මහර බන්ධනාගාර ගැටුමෙන් සිරකරුවන් 81ක් මියගිය බවට පළවන වාර්තා අසත්‍යයි!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මහර බන්ධනාගාර ගැටුමින් සිරකරුවන් 81 දෙනෙකු මිය ගොස් ඇති බවට සහ සිරකරුවන්ට අත් ගැටගසා වෙඩි තබා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණි. මෙහි අසත්‍ය සත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Facebook | Archived Link

මේ සම්බන්ධ තවත් සටහන් පහතින්.

ඇතැම් සටහන් තුළ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් ප්‍රකාශ කර ඇති බවද දක්වා තිබුණි.

Facebook Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මහර බන්ධනාගාරයේ 2026 අගෝස්තු 01 වන සෙනසුරාදා ආරම්භ වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියන් 81 ක් දෙනෙකු මියගොස් ඇති බවට හෝ රැඳවියන්ගේ අත් ගැට ගසා වෙඩි තබා ඇති බවට කිසිඳු ප්‍රධාන ධරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වසනීය මූලාශ්‍රයක් විසින් හෝ වාර්තා කර නොමැත. තහවුරු කරන ලද නිල මූලාශ්‍ර අනුව මහර බන්ධනාගාර ගැටුමෙන් එක් රැඳවියකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව

මහර බන්ධනාගාර ගැටුමින් සිරකරුවන් 81 දෙනෙකු මියගොස් ඇත්නම් සහ සිරකරුවන්ගේ අත් ගැටගසා වෙඩිතබා ඇත්නම් එවැන්නක්  සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැනි සංවිධාන ඔස්සේ  පෙනී සිටීම සහ හෙලිදරව් කිරීම සිදු වේ.  අප විසින් සිදු කළ සොයා බැලීමේදී පැහැදිලි වූයේ සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව විසින් හෝ මහර බන්ධනාගාරයේ සිරකරුවන් 81 දෙනෙකු මියගිය බවට හෝ සිරකරුවන්ගේ අත් ගැට ගසා වෙඩි තැබූ බවට ප්‍රකාශ කර නොමැති බවයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ ගැටුමට ප්‍රධාන හේතුව බන්ධනාගාරයේ පවතින අධික තදබදය බවයි. 991 දෙනෙකු සඳහා ඉඩ ඇති මහර බන්ධනාගාරයේ 4,447 දෙනෙකු රඳවා සිටින බව ඔහු විසින් පෙන්වා දී තිබේ. එමෙන්ම මෙම රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද සේනක පෙරේරා මහතා සඳහන් කර ඇත.

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා විසින් ප්‍රකාශ කළේ මහර බන්ධනාගාර ගැටුමින් 81 දෙනෙකු මියගොස් ඇති බවට හෝ සිරකරුවන්ගේ අත්ගැට ගසා වෙඩි තබා ඇති බවට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවයි. එවැන්නක් සිදු වී නොමැති බව ද ඔහු විසින් සඳහන් කළා.

එසේම ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්ව තිබූ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී  රාමනාදන් අර්චුනා විසින් මහර බන්ධනාගාරයේ නිරායුධ සිරකරුවන් 81 දෙනෙකු මරා දමා ඇති බවට සහ දෙමළ ඩයස්පෝරාවෙන් ඒ බව දැනුම් දී ඇති බවට ප්‍රකාශයක් සිදු කර ඇත්ද යන්න අප විසින් පරීක්ෂා කළ අතර, එහිදී පැහැදිලි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් අවස්ථාවකදී එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. එම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් දිනය 2026.07.15 එනම් මහර බන්ධනාගාර සිදුවීම සිදුවීමට සති දෙකකට පමණ ඉහත දිනයක් වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ එය මහර ගැටුම සිදුවූ අගෝස්තු 01 දිනට පසු දින එනම් අගෝස්තු 02 දින හුවමාරු වී ඇත.අදාළ සටහන හිරු News ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ හිරු News නිල සමාජ මාධ්‍ය ගිණුම් කිසිවක 2026.07.15 දින හෝ මහර ගැටුම සිදුවූ අගෝස්තු 01,02 දිනයන්හිදී හෝ එවැනි සටහනක් පළකර නොමැති බවයි.  

පොලිස් මාධ්‍ය කොට්ඨාශය 

අප විසින් සිදුකළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් සඳහන් කළේ, මහර බන්ධනාගාර ගැටුමින් 81 දෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වී නොමැති බවත් හුවමාරු වන සටහන් අසත්‍ය සටහන් බවත් ය. එසේම සිරකරුවන්ගේ අත් ගැටගසා වෙඩි තබා ඇති බවට වාර්තා වන සටහන්ද සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සඳහන් කළා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා 

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා විසින් සඳහන් කළේ, මහර බන්ධනාගාර ගැටුමින් 81 දෙනෙක් මියගොස් ඇති බවට සහ සිරකරුවන්ගේ අත් ගැටගසා වෙඩි තබා ඇති බවට හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහර බන්ධනාගාරයේ 2026 අගෝස්තු 01 වන සෙනසුරාදා ආරම්භ වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියන් 81 ක් දෙනෙකු මියගොස් ඇති බවට හෝ රැඳවියන්ගේ අත් ගැට ගසා වෙඩි තබා ඇති බවට හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කර ඇත. මහර බන්ධනාගාර ගැටුමින් එක් රැඳවියකු මියගොස් තවත් රැඳවියන් හත් දෙනෙකු තුවාල ලබා ඇත.

Result Stamp

Title: මහර බන්ධනාගාර ගැටුමෙන් සිරකරුවන් 81ක් මියගිය බවට පළවන වාර්තා අසත්‍යයි!

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *