින් සයිනයිඩ් ශරීරගත වීම මාරාන්තික විය හැකි අතර, දීර්ඝකාලීනව මඤ්ඤොක්කා වැනි ආහාර ප්‍රධාන ආහාරය ලෙස ලබාගන්නා පුද්ගලයන්ගේ ස්නායු පද්ධතියට හානි සිදුවීම (ඇවිදීමේ අපහසුව, පෙනීම දුර්වල වීම) සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි බවත්, ගර්භණී මව්වරුන් හරහා දරුවන්ටද මෙහි අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් අවධාරණය කරයි. වැඩිදුර තොරතුරු මෙතනින්.
මහාචාර්ය මැනුවෙල් නවාරෝ සහ වෛද්‍ය සින්තියා ජයසූරිය
මහාචාර්ය මැනුවෙල් ඩී. නවාරෝ (Manuel D. Navarro) යනු 1950 – 1970 කාලවකවානුවල පිළිකා පිළිබඳ පර්යේෂණ කළ වෛද්‍යවරයෙකි. ඔහු “Laetrile” (විටමින් B17 ලෙස ප්‍රචලිත සංයෝගය) පිළිකා ප්‍රතිකාරයක් ලෙස යොදාගැනීමට උත්සාහ කළ අයෙකු මිස, ඔහු අමු මඤ්ඤොක්කා යුෂ බ්ලෙන්ඩර් කර පානය කිරීම යන ලිපියේ සඳහන් වට්ටෝරුව විද්‍යාත්මක හෝ සායනික පරීක්ෂණ වාර්තාවක් මගින් තහවුරු කර නොමැත. මහාචාර්ය මැනුවෙල් නවාරෝ විසින් මඤ්ඤොක්කා මගින් පිළිකා රෝගීන් 500ක් සුව කළ බව සමාජ මාධ්‍ය සටහන තුළ සඳහන් කර තිබුණද ඒ බවට විද්‍යාත්මක හෝ සායනික පරීක්ෂණ වාර්තා කිසිවක්ද සොයා ගැනීමට නොමැත. වැඩිදුර තොරතුරු මෙතනින්.
එසේම වෛද්‍ය සින්තියා ජයසූරිය පිළිකා රෝගය සඳහා මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් යම් සුවයක් ලද බවට අදාළ සටහනෙහි අන්තර්ගත වන අතර, සින්තියා ජයසූරිය පිළිකා පිළිබඳ වෛද්‍යවරියක් නොවේ. ඇය ලංකාවේ උගුර, කන, නාසය සම්බන්ධ හිටපු වෛද්‍යවරියක් වන අතර, තමන්ට වැළඳී තිබූ පිළිකා තත්ත්වයක් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් සුව වූ බවට පෞද්ගලික ලිපි හා ප්‍රකාශ හරහා මත පළ කළ අයෙකි. ඒ බව සඳහන් කරමින් වෛද්‍ය සින්තියා ජයසූරිය පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පළ කරන ලද ලිපියක්ද අප වෙත හමු වූවා. එම ලිපිය මෙතනින්. කෙසේ වුවද අදාළ ලිපිය තුළද සඳහන් කර ඇත්තේ, මෙය ඇය විසින් සිදු කරන ලද වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීමක් ලෙස නොව ඇයගේ පුද්ගලික අත්දැකීමක් ලෙසය.
වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මිය මේ වන විට ජීවතුන් අතර නොසිටින බැවින් මේ සම්බන්ධයෙන් ඇයගේ අත්දැකීම කෙබඳුද යන්න විමසීමේ හැකියාවක් නොමැත.
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නයෝමාල් පෙරේරා
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නයෝමාල් පෙරේරා විසින් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පිළිකා නැසිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් වීඩියෝවක් නිකුත් කර තිබේ. එම වීඩියෝව තුළ වෛද්‍යවරයා විසින් මඤ්ඤොක්කා තුළ කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වැනි ඛනිජ ලවණ මෙන්ම විටමින් C, විටමින් B1 (Thiamine), විටමින් B2 (Riboflavin) සහ විටමින් B3 (Niacin) වැනි පෝෂක අඩංගු බව පවසයි. මඤ්ඤොක්කා වල අඩංගු විටමින් B17 (Vitamin B17), එනම් ඇමිග්ඩලින් (Amygdalin) හෝ ලැට්රයිල් (Laetrile) ලෙස හඳුන්වන සංයෝගය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි, පිළිකා සෛල තුළ ඇති එන්සයිමයක් මගින් මෙම සයනයිඩ් නිදහස් කර පිළිකා සෛල විනාශ කිරීමට උත්සාහ කරන නමුත්, නිරෝගී සෛල සතුව මෙම සයනයිඩ් විෂහරණය කිරීමට අවශ්‍ය එන්සයිම පවතින බව කියැවේ.
කෙසේ නමුත්, ඇතැම් රෝගීන් රසායනික චිකිත්සාව වැනි විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට හෝ ඊට අමතරව මෙය භාවිතා කිරීමට උත්සාහ කරන බව ඔහු සඳහන් කරයි. වෛද්‍යවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කරන්නේ, මඤ්ඤොක්කා මගින් පිළිකා සුව කළ හැකි බවට ප්‍රබල මතයක් පැවතියද, ඒ පිළිබඳව ප්‍රමාණවත් සායනික පරීක්ෂණ හෝ විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි. එබැවින්, පවතින වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම අතහැර දමා මෙවැනි දේ මත පමණක් විශ්වාසය තැබීම අවදානම් සහගත බවත්, ඕනෑම තීරණයක් ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය
අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි විශේඥ වෛද්‍යවරුන් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව විමසීමක් සිදු කළා. එහිදී වෛද්‍ය මතය වූයේ, මඤ්ඤොක්කා මගින් පිළිකා රෝගය සුව කළ හැකි බවට මෙතෙක් කිසිදු වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශයක් ඉදිරිපත් වී නොමැති බවයි. වෛද්‍ය විද්‍යාවට අලුත් යමක් ඖෂධයක් ලෙස එක් වන්නේ විධිමත් පර්යේෂණ ගණනාවක් සිදු කර, ඒවායේ ප්‍රතිඵල අධ්‍යයනය කර තහවුරු කිරීමෙන් පසුව බවත්, මඤ්ඤොක්කා සම්බන්ධයෙන් එවැනි විධිමත් තහවුරු කිරීමක් සිදු කර නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. මෙය දියවැඩියා රෝගීන් කරවිල ආහාරයට ගැනීම වැනි, යම් ගුණයක් සහිත ආහාරයක් ලෙස සැලකිය හැකි වුවත් එය පිළිකා සුව කරන ඖෂධයක් නොවන බව වෛද්‍යවරුන් වැඩිදුරටත් අවධාරණය කළා. කෙසේ නමුත් අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ හුවමාරු වන බවත්, වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීමක් ද එහි අන්තර්ගත වන බවත් වෛද්‍යවරුන් විසින් සඳහන් කළා. නමුත් එය පෞද්ගලික අත්දැකීමක් වන අතර, ඇය පිළිකා සම්බන්ධ වෛද්‍යවරියක් නොව උගුර, කණ සහ නාසය ආශ්‍රිත වෛද්‍යවරියක් බවද සඳහන් කළා.
නයිජීරියාව තුළද පිළිකා ප්‍රතිකාරකයක් ලෙස මඤ්ඤොක්කා සම්බන්ධයෙන් පැතිර ගිය මීට සමාන ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනය කරමින් Africa Check කරුණු පරීක්ෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පිළිකා විශේෂඥ මහාචාර්ය Adeniyi Adenipekun ගෙන් මේ සම්බන්ධ විමසීමක් සිදු කර ඇත. එහිදී තහවුරු වී ඇත්තේ ද මඤ්ඤොක්කා මගින් පිළිකා සුව කිරීම හෝ පිළිකා සෛල විනාශ කිරීම නොකරන බවයි. වෛද්‍යවරයා විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මඤ්ඤොක්කා යනු කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක් වන අතර, එය ආහාරයට ගැනීමෙන් පසු සීනි බවට පත් වේ. සීනි යනු පිළිකා සෛල සඳහා ඉන්ධනයකි යනුවෙනි. සියලුම සෛල ග්ලූකෝස් භාවිතා කරයි; සීනි ආහාරයට ගැනීමෙන් පිළිකා විශේෂයෙන් වේගවත් නොවේ. සැබෑ අවදානම තරබාරුකම/ඉන්සියුලින් හා සම්බන්ධයි. එම කරුණු පරීක්ෂණ වාර්තාව මෙතනින්.
ඒ අනුව පැහැදිලි වන්නේ, පිළිකා වලින් සුවය ලැබීම සඳහා මඤ්ඤොක්කා ආහාරයට ගැනීම හෝ මඤ්ඤොක්කා පානය කිරීම යන මෙම ප්‍රතිකාරය පිළිබඳව කිසිදු පිළිගත් වෛද්‍ය අධ්‍යයනයකින් තහවුරු වී නොමැති බවයි. මඤ්ඤොක්කා තුළ අන්තර්ගත සයනයිඩ් ඉහළ ප්‍රමාණයකින් ශරීර ගත වීම විෂ වීමටකට තුඩුදිය හැකිය. විශේෂයෙන් මෙම සමාජ මාධ්‍ය සටහන තුළ අන්තර්ගත කරකැවිල්ල දැනෙන තෙක් මාත්‍රාව වැඩි කිරීම යන උපදෙස නොමග යවන සුළු වේ. පිළිකා රෝගයකදී ඵලදායී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම විශේෂඥ මතයයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව පැහැදිලි වන්නේ, පිළිකා වලින් සුවය ලැබීම සඳහා මඤ්ඤොක්කා ආහාරයට ගැනීම හෝ පානය කිරීම යන ප්‍රතිකාරය පිළිබඳව කිසිදු පිළිගත් වෛද්‍ය අධ්‍යයනයකින් තහවුරු වී නොමැති බවයි. මඤ්ඤොක්කා තුළ අන්තර්ගත සයනයිඩ් ඉහළ ප්‍රමාණයකින් ශරීරගත වීම විෂ වීමකට තුඩුදිය හැකිය. විශේෂයෙන් මෙම සමාජ මාධ්‍ය සටහන තුළ අන්තර්ගත “කරකැවිල්ල දැනෙන තෙක් මාත්‍රාව වැඩි කරන්න” යන උපදෙස ඉතා නොමග යවන සුළු හා අනතුරුදායක වේ. පිළිකා රෝගයකදී ඵලදායී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම විශේෂඥ මතයයි.


