අධිබලැති යතුරු පැදි තබා ගැනීමේ නඩුවෙන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේ පිහිටි කුරුළු උද්‍යානයේ හිමිකරු නීති විරෝධී ලෙස ආනයනය කළ අධිබලැති යතුරුපැදි සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් තවත් සැකකරුවන් පිරිසක් සමඟ 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබූ අතර, පසුගියදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, චෝදනා ලැබ සිටි කුරුළු උද්‍යාන හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවට පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමත් සමග මේ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති වී තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණ පරීක්ෂාවව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අධිබලැති අතුරුපැදි තබා ගැනීමේ නඩුවෙන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු නිදොස්කොට නිදහස්” යනුවෙන් දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

Facebook |Archived Link

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වෙබ් අඩවිද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

එසේම අදාල සිදුවීම සම්බන්ධයෙන් කුරුලු උයනේ හිමිකරු නිදොස් කොට නිදහස් යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද එම පුවත හුවමාරු කරගෙන තිබුණා.

Facebook Facebook Facebook 

සැබෑ ලෙසම අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවෙන් අදාළ පුද්ගලයන් නිදොස් කොට නිදහස් කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් සොයා බැලීමක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

හම්බන්තොට, නගරවැව පිහිටි කුරුළු උද්‍යානයේ නීති විරෝධී අධිබලැති යතුරුපැදි තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2025 ජූලි 12 දින වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් උද්‍යාන පරිශ්‍රයේ වැටලීමක් සිදු කරන ලදී. එහිදී කුරුළු කෑම ගබඩා කරන ස්ථානයක සඟවා තිබූ, ලංකාවට ආනයනය කිරීම තහනම් හාලි ඩේවිඩ්සන් ඇතුළු රුපියල් මිලියන 250කට වඩා වටිනා අධිබලැති සහ සුඛෝපභෝගී යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනුණි. ඒ සමඟම නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 4ක් ද සොයාගෙන සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු වැඩිදුර විමර්ශනවලින් පසු 2025 ජූලි 17 උද්‍යානයේ හිමිකරු වන අජිත් ගාල්ලගේ මහතා නාරාහේන්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදීම රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඇප මත මුදා හැරිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී 2026 මැයි 06 නඩුව කැඳවූ අවස්ථාවේදී, චෝදනා ලැබ සිටි කුරුළු උද්‍යාන හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රැසක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළේය. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන නොයන බව දැනුම් දීම ඊට හේතුව ලෙස දක්වා තිබුණි.

ශ්‍රී ලංකා පොලීසිය

හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ පවත්වාගෙන යන කුරුළු උයනක හිමිකරුවකු විසින් නීති විරෝධීව මෙරටට අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ගෙන්වීම සම්බන්ධයෙන් හම්බන්තොට අධිකරණයේ පවත්වාගෙන ගිය නඩුකරයෙන් අදාල කුරුළු උයනේ හිමිකරු නිදොස්කොට නිදහස් කල බව 2026.05.06 වන දින මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ බවත්, මෙම නඩුකරයට අදාලව විමර්ශන සිදුකරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුව මාධ්‍ය මඟින් විකාශය වූ එම පුවත අසත්‍ය වන බවත් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනය කර තිබුණා. නීති විරෝධී ලෙස අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි ගෙන්වීම සම්බන්ධයෙන් සහ ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ කුරුළු උයනක හිමිකරුට හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවත්, මෙම නඩුකරය 2026.05.06 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඉහත විත්තිකරුවන්ට නීති විරෝධී ලෙස මෙරටට යතුරුපැදි ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව නඩු පවරා ඉදිරි නඩු කටයුතු පවත්වාගෙන යාමටත් ගංජා ලග තබා ගැනීම සම්බන්ධයෙන් වෙනම නඩුකරයකින් නඩු කටයුතු පවත්වාගෙන යාමටත් අවසර ලබාදෙන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයෙන් ඉල්ලා ඇති බවත්, එලෙස මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ ආකාරයෙන් සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් හෝ නිදහස් කිරීමක් මෙහිදී සිදු නොවී ඇති අතර අධිකරණය විසින් මුල් බී වාර්තාව අවසන් කර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයෙන් ඉල්ලූ ආකාරයෙන් වෙන වෙනම නඩුකරයක් පවත්වාගෙන යාමට අදාල නියෝග නිකුත් කර ඇති බවත් ශ්‍රී ලංකා පොලීසිය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. එම නිවේදනය මෙතනින්.

අදාළ නඩුවේ නඩු වාර්තාව

අප විසින් මේ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි කරගැනීම සඳහා අදාළ නඩුව සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 2026.05.06 වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාව පරීක්ෂාවට ලක් කළා.  අදාළ  වාර්තාව ඔස්සේ බලපත්‍ර නොමැතිව විදෙස් රටවල සිට නීත්‍යානුකූල නොවන ආකාරයට යතුරුපැදි මෙරටට ගෙන්වා තබා ගැනීම සම්බන්ධයෙන් රේගු ආඥා පනත යටතේ ක්‍රියා කර, විමර්ශන සිදුකර සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රේගුව ක්‍රියා කරන බව අධිකරණයට වාර්තාකර ඇති අතර, ඒ හේතුවෙන් මෙම පවතින නඩුවේ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිල්ල (මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්‍යාංශය) මගින් නීතිමය කටයුතු කිරීමට අදහස් නොකරන බැවින් මෙම පවතින නඩුව අවසන් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 

එසේම හම්බන්තොට නාගර වැව ලිපිනයේ පිහිටි කුරුළු උද්‍යානයේ තිබී සොයාගෙන ඇති ගංජා ගස් 05 ක් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රත් අධිකරණයේ නඩු අංක 8371/25 යටතේ පැමිණිල්ලක් ගොනුකරමින් වෙනත් නඩුවක් පවත්වාගෙන යන බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණයට වාර්තාකර තිබෙනවා. එම නඩුවේ වැඩිදුර වාර්තාව පහතින්.

පොලිස් මාධ්‍ය අංශය

අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමේදී ඔවුන් විසින් සඳහන් කර සිටියේ, නීති විරෝධී ලෙස අධි බලැති යතුරුපැදි ආනයනය කිරීම සම්බන්ධයෙන් සහ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එකම නඩුකරයකින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒ අනුව පැවති මුල් නඩුකරය ඉවත් කර ගැනීමට මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්‍යාංශය විසින් කටයුතු කර ඇති බවත්, ඒ අනුව අදාළ මුල් නඩුකරය ඉවත් කර ඇති බව සත්‍යයක් බවත් නමුත් එම චෝදනා වලින් අදාළ පුද්ගලයන් නිදොස් කොට නිදහස් කිරීමක් එහිදී සිදු වී නොමැති බවත්, අධිබලැති යතුරුපැදී නීති විරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රේගු ආඥා පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙනම නඩුකරයකින් නඩු කටයුතු පවත්වාගෙන යාමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය අංශය විසින් වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

අප විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා මෙදින අධිකරණ වාර්තාකරණයන් සිදු කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් කියා සිටියේ, අදාල පුද්ගලයන්ට එරෙහිව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුකරය එය පවරා තිබූ ආකාරයෙන් තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට නොහැකි බැවින් යතුරුපැදි නීති විරෝධී ලෙස ආනයනය කිරීමේ සිදුවීමට අදාළව ශ්‍රී ලංකා රේගුව විසින් රේගු ආඥා පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, ගංජා ළඟ තබා ගැනීමේ සිදුවීමට අදාළව වෙනම නඩු පැවරීමටත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවත් ය.අදාළ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අදාළ නඩුව පවත්වාගෙන යාමට නොහැකි නිසා මහේස්ත්‍රාත්වරයා එම නඩුවෙන් මෙම පුද්ගලයන් නිදහස් කළ බවත්, නඩුව ඉවත් කළ බවත් ප්‍රකාශ කළ බවත්, ඒ අනුව මාධ්‍ය මෙම පුවත එම ආකාරයෙන් වාර්තා කර ඇති බවත්, යතුරුපැදි නීති විරෝධී ලෙස ආනයනය කිරීමේ සිදුවීමට අදාළව ශ්‍රී ලංකා රේගුව විසින් රේගු ආඥා පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, ගංජා ළඟ තබා ගැනීමේ සිදුවීමට අදාළව වෙනම නඩු පැවරීමටත් කටයුතු කර ඇති බව වාර්තා වූයේ පසුව බවත් ඔවුන් විසින් සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා රේගුව

අධි බලැති යතුරුපැදි නීති විරෝධී ලෙස ආනයනය කිරීමේ සිද්ධියට අදාලව මින් ඉදිරියට ශ්‍රී ලංකා රේගුව විසින් විමර්ශන සිදු කරන බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය වෙත දන්වා තිබීම හේතුවෙන් මීට අදාළව සිදුවන ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා රේගුවෙන් විමසීමක් කලා. එහිදී ශ්‍රී ලංකාවේ රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සඳහන් කර සිටියේ, මෙම සිදුවීමට අදාල නඩු භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව වෙත ලැබී ඇති බවත්, ඒ අනුව එම ආනයනික යතුරුපැදි මේ වන විට ශ්‍රී ලංකා රේගුව භාරයේ පවතින බවත්, ඊට අදාළ රේගු පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් ය. රේගු ආඥා පනත යටතේ නීති විරෝධී ආනයන සම්බන්ධයෙන් උසාවියක් තුළ නඩු ඇසීමක් සිදු නොවන බවත්, එම පරීක්ෂණය රේගුව විසින් සිදු කර තීන්දුවක් ලබා දෙන බවත් ඒ අනුව අදාළ පාර්ශවයට එම භාණ්ඩ නීති විරෝධී ලෙස ගෙන්වන ලද භාණ්ඩ නොවන බවට සනාථ කිරීමට නොහැකි වුව හොත් එම භාණ්ඩ රාජ සන්තක වන බවත්, මුදා හැරිය හැකි භාණ්ඩ තිබේ නම් දඩයකට යටත්ව මුදා හැරිය හැකි බවත්, එවැනි දඩයක් පනවා එය ගෙවීම පැහැර හැරීම වැනි තත්වයකදී එවිට උසාවියේ නඩුවක් ගොනු කිරීමට සිදු විය හැකි බවත්, එසේ නොමැතිව රේගුව විසින් නැවත උසාවියේ නඩු පැවරීමක් සිදු නොකරන බවත් ඔහු සඳහන් කළා. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නීති විරෝධී ලෙස අධිබලැති යතුරුපැදි ආනයනය කර ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන නඩුකරය අවසන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බවත්,ඒ අනුව එම නඩුකරය අවසන් කිරීමට අධිකරණය විසින් නියෝග නිකුත් කර ඇති බවත් ය. ශ්‍රී ලංකා රේගුව විසින් යතුරුපැදී නීති විරෝධී ලෙස ආනයනය කිරීමේ සිද්ධියට අදාලව රේගු ආඥා පනත යටතේ රේගු පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර, එහිදී අදාළ නඩු භාණ්ඩ රාජ සන්තක වීම හෝ මුදා හැරීම සිදුවිය හැකිය. අදාළ පුද්ගලයන් දඩයකට යටත් කර එම දඩය ගෙවීම පැහැර හැරීම වැනි තත්ත්වයක දී උසාවියේ නඩුවක් ගොනු කිරීමට සිදුවිය හැකි නමුත්, එසේ නොමැතිව රේගුව විසින් නැවත උසාවියේ නඩු පැවරීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා රේගුව විසින් තහවුරු කළා. ගංජා ළඟ තබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් වෙනම නඩුකරයක්  ඔස්සේ කටයුතු කිරීමට නියමිතයි.

Result Stamp

Title: අධිබලැති යතුරු පැදි තබා ගැනීමේ නඩුවෙන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ද ?

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *