දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ක්ෂේත්‍රයන් විසින් සහතිකයක් ලබා දුන් බව දක්වමින්, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණි. සැබෑ ලෙසම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට ද යන්න සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව ඇතුළු වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් සහතික කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බව දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර තිබූ ප්‍රකාශය, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබුණේ මෙලෙසින්.
එසේම, දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට ශ්‍රී ලංකාව බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ක්ෂේත්‍ර විසින් සහතිකයක් ලබා දුන් බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තවත් ප්‍රකාශයක් සිදු කර තිබුණේ මෙලෙසින්. ඉන්දියාව, පකිස්ථානය අභිබවා ශ්‍රී ලංකාව වේගයෙන්ම සංවර්ධනය වන රට බවටද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරනු ලැබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද සටහන් බහුලව හුවමාරු වී තිබුණා.


Facebook Facebook Facebook Facebook
එසේම ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද ‘දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය බව ලෝක බැංකුව පවසයි’ යනාදී තේමා ඔස්සේ පුවතක් වාර්තා කර තිබුණි. කෙසේවෙතත්, අදාළ පුවත් වාර්තාවේ අන්තර්ගතයේ දක්වා ඇත්තේ, ලෝක බැංකුවේ නවතම දත්ත අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය අතින්, දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි. 2024 වසරේ පැවති ඩොලර් 4,545ක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත අගයේ සිට ධනාත්මක වර්ධනයක් සනිටුහන් කරමින්, 2025 වන විට එය ඩොලර් 5,002 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙහිදී මාලදිවයින, පාකිස්ථානය සහ ඉන්දියාව වැනි රටවල් අභිභවා යමින් ශ්‍රී ලංකාව කලාපයේ පෙරමුණ ගෙන සිටින බවත් එහි වාර්තා කර ඇත.
මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව විසින් 2026 ජූලි 01 වැනි දින නිකුත් කරන ලද , 2027 ජූනි 30 දක්වා වලංගු වන ඇති ප්‍රධානතම වර්ගීකරණය සහ සහතිකය වන්නේ, ආර්ථික අර්බුදයෙන් පසු 2024 සහ 2025 වසරවල ආර්ථික වර්ධන වේගයේ ලද ප්‍රගතිය හේතුවෙන්, 2019 වසරෙන් පසුව, ශ්‍රී ලංකාව නැවත වරක් “ඉහළ-මධ්‍යම ආදායම් ලබන” (Upper-Middle-Income) රටක් ලෙස වර්ගීකරණය කිරීමයි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු කාර්මික ක්‍රියාකාරකම්, සේවා අංශය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතියත් සමඟ 2025 දී 5%ක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් වාර්තා කිරීම නිසා, ශ්‍රී ලංකාව මෙලෙස නැවත ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇත. World Bank – 2026-2027 income classifications
ලෝක බැංකු වර්ගීකරණයට අනුව ඉහළ මැදි ආදායම් මට්ටමට (Upper-Middle-Income) ඇතුළත් වීමට නම් රටක ඒක පුද්ගල ආදායම ඩොලර් 4,636–14,375 සීමාව ඇතුළත තිබිය යුතුය. ශ්‍රී ලංකාව, ලෝක බැංකු වර්ගීකරණ අනුව, 2025 වසරේදී ඩොලර් 4,670 ක අගයක් ලබා ගනිමින් එම සීමාවට, අවම අගය සුළු ප්‍රමාණයකින් පසු කරමින්, අදාළ ඛාණ්ඩයට ඇතුළත් වී තිබෙනවා. මෙම නවතම වර්ගීකරණයත් සමඟ, දකුණු ආසියානු කලාපයෙන් ඉහළ මැදි ආදායම් මට්ටමේ පසුවන්නේ රටවල් දෙකක් පමණි. ඒ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනයි. World Bank – Country & Lending Groups

World Bank | Archived Link වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
සැලකිය යුතුයි :ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) යනු රටක වෙසෙන සාමාන්‍ය වැසියෙකු වසරක් තුළ උපයන ආදායම පෙන්වන දර්ශකයකි. මෙය රටේ සමස්ත ආර්ථික ශක්තිය ජනගහනයට සාපේක්ෂව මැන බැලීම සඳහා ලෝක බැංකුව භාවිතා කරන ප්‍රධානතම මිනුම් දණ්ඩ වේ. මෙය සැබෑ පුද්ගලික වැටුපක් නොවන අතර රටේ සමස්ත ආදායම ජනගහනය අතර සමානව බෙදී ගියහොත් එක් අයෙකුට ලැබෙන සාමාන්‍යය අගය පමණි.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතාත්මක වර්ධනය අතින් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව සතු කර ගෙන ඇත.
| රට (Country) | 2024 (USD) | 2025 (USD) | ශුද්ධ වර්ධනය | වර්ධන අනුපාතය |
| ශ්‍රී ලංකාව (Sri Lanka) | $3,870 | $4,670 | +$800 | +20.67% |
| මාලදිවයින (Maldives) | $11,540 | $12,950 | +$1,410 | +12.22% |
| භූතානය (Bhutan) | $3,910 | $4,310 | +$400 | +10.23% |
| ඉන්දියාව (India) | $2,550 | $2,760 | +$210 | +8.24% |
| නේපාලය (Nepal) | $1,480 | $1,570 | +$90 | +6.08% |
| පාකිස්තානය (Pakistan) | $1,430 | $1,500 | +$70 | +4.90% |
| බංග්ලාදේශය (Bangladesh) | $2,820 | $2,840 | +$20 | +0.71% |
නිල මූලාශ්‍රය: World Bank – GNI per capita, Atlas method (current US$), NY.GNP.PCAP.CD
ඇට්ලස් ක්‍රමවේදයට අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ප්‍රතිශතාත්මක වර්ධනය අතින් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව (20.67%) සතු කර ගෙන ඇත. නමුත්, එහි අර්ථය ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය සහිත රට බව නොවේ.
ලෝක බැංකුවේ සංවර්ධන දත්ත සමූහය (Development Data Group) පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ ආදායම් වර්ගීකරණය යනු ආදායම් මට්ටමේ දර්ශකයක් පමණක් මිස, රටක ආර්ථික සංවර්ධනය හෝ පොදු ජීවන තත්ත්වය පිළිබඳ විස්තීර්ණ තක්සේරුවක් නොවන බවයි.
දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ශ්‍රී ලංකාව නොවේ
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය හිමි රට ලෙස ලෝක බැංකුව කිසිඳු අවස්ථාවක සඳහන් කර නොමැත. එසේම පෙර ඉදිරිපත් කළ ලෝක බැංකු දත්ත මත පදනම්ව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට හෝ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස හැඳින්විය නොහැක.
ඉහත වර්ගීකරණය පදනම්ව ඇත්තේ, එක් පුද්ගලයෙකුට ලැබෙන දළ ජාතික ආදායම (GNI per capita) මත මිස, ආර්ථිකය වර්ධනය වන වේගය (GDP Growth Rate) මත නොවේ.
දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට වන්නේ ඉන්දියාවයි.
ලෝක බැංකුව සිය නවතම කලාපීය ආර්ථික විශ්ලේෂණවලදී පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ “දකුණු ආසියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය වන අතර, එහි ප්‍රධාන ගාමක බලවේගය වන්නේ ඉන්දියාව බවයි. දකුණු ආසියාවේ මෙන්ම සමස්ත ලෝකයේම ප්‍රධාන ආර්ථිකයන් අතර වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයන් (major economy) අතර මුල් තැන හිමි වන්නේ ඉන්දියාවයි. World Bank – India among fastest-growing economies

ශ්‍රී ලංකාව 2025 වසරේදී වාර්තා කළ 5% ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ලෝක බැංකුව හඳුන්වන්නේ “වේගවත්ම සංවර්ධනයක්” ලෙස නොව, බිඳවැටුණු ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමක් ලෙසයි. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ලෝක බැංකුවේ (World Bank) නවතම නිල වාර්තා අනුව දකුණු ආසියානු රටවල වත්මන් ආර්ථික වර්ධන වේගය (Real GDP Growth Rate)
නිල මූලාශ්‍ර: World Bank – GDP growth (annual %), NY.GDP.MKTP.KD.ZG | World Bank – Global Economic Prospects, South Asia (Jan 2026)
| රට (Country) | WDI 2025 (%) | GEP පුරෝකථනය (%) | වත්මන් තත්ත්වය |
| භූතානය (Bhutan) | 8.0% | 7.0% | ජල විදුලි ව්‍යාපෘති නිසා කලාපයේ ඉහළම වර්ධන අනුපාතය (කුඩා ආර්ථිකයකි) |
| ඉන්දියාව (India) | 7.6% | 7.2% | ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය; කලාපයේ ගාමකයා |
| මාලදිවයින (Maldives) | 6.3% | 4.2% | සංචාරක අංශයේ ප්‍රකෘතිය; මූලාශ්‍ර අතර පරතරය වැඩි බැවින් සංශෝධනයට ලක්විය හැක |
| ශ්‍රී ලංකාව (Sri Lanka) | 5.0% | 4.6% | අර්බුදයෙන් පසු ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් (වේගවත්ම නොවේ) |
| නේපාලය (Nepal) | 4.4% | 4.6% | සේවා හා සංචාරක පිබිදුණද දේශපාලන අවදානම පවතී |
| පාකිස්තානය (Pakistan) | 3.7% | — | අභියෝග මධ්‍යයේ ක්‍රමික ප්‍රකෘතියක් (2025 ජූලි සිට SAR කලාපයෙන් බැහැර) |
| බංග්ලාදේශය (Bangladesh) | 3.5% | 3.7% | දේශපාලන සංක්‍රාන්තිය හා දුර්වල ආයෝජන නිසා මන්දගාමී |
සටහන (ක්‍රමවේදය): සියලු අගයන් ලෝක බැංකුවේ නිල දත්ත වේ. “WDI 2025” තීරුව = World Development Indicators (NY.GDP.MKTP.KD.ZG, යාවත්කාලීන කිරීම 2026 ජූලි 13); “GEP පුරෝකථනය” තීරුව = Global Economic Prospects, 2026 ජනවාරි. 2025 අගයන් ඇස්තමේන්තු (estimates) වන අතර සංශෝධනයට ලක්විය හැක.
ප්‍රධාන නිගමනය: WDI අනුව භූතානය ඉහළින්ම වුවද, GEP පුරෝකථනය අනුව ඉන්දියාව ඉහළින් සිටී. කෙසේ වෙතත්, ඕනෑම ලෝක බැංකු මූලාශ්‍රයකට අනුව ශ්‍රී ලංකාව කලාපයේ වේගවත්ම වර්ධනය පෙන්නුම් කරන රට නොවේ.
මේ දත්ත අනුව ද පැහැදිලි වන්නේ, කලාපයේ බලවතා වන ඉන්දියාව , දකුණු ආසියානු කලාපයේම ආර්ථික වර්ධනය විශාල දායකත්වයක් ලබාදෙමින්, ඉහළ ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන බවයි. භූතානය සහ මාලදිවයින යනු ඉතා කුඩා ආර්ථිකයන් සහිත රටවල් වන අතර ඒවායේ ආර්ථික වර්ධන ඉහළ අගයක තිබෙනවා.
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල
මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා විසින් මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළා.
“නෑ. ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට හෝ ආර්ථිකය බවට කියලා නැහැ. ඒක පළවෙනි කාරණය.
දෙවැනි කාරණය තමයි, මේක සංකල්පීය වශයෙන් එකිනෙකට වෙනස්. දැන් උදාහරණයක් විදිහට ආර්ථික වර්ධනය කියලා කියන එකෙන් අදහස් කරන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය. එතකොට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගත්තොත්, ඉන්දියාවේ වර්ධනය 7% ඉක්මවා තියෙනකොට ලංකාවේ තිබුණේ 5%ක් වගේ අගයක්. මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ සලකා බලනකොට, ඇත්තටම දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන රට විදිහට ලංකාව හඳුනාගන්න බැහැ.
නමුත් දැන් අපි, ඒක පුද්ගල දළ දේශීය ආදායම ගත්තොත්, ඔතන සංකල්ප දෙකක් තියෙනවා. දළ දේශීය නිෂ්පාදිතය සමහර විට ලංකාව ගණනය කරනවා ඒක පුද්ගල අගය විදිහට. එතකොට එය ඇමරිකානු ඩොලර් 3,253ක් විදිහට තමයි ගිය වසර සඳහා වාර්තා වෙන්නේ.නමුත් ලෝක බැංකුව ගණනය කරනවා ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇට්ලස් ක්‍රමයට. ඒගොල්ලෝ ඒක ගණනය කරන්නේ ඒ රටවල් අතර තියෙන උද්ධමන තත්ත්වයන් සහ විනිමය අනුපාත තත්ත්වයන් ඇතුළත් කරලා, රටවල් අතර සංසන්දනය කිරීමට හැකි වන පරිදියි.
ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇට්ලස් ක්‍රමයට ගත්තොත්, 2024දී අපේ තිබුණේ ඩොලර් 3,870ක්. ඒක 2025 වෙනකොට 4,670 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ 21%ක වර්ධනයක්. එක අවුරුද්දක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 800කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 2024ට සාපේක්ෂව ඉන්දියාවේ වැඩි වීම බලනකොට ඇත්තටම 8%ක් වගේ ප්‍රමාණයක්. භූතානය 11%යි, ලංකාව 21%යි. මාලදිවයින 12%යි, නේපාලය 6%යි, පාකිස්තානය 5%යි. දැන් ඒ වර්ධනය බලනකොට ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. ඒ කියන්නේ ඇට්ලස් ක්‍රමයට ගණනය කරන ලද ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වර්ධනය අතින් දකුණු ආසියාවේ ඉහළින්ම තියෙන රට ලංකාවයි. එහි 21%ක වර්ධනයක් පෙන්වනවා.
ඉතින් දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන රට ලංකාව කිව්වොත් ඒක වැරදියි. ඉහළම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරපු රට විදිහට ලංකාව ගත්තොත් ඒකත් වැරදියි. හැබැයි දකුණු ආසියාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වැඩිම වර්ධනයක් වාර්තා කල රට විදිහට ලංකාව හැඳින්වූවොත් ඒක හරි. මෙන්න මේක තමයි මෙතන තියෙන පැහැදිලි කිරීම.”
එසේම ලෝක බැංකුව විසින් සිදුකළ නවතම රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් වන අතර ඉන්දියාව පවතින්නේ පහළ මැදි ආදායම් ලබන රටක් ලෙසයි. නමුත් ඉන්දියාවෙන් දකුණු ආසියාව සහ සමස්ත ලෝකයේම වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට ලෙස ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇත. මේ අතර පවතින වෙනස සම්බන්ධයෙන්ද අප විසින් මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ,
“ලෝක බැංකුව රටවල් වර්ගීකරණය සිදු කරන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කරගෙන. ඒ කියන්නේ රටේ දළ ජාතික ආදායම ඒ රටේ ජනගහනයෙන් බෙදනවා. ඉන්දියාව ගත්තොත් විශාල ජනගහනයක් ඉන්න රටක්. ජනගහනය ඉහළ අගයක් ගන්නා නිසා ඒගොල්ලන්ගේ ඒක පුද්ගල දළ ජාතික ආදායම අඩු මට්ටමක තියෙන්නේ.
නිදසුනක් විදිහට, 2024 ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 2,550යි. ලංකාවේ 3,870යි. 2025දී ඉන්දියාවේ එය ඩොලර් 2,760ක් වන විට ලංකාවේ ඩොලර් 4,670ක් වෙනවා. ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් විදිහට ලෝක බැංකුව හඳුනාගත්තේ 2025 වර්ගීකරණය අනුවයි.
ලෝක බැංකු නිර්ණායක අනුව, යම් රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම 4,636ත් 14,375ත් අතර තියෙනවා නම්, ඒ රට ඉහළ මැදි ආදායම් (Upper-Middle Income) ලබන රටක්. ලංකාවේ ආදායම ඩොලර් 4,670ක් නිසා අපි ඒ ගොඩට වැටෙනවා. ඉන්දියාවේ ජනගහනය ඉතාමත් වැඩි නිසා ඒක පුද්ගල ආදායම අඩුයි. ඒ නිසා ඒක පහළ මැදි ආදායම් මට්ටමේ තමයි තියෙන්නේ. ඉන්දියාවේ විශාල ජනගහනයක් ඉන්න නිසා ඒක පුද්ගල ආදායම අඩු අගයක් ගන්නවා.” යනුවෙනි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට හෝ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය සහිත රට බවට ප්‍රකාශ කිරීම වැරදි බවයි. දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන රට ලංකාව බවට ලෝක බැංකුව විසින් ද කිසිවිටෙකදී සඳහන් කර නැත.
දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් පෙන්නමින් කලාපයේම ආර්ථික වර්ධනය බලපාන්නේ, ඉහළ වර්ධන වේගයක් පෙන්වන ඉන්දියාවයි. දකුණු ආසියාවේ මෙන්ම ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය වන්නේ ඉන්දියාවයි. භූතානය ද ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් පෙන්න්නුම් කළ ද එය ඉතා කුඩා ආර්ථිකයකි.
කෙසේ නමුත්, ලෝක බැංකු නවතම වර්ගීකරණ අනුව, ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් දක්වා උසස් වී තිබුනේ, දකුණු ආසියාවේ රටවල් අතරින්, 2024 ට සාපේක්ෂව 2025 දී, ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වැඩිම වර්ධනයක් වාර්තාකර ඇති රට බවට පත්වෙමින්. මේ පුවත ඔස්සේ දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන රට ලංකාව බවට වැරදි නිගමනය නිර්මාණය වී ඇති බව අනුමාන කළ හැකිය. ලංකාව මෑතක දී ලද වර්ගීකරණයේ උසස් වීමට බලපෑවේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වර්ධනයක් වන අතර, එය රටක සමස්ත ආර්ථික සංවර්ධනය හෝ පොදු ජීවන තත්ත්වය පිළිබඳ විස්තීර්ණ තක්සේරුවක් නොවේ.


