අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ සිටින කාන්තාව ඇයගේ පෞද්ගලික සූපවේදිනියක්ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පසුගිය දා පිටත්ව ගියා. මෙලෙසින් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය අසල ගමන් කරමින් සිටි තරුණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇති වූ අතර ඒ ඔස්සේ අසත්‍ය මෙන්ම වෛරීය ප්‍රකාශ ද ඇතුළත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු විය. 

මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාව මෙන් ම අග්‍රාමාත්‍යවරිය අසලින් ගමන් ගත් තරුණිය කවුරුන්ද යන්න සොයා බලමින් අප සිදු කළ කරුණු පරික්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අග්‍රාමාත්‍යතුමිය සමඟ විදේශ සංචාරයට ගියේ ඇයගේ පෞද්ගලික සූපවේදිනියක් බවටත්, ඒ ඔස්සේ ම විවිධාකාරයේ කෝණවලින් ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. තවද මෙලෙස ගමන් ගත්තේ සුපවේදිනියක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කළ බවත්, එම පුවත Newswire ෆේස්බුක් පිටුවේ, පළ කළ පුවතක් ලෙසටත් සටහන් ද පළකර තිබුණා.

Facebook | Archived Link  FB |FB |FB

එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් අග්‍රාමාත්‍යවරිය තමන්ගේ පුතා සමඟ විදේශගත වූ බවත්, ඒ පිළිබඳව විවේචන එල්ල කරන පිරිස් අසහනකාරයන් බවත් පවසමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් උපහාසාත්මක හා අපහාසාත්මක සටහන් ද පළ කර තිබුණා.

Facebook | Archived Link

තවත් සටහනකින් සඳහන් කර තිබුණේ, අග්‍රාමාත්‍යවරිය සමගින් ගමන් කරන්නේ, මෙම කාන්තාව කවුදැයි පරිශීලකයින් කෘතිම බුද්ධි (AI) මෙවලම්වලින් විමසූ විට, ඇය ලංකාවේ ප්‍රසිද්ධ මලල ක්‍රීඩිකා “තරුෂි කරුණාරත්න” බවට ත්, ඒ ඔස්සේ අදහස් පළ කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් කර නැහැ

අග්‍රාමාත්‍යවරිය විසින් විදේශගත වූයේ ඇයගේ සූපවේදිනියක් බවට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශයක් කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ එවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා සිදු කරන අවස්ථාවක් හෝ අප කළ පරීක්ෂාවේදී නිරීක්ෂණය නොවීය. අප මේ පිළිබඳව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයා විසින් එලෙසින් ප්‍රකාශයක් කර නොමැති බවයි.

Newswire ෆේස්බුක් පිටුවෙන් ද, එවැනි පුවතක් පළ කර ඇති බවට දැක ගන්නට නොලැබුණි. එසේම, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත, තම ආයතනය විසින් පළ කළ පුවතක් නොවන බව ත්, එය ඔවුන්ගේ නම අවභාවිත කරමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහනක් බවට ද ඔවුන් නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් මෙසේ පළකර තිබුණි. 

Facebook

මන්ත්‍රි ලක්මාලි හේමචන්ද්‍ර

මන්ත්‍රි ලක්මාලි හේමචන්ද්‍ර විසින් ඉහත සඳහන් ලෙස අග්‍රාමාත්‍යවරියගේ පුතෙකු ලෙස ඉහත සමාජ මාධ්‍ය සටහනේ සිටින තරුණිය පිළිබඳ ප්‍රකාශයක් කර නොමැති බව අප කළ පරීක්ෂාවේදී තහවුරු විය. මේ හේතුවෙන් අප මේ පිළිබඳ මන්ත්‍රි ලක්මාලි හේමචන්ද්‍රගෙන් විමසීමක් කළ අතර ඇය තහවුරු කළේ, මෙය ව්‍යාජ ලෙස සැකසූ සමාජ මාධ්‍ය සටහනක් බවත්, තමන් විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

කෘතිම බුද්ධි (AI) ඔස්සේ තරුෂි කරුණාරත්න බවට ලබා දුන් පිළිතුර

මෙම ඡායාරූපයේ සිටින්නේ මීටර් 800 ඉසව්ව නියෝජනය කරන, ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න බවට ද ඇතැම් කෘතිම බුද්ධි මෙවලම්වලින් විමසූ විට පිළිතුරු ලබා දී තිබු බව සඳහන් කර තිබු නමුදු, මෙම ඡායාරූපයේ සිටින්නේ, තරුෂි කරුණාරත්න නොවේ. 

පහතින් දැක්වෙන පරිදි, ඡායාරූපයේ සිටින තරුණිය සහ 22 හැවිරිදි තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ ඡායාරූප සංසන්දනයකින් ද ඒ බව පැහැදිලිව පෙනී යනවා.

මෙය AI තාක්ෂණයේ පවතින නොපවතින තොරතුරු සැබෑ ලෙස පෙන්වීම(Hallucination)  නම් වැරදීමකි. මුහුණු නිවැරදිව හඳුනා ගැනීමේ සජීවී හැකියාවක් නොමැති අවස්ථාවන්හි දී, ඇතැම් විට AI මඟින් මෙවැනි වැරදි තොරතුරු විශ්වාසදායී ලෙස ගොනු කර පෙන්විය හැකි බැවින්, සත්‍ය කරුණු ගවේෂණයේ දී මුලාශ්‍ර කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමේ වැදගත්කම ද මෙයින් ඉස්මතු වෙනවා.

සැබවින්ම ඡායාරූපයේ සිටින්නේ කවුරුන්ද?

අග්‍රාමාත්‍ය මාධ්‍ය සම්බන්ධීකාරක ලේකම්වරිය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය හේතුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරිනි, පසුගිය ජූලි 14 වන දින කටාර් රාජ්‍ය බලා ගමන් කළ අවස්ථාවේ ලබාදෙන තිබු ඡායාරුපයක් යොදාගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වුණේ, අග්‍රාමාත්‍යවරිය සමඟ එම ගමනට එක්වූ, අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් බව, ලේකම්වරිය තහවුරු කළා.

ඒ අනුව, වයිරල් ඡායාරූපයේ දැක්වෙන්නේ, අග්‍රාමාත්‍යවරියගේ සූපවේදිනියක් හෝ පුතෙකු නොවන බව ත්, එවැනි ප්‍රකාශ කළ බවට ජාතික ජන බලවේගයේ සාමාජිකයන් කියූ බවට පළ වන සටහන් ද, අසත්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති  ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ (PMSD – Prime Minister’s Security Division) ප්‍රධානි ජගත් විශාන්ත මහතාගෙන් අප අග්‍රාමාත්‍යවරිය සමගින් ගමන් කළේ,  අග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂක අංශයේ නිලධාරිනයක් ද යන්න පිළිබඳ වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා විමසීමක් කළා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, එම ඡායාරූප වල සිටින්නේ, වෘත්තීය ප්‍රභූ ආරක්ෂක, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් වන U.U.M.H.A. විජේබණ්ඩාර බවයි. ඇය 2017 වසරේදී පොලිස් සේවයට බැඳී, 2020 වසරේ සිට අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ (PMSD) රාජකාරි කරන, හිටපු අගමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ද ආරක්ෂාව යටතේ ද, අනුයුක්ත කර සිටි කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් බව අප කළ වැඩිදුර තොරතුරු විමසීමේදී තහවුරු කරනු ලැබුවා. 

ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්ත කිරීමේදී නිලධාරීන් පොලිස් නිල ඇඳුමින් සැරසෙන්නේ නැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරියට මෙන් ම කාන්තා උප පොලිස් පරීක්ෂකවරියට ද, අපහාස කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ත්, නියෝජ්‍ය පොලිස්පති වරයා සඳහන් කළා.

අපගේ ඉල්ලීම පරිදි ,  ඉහත කතා බහට ලක් වුණු කාන්තා පොලිස් පරීක්ෂකවරියගේ ද අවසර ඇතිව, ඇය පොලිස් නිල ඇඳුමින් සිටි අවස්ථාවන්හි ඡායාරූප ද, අප වෙත යොමු කළ අතර, ඒවා පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  කටාර් රාජ්‍යයේ හිටපු නායකයෙකුගේ  අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා යෑමේදී අග්‍රාමාත්‍යවරිය අසලින් ගමන් ගත් තරුණිය අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික සූපවේදිනියකු, පුතෙකු හෝ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න නොවන බව ත්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක බවත් ය. ඇය 2017 වසරේදී පොලිස් සේවයට බැඳී, 2020 වසරේ සිට අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ (PMSD) රාජකාරි කරන, හිටපු අගමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ද ආරක්ෂාවට සිටි, U.U.M.H.A. විජේබණ්ඩාර නම් වූ වෘත්තීය ප්‍රභූ ආරක්ෂක, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකි.

Result Stamp

Title: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ සිටින කාන්තාව ඇයගේ පෞද්ගලික සූපවේදිනියක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *