දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
යාපනය කන්කසන්තුරේ තෛයිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහ විහාරය සම්බන්ධයෙන් මෑතකාලීනව සමාජය තුළ බොහෝ කතා බහට ලක්වන සිදු වීම් සිදු වූවා. යාපනය ඓතිහාසික තිස්ස රාජමහා විහාර භූමිය දෙකඩ කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවෙන් සැලසුම් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“යාපනය ඓතිහාසික තිස්ස රාජමහා විහාර භූමිය දෙකඩ කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවෙන් සැළසුම්, බුද්ධ ශාසනයට එරෙහි ම්ලේච්ඡ අන්තවාදී ක්‍රියාව හෙළා දකිමු යාපනය, කංකසන්තුරය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තිස්ස රාජමහා විහාරස්ථානයට අයත් අක්කර විසි එකක ඉඩම් ප්‍රමාණය අත්තනෝමතික ලෙස ප්‍රාදේශීය සභා බලතල යටතේ බෙදා වෙන් කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණය සිංහල සංවිධාන එකමුතුව ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.” යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



යාපනය තිස්ස විහාර භූමියේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මෑත කාලීනව විවිධ ආන්දෝලනාත්මක කතාබහ ඇති වූ බැවින් මෙහි සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අප විසින් කටයුතු කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
මෙරට යුධ ගැටුම් අවසන් වීමෙන් පසුව යුද්ධයෙන් විනාශ වූ තිස්ස විහාරය නැවත ඉදිකිරීම ආරම්භ කරන ලද අතර, ඒ සමඟ මෑතකාලීනව එම විහාරස්ථානය සහ එහි ඉඩම් අයිතිය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මතභේදාත්මක තත්වයන් උද්ගතව තිබුණා. විහාරය ඉදිකර ඇති භූමිය පෞද්ගලික වැසියන්ට අයත් ඉඩම් බව පවසමින් විරෝධතා මතු ව තිබූ අතර, අත්පත් කරගත් ඉඩම් නිදහස් කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලීම් සහ විරෝධතා සිදු කර තිබුණා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
යාපනය තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව සැලසුම් කර ඇති බවට ඉහත සමාජ මාධ්‍ය සටහන හුවමාරු වී තිබුණේ මෙවැනි පසුබිමකදී ය. තිස්ස රජමහා විහාරයට අයත් අක්කර විසි එකක ඉඩම් ප්‍රමාණය අත්තනෝමතික ලෙස ප්‍රාදේශීය සභා බලතල යටතේ බෙදා වෙන් කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව තීරණය කර ඇති බව අදාළ සටහනෙහි අන්තර්ගත වූ අතර, ඊට අදාලව වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින්, තිස්ස රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ට යොමු කරන ලද ලිපියක් ද අදාළ සටහන සමග හුවමාරු කරගෙන තිබුණා. අදාළ ලිපිය පහතින්.

දමිළ භාෂාවෙන් වූ එම ලිපියෙහි අන්තර්ගත වන්නේ කුමක් ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් අංක NP/14/41(14)/06/01/NA/Gen/2026 යටතේ 2026.04.29 දින, තිස්ස විහාරයේ විහාරාධිපති පූජ්‍ය ජිංතොට නන්දාරාම හිමි වෙත අදාළ ලිපිය ඉදිරිපත් කර තිබෙන අතර, ලිපියෙහි විෂය ලෙස “පොදු මාර්ගයේ ස්ථාපිත කර ඇති බාධකය සහ මායිම් සලකුණු කිරීම සම්බන්ධයෙන්” යන්න දක්වා තිබෙනවා. ලිපියෙහි අන්තර්ගතය තුළ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා ආඥා පනතේ 59(1) වගන්තිය ප්‍රකාරව, 2026.05.11 දිනට පෙර, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ අයිතිය යටතේ පවතින තායිටි භවානි මාර්ගයේ ඉදිකර ඇති මායිම් ලකුණු කිරීම ඉවත් කිරීම සඳහා, එම මාර්ගය අවහිර කර මායිම් කර ඇති ප්‍රදේශය තුළ පදිංචිකරුවන්ට මෙයින් දන්වනු ලැබේ යනුවෙන් දක්වා තිබෙනවා.
තවද, එම මාර්ගයෙන් මායිම් වන ප්‍රදේශය සඳහා වන සියලුම තහවුරු කිරීම් සහ ලියකියවිලි 2026 මැයි 11 වන දිනට පෙර වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා සිටින අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත්, 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා ආඥාපනතේ 59(2) වගන්තිය යටතේ පියවර ගන්නා බවත්, පනතේ 59(3) වගන්තියේ විධිවිධානවලට අනුකූලව දරන ලද වියදම් අයකර ගැනීමට පියවර ගන්නා බවත්, නීතිමය ක්‍රියාමාර්ගවලට ද යටත් විය හැකි බවත් දන්වා සිටිනවා.
කෙසේ නමුත් විහාරය සතු අක්කර 21ක ඉඩමක් බෙදා වෙන් කිරීමක් සම්බන්ධයෙන් එහි අන්තර්ගත වන්නේ නැහැ.
තෛයිඩ්ඩි හි තිස්ස විහාරය ඉදිකිරීමේදී සහ එහි ආරක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේදී, මෙම භවානි නම් මාර්ගය ද විහාර පරිශ්‍රය තුළට ඇතුළත් වන සේ වටකර වැටවල් සහ බාධක යොදා ඇති බවට ප්‍රාදේශීය සභාව අදහස් දක්වා ඇති අතර, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව පෙන්වා දෙන්නේ ‘භවානි මාර්ගය’ යනු තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට සහ වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට නිල වශයෙන් අයත් පොදු මහජන මාර්ගයක් බවයි. 2026 අප්‍රේල් 28 දින වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුගීර්තන් මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මිනුම්දෝරුවන් ලවා විහාර භූමිය තුළ කොටස් කර ඇති භවානි මාර්ගයේ සීමාවන් නිල වශයෙන් මැන වෙන්කර හඳුනා ගැනීමට කටයුතු සිදුකර ඇත. ඒ අනුව 2026 අප්‍රේල් 29 දින වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව මගින් තෛයිඩ්ඩි දකුණ තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන් වෙත මෙම ලිපිය යොමු කර ඇත. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 59(1) වගන්තිය ප්‍රකාරව, භවානි වීදිය අවහිර කරමින් දමා ඇති මායිම් වැටවල් සහ බාධක 2026 මැයි 11 දිනට පෙර ඉවත් කර මාර්ගය විවෘත කරන ලෙස එහි දන්වා තිබේ. එමෙන්ම විහාර භූමියේ ඔප්පු සහ ලියකියවිලි ද පරීක්ෂාව සඳහා එදිනට පෙර ඉදිරිපත් කරන ලෙසද එහි ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.
සිංහල සංවිධාන එකමුතුව
අප විසින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඉහත සමාජ මාධ්‍ය සටහන පළ කර තිබූ සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතාගෙන්මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ මෙම ලිපිය මුල්ලාකම් ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් යාපනය තිස්ස විහාරස්ථානාධිපති හිමියන්ට එවන ලද ලිපියක් බවත්, එම ලිපිය ලැබීමෙන් පසුව විහාරස්ථානයට අයත් භූමිය මැදින් මාර්ගයක් ඉදිකිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් විසින් පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවත් විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ලද පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඒ අනුව අධිකරණය විසින් අද එම නඩුව කැඳවන ලද බවත් සඳහන් කළා. මෙම භූමිය විහාරස්ථානයට අයත් බව තහවුරු කිරීම සඳහා දීර්ඝ ඉතිහාසයක සිට එන සාක්ෂි ඇති බවත්, කිසියම් කාලවකවානුවකදී මෙම භූමියෙහි මාර්ගයක් තිබූ බවත්, ඒ අනුව මෙහි මැනීම් කටයුතු සිදුකර එම මාර්ගය වෙන් කර ගැනීම සිදු කරන බවත් ඔවුන් විසින් ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කළා. එම මාර්ගය වෙන් කළහොත් විහාරස්ථානයට අයත් ඉඩම දෙකට බෙදී යන බවද ඔහු සඳහන් කළා. ප්‍රා. සභාවක වුවද මාර්ගයක් සැකසීමේදී යම් ක්‍රමවේදයක් ඇති බවත්, එය පලාත් සභාව හරහා තහවුරු කරමින් සිදු කළ යුතු ක්‍රියාවලියක් බවත් මේ වන තෙක් ලද තොරතුරු වලට අනුව එවැනි ක්‍රමවේදයක් ඔස්සේ තහවුරු කරන ලද මාර්ගයක් මෙම ස්ථානයේ නොමැති බවත්, එවැනි මාර්ගයක් තිබූ බවට ඔවුන් විසින් සාක්ෂි ලෙස පෙන්වා දෙන විදුලි කණු කිහිපය සම්බන්ධයෙන් සොයා බලන ලද බවත් එම විදුලි කණු යුද්ධය පැවති සමයේ හමුදා කඳුවුරු සඳහා විදුලිය ලබා ගැනීමට භාවිතා කළ ඒවා බවත් ඔහු සඳහන් කළා.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව
අදාළ ලිපිය සම්බන්ධයෙන් සහ ඊට පාදක සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුගීර්තන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ අයිතිය යටතේ පවතින තායිටි භවානි මාර්ගය අවහිර කරමින් ඉදිකර ඇති මායිම් ලකුණු ඉවත් කිරීම සඳහා සහ එම මාර්ගය මායිම් වන ප්‍රදේශය සඳහා වන නිල ලියකියවිලි ඉදිරිපත් කිරීම සඳහා තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට ලිඛිතව දැනුම් දීමක් සිදු කර ඇති බවත්, අදාළ මාර්ගය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලියට 2026.05.11 වන දින තිස්ස විහාරාධිපති හිමියන් ඉදිරිපත් වී නොමැති බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවත් එම තීන්දුව මැයි මස 21 ලබාදීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් සඳහන් කළා. විහාරය සතු අක්කර 21 ක භූමියක් දෙකඩ කිරීමේ උත්සහයක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවද ඔවුන් විසින් සඳහන් කළා.
පලාලි පොලිස් ස්‍ථානය
අදාළ සිදුවීමට පාදක විහාරස්ථානය පලාලි පොලිස් ස්ථානයේ බල ප්‍රදේශය වන බැවින් සහ වලිකාමම් ප්‍රාදේශීය සභාව විසින් අදාළ ලිපියේ පිටපතක් ස්ථානාධිපති, පොලිස් ස්ථානය, පලාලි වෙත යොමු කර තිබීම හේතුවෙන් අප විසින් මේ සම්බන්ධයෙන් පලාලි පොලිස් ස්ථානාධිපතිවරයාගෙන්ද විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, වලිකාමම් ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් අවහිර කර ඉදිකර ඇති මායිම් සම්බන්ධයෙන් තිස්ස විහාරයට යොමු කරන ලද ලිපියක් වලිකාමම් ප්‍රාදේශීය සභාව විසින් යොමු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, එසේම මෙම ගැටළුව විසදීම සම්බන්ධයෙන් මේ වන විට ජාතික සභාවක් ද පිහිටුවා ඇති බවත්, ගරු මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් මැයි 21 දින තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළ බවත් ඒ අනුව එම තීන්දුවෙන් අනතුරුව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කළ හැකි බවත් ඔහු විසින් සඳහන් කළා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන්ද විමසීමක් කළා. එහිදී තහවුරු වූයේ තිස්ස විහාරයට අයත් අක්කර 21 ක භූමියක් අත්තනෝමතික ලෙස ප්‍රාදේශීය සභා බලතල යටතේ බෙදා වෙන් කිරීමේ උත්සහයක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවත්, කෙසේ නමුත් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගයක් අවහිර වන ලෙස යොදා ඇති මායිම් ඉවත් කර ගැනීම සඳහා වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් තිස්ස විහාරයෙන් ඉල්ලීම් කර ඇති බවත්, ඒ අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එහි අධිකරණ තීන්දුව මැයි 21 දින ලබා දීමට නියමිත බවත් ය.
ඒ අනුව පැහැදිලි වන්නේ, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට අයත් බවට පැවසෙන මාර්ගයක් අවහිර කරමින් යොදා ඇති මායිම් ඉවත් කර ගැනීම සඳහා වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් තිස්ස විහාරස්ථානයට ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි. අදාළ ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සිදුවීම පාදකව විහාරස්ථානය සතු භූමිය බෙදා වෙන්කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව උත්සාහ දරන බවට සමාජ මාධ්‍ය සටහන් තුළ අන්තර්ගත වූවත්, එම භූමිය අත්තනෝමතික ලෙස ප්‍රාදේශීය සභා බලතල යටතේ බෙදා වෙන් කිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව උත්සහ දරන බව හෝ මෙම භූමිය හරහා පොදු මාර්ගයක් පිහිටා ඇති බවට ස්වාධීනව සත්‍යාපනය කිරීමට අප හට හැකියාවක් නොමැත.
අප විසින් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා තිස්ස විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් මේ වන තෙක් සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට අයත් යැයි පැවසෙන තායිටි භවානි නම් මෙම මාර්ගය සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව මැයි මස 21 ලබාදීමට නියමිත අතර එම තීන්දුව ලැබීමෙන් අනතුරුව, මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


