දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම, මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ සිදු වූ දරුණු සිදුවීම්වලින් එකක් ලෙස වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වූ අතර, මීගමුව බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධ බව හඟවමින් ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව නිරීක්ෂණය විය. එම ඡායාරූපයේ දැක්වෙන්නේ සැබවින්ම මීගමුව බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධ ද යන්න පිළිබඳව සොයා බලමින් Fact Crescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මෙම සටහන බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්



Facebook Facebook Facebook Facebook Facebook
ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවලදී, රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කළ බව කියන තියුණු ආයුධ විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, ඒ අතර ලී පොලු 1,000 කට අධික සංඛ්‍යාවක් ද වන බව පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ. තවද, රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙය තුළට කඩා වැදී එහි තිබූ පොල් ද රැගෙන විත් නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.
එමෙන්ම එම පුවත් වාර්තාවලට අනුවද, මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර ඇති අතර, බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී පොලු දහසකට අධික සංඛ්‍යාවක්, තියුණු ආයුධ රැසක් සහ යකඩ බට සොයාගත් බව පොලිසිය තහවුරු කර ඇත. එම මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
සැබවින්ම බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධවල වීඩියෝ දර්ශන පහතින්.
මෙම සොයාගත් ආයුධවල දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුණ ද, ඉහත සඳහන් සමාජ මාධ්‍යවල සංසරණය වූ ඡායාරූපය එම මාධ්‍ය වාර්තාවල අන්තර්ගත වී නොතිබුණි.
ඉහත ආයුධ සහිත ඡායාරූපය කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්
කෙසේ වෙතත්, මාධ්‍ය විසින් වාර්තා කර තිබූ වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙන ආයුධ ඇසුරෙන් මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවට පැවති සැකයක් හේතුවෙන් අප මෙම රූපය කෘත්‍රිම බුද්ධි හඳුනාගැනීමේ මෙවලමක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාළ ආයුධ සහිත ඡායාරූපය කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බවයි.

සැබෑ ඡායාරූප හා කෘථිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූප අතර සංසන්දනය

මීගමුව බන්ධනාගාරය
මෙම ආයුධ සොයාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා අප මීගමුව බන්ධනාගාරය සම්බන්ධ කරගෙන විමසීමක් කළ ද, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් ලබා දිය නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළා.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රකාශය
මෑතකදී මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන ලදී.
මෙම ගැටුම රජය කිසිදු අවස්ථාවක අවතක්සේරු නොකරන බවත්, බන්ධනාගාර පද්ධතිය අඩාල කිරීම මෙම ගැටුමට සම්බන්ධ වූවන්ගේ අරමුණ වී තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙකු බවත්, ඔවුන් බේරා ගැනීම සඳහා පැමිණි සෙසු නිලධාරීන්ට ගඩොල් සහ පොලුවලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, සිදු වූ වැරදි වටහාගෙන මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට පියවර ගත යුතු බවත්, කුමන හේතුවක් මත මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීෂාවෙන් පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයෙන් සොයාගත් ආයුධ ලෙස දක්වමින් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වන ඉහත ආයුධ සහිත ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. මීගමුව බන්ධනාගාරයෙන් ආයුධ සොයාගත් බවට පළ වන සත්‍ය ඡායාරූප ඇසුරෙන් මෙම ඡායාරූපය ජනනය කර ඇති බවට පෙන්වා දිය හැක.


