කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම, කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බව පවසන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී. මේ හේතුවෙන් කොළඹ නගරයට පැමිණෙන රියදුරන් දැඩි නොමඟ යෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මේ පිළිබඳ නිර්වද්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පළ වී ඇති වීඩියෝවල සහ පෝස්ටුවල සඳහන් වන්නේ “කොළඹ නගරය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බැවින්, කිසිදු ස්ථානයක පාර්කින් සඳහා මුදල් නොගෙවන ලෙස” යි.

එම වීඩියෝවේ රූපරාමු යොදාගනිමින්, ‘ටික දවසකට උනත් කමක්නෑ මිනිස්සුන්ට සහනයක් ඒක…’ යන තේමා සමඟ, මේ දිනවල ගත් තීරණයක් බව හඟවමින්, ෆේස්බුක් සටහන් පළවී තිබුනේ මෙලෙසින්. එසේම WhatsApp ඔස්සේ ද මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය වාර්තා සහ කොළඹ මහා නගර සභාව විසින් මෑතකදී මෙලෙසින් කොළඹ මහා නගර සභාව වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් දැක ගැනීමට නොලැබුණි.

ඉහත ‘අද දෙරණ’ මාධ්‍ය විසින් පළ කර තිබූ එම වීඩියෝවේ ඔස්සේ කළ පරීක්ෂාවේදී එය මීට මාස කිහිපයකට පෙර, එනම් 2026 මාර්තු 18 වන දා පළ කර ඇති වීඩියෝවක් බවට දැක ගන්නට ලැබුණා.

Facebook

ඒ අනුව, හුවමාරු වන්නේ, 2026 මාර්තු 18 වන දින පළවූ පැරණි වීඩියෝවක් බව තහවුරු වෙනවා. එම වකවානුවේදී ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පැවතීම හේතුවෙන් ඇති වූ දැඩි රථවාහන තදබදය ලිහිල් කිරීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් වාහන ගාල් කිරීමේදී ගාස්තු අය කිරීම්, තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධ වීඩියෝවක්, නැවත හුවමාරුකර ගැනීමක් බව පැහැදිලි වේ. මේ පිළිබඳව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් එවකට කැබිනට් තීරණ දැනුම්දීමේදී පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

කෙසේවෙතත්, රජය විසින් QR කේත ක්‍රමය සහ වාහන අංක ක්‍රම හඳුන්වා දීමෙන් පසු පෝලිම් නැති වී තදබදය අඩු වූ බැවින්, එම තාවකාලික සහනය 2026 මාර්තු 23 දින උදෑසන 6.00 සිට අවලංගු කෙරුණි. එදින සිට නගර සභා මුදල් කාරක සභාවේ අනුමැතිය ඇතිව සාමාන්‍ය පරිදි ගාස්තු අය කිරීම් නැවත ආරම්භ කළ බවට එවකය පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කොළඹ මහ නගර සභාව

අප මේ පිළිබඳව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර්ගෙන් විමසීමක් කළ අතර ඇය අවධාරණය කළේ, වර්තමානයේදීද කොළඹ නගරය තුළ කිසිදු ර‍ථ වාහන ගාල් කිරීමේදී ගාස්තුවක් අත්හිටුවා නොමැති අතර සියලුම රියදුරන් නියමිත පරිදි ගාස්තු ගෙවිය යුතු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ පැරණි වීඩියෝවක් බව ත්, මෙවැනි වීඩියෝ පළ කිරීම තුළින් ජනතාව නොමග යන බැවින් මෙවැනි දේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙස ඇය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල හුවමාරු වන නොමඟ යවන සුළු වීඩියෝව ගැන, කොළඹ මහ නගර සභාව, ෆේස්බුක් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.

කොළඹ නගරයේ වත්මන් වාහන ගාල් කිරීමේ ගාස්තු

කොළඹ මහ නගර සභාව 2025 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ සංශෝධිත ක්‍රමවේදයට අනුව, පොදු රථ ගාලක වාහනයක් නවතා තැබූ පසු මුල් මිනිත්තු 10 සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. එම කාලයෙන් පසුව පමණක්, වාහන වර්ගය අනුව පහත පරිදි ගාස්තු අය කෙරේ:

  • යතුරුපැදි: පැයකට රු. 20
  • ත්‍රිරෝද රථ: පැයකට රු. 40
  • මෝටර් රථ සහ ද්විකාර්ය වාහන (වෑන් ඇතුළුව): පැයකට රු. 70
  • බස්, කෝච් සහ ලොරි රථ: පැයකට රු. 100

මෙම ගාස්තු අය කිරීම සෑම දිනකම පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන අතර, පොහොය දිනවලදී සහ රජයේ විශේෂ නිවාඩු දිනවලදී කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. නියමිත ගාස්තු නොගෙවීම නිසා ප්‍රමාද ගාස්තු අය කෙරෙන අතර, ගෙවීම් නොකළ Parking ටිකට් තුනකට වඩා එකතු වූ විට, 2017-07-26 දිනැති අංක 2029/29 දරන ගැසට් පත්‍රය යටතේ, අදාළ වාහනයට රෝදවලට අගුලු දැමීමේ බලය (wheel clamping), නගර සභාවට හිමි වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වීඩියෝව නොමග යන සුළු වේ. එවැනි තීරණයක් මේ දිනවල කොළඹ මහ නගර සභාව විසින් ගෙන නොමැති බව කොළඹ නගරාධිපතිනිය ව්‍රායි කැලි බල්තසාර් තහවුරු කරයි.

මෙම වීඩියෝව මීට මාස කිහිපයකට පෙර පැවති තාවකාලික තත්ත්වයක් පෙන්වන පැරණි වීඩියෝවක් නැවත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමක් වේ. කොළඹ නගරය තුළ වාහන නැවැත්වීමේදී සුපුරුදු පරිදි ගාස්තු අය කෙරේ. එම නිසා, මෙවැනි නොමඟ යවන සුලු ව්‍යාජ පුවත් හුවමාරු කිරීමෙන් සහ ඒවා විශ්වාස කිරීමෙන් වළකින්න.

Result Stamp

Title: කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *