දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකාව, මෑතක දී නැවත වරක්, ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නම් කිරීමට ලෝක බැංකුව විසින් කටයුතු කර තිබුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙත ආර්ථික වර්ධනයේ සැබෑ ප්‍රතිලාභ නොදැනීම සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික ජනතාව මුහුණ දෙන ද්‍රවශීලතා අර්බුදය සම්බන්ධයෙන් විමසමින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස අප වෙත පාඨක ඉල්ලීම් ලැබී තිබුණි. ඒ අනුව අප විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරන කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කළද මෙරට සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයක සිටින බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Facebook Facebook | Archived FB
කරුණු පැහැදිලි කිරීම (Explainer);
ශ්‍රී ලංකාව පහළ මැද ආදායම් ලබන මට්ටමේ සිට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නැවත වරක් ප්‍රකාශයට පත් කර ඇත
ලෝක බැංකුවේ සංවර්ධනය දත්ත සමූහය විසින් වාර්ෂිකව සිදුකරන රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙරට පැවති ආර්ථික කඩාවැටීමෙන් පසු කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය සහ මූල්‍ය සේවා අංශවල සිදුවූ කැපීපෙනෙන පිබිදීම හේතුවෙන් 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) සියයට 5කින් වර්ධනය වීමත්, ඒ හරහා ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) ඉහළ යාමත්, මීට බලපෑ ප්‍රධානතම හේතුවයි.

ශ්‍රී ලංකාව සමඟ තවත් ආසියාතික රටවල් 3ක් පහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ මැදි ආදායම් (Upper-Middle Income) මට්ටම දක්වා උසස් වී ඇත. ඒ වියට්නාමය, පිලිපීනය සහ ජෝර්දානයයි. මෙම නවතම වර්ගීකරණයත් සමඟ දකුණු ආසියානු කලාපයෙන් ඉහළ මැදි ආදායම් මට්ටමේ පසුවන්නේ රටවල් දෙකක් පමණි. ඒ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනයි.
ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය සහ පකිස්ථානය වැනි අනෙකුත් දකුණු ආසියාතික රටවල් තවදුරටත් පහළ මැදි ආදායම් (Lower-Middle Income) මට්ටමේ පසුවේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ලෝක බැංකු වර්ගීකරණයේ තාක්ෂණික සීමාවන් (GNI vs. GDP)
ලෝක බැංකුව විසින් රටවල් වර්ගීකරණය කරනු ලබන්නේ World Bank Atlas Method අනුව ගණනය කරනු ලබන ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) පදනම් කරගනිමිනි.
ලෝක බැංකුවේ සංවර්ධන දත්ත සමූහය (Development Data Group) පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ ආදායම් වර්ගීකරණය යනු ආදායම් මට්ටමේ දර්ශකයක් පමණක් මිස, රටක ආර්ථික සංවර්ධනය හෝ පොදු ජීවන තත්ත්වය පිළිබඳ විස්තීර්ණ තක්සේරුවක් නොවන බවයි.
ලෝක බැංකුවේ සංවර්ධන ආර්ථික විද්‍යා දත්ත සමූහය (Development Economics Data Group) විසින් සඳහන් කර ඇත්තේ, රටවල් වර්ගීකරණය කිරීම සඳහා ලෝක බැංකුව වසර ගණනාවක සිට මූලික වශයෙන් භාවිතා කරනුයේ එක් පුද්ගලයෙකුට ලැබෙන දළ ජාතික ආදායම (GNI per capita) වන බවයි.
මෙය පුද්ගලයන්ට සම්පත් මත ඇති බලය මැනීම සඳහා යොදා ගන්නා දළ මිම්මක් වුවද, රටක් තුළ ආදායම බෙදී යන ආකාරය මෙමගින් නිරූපණය නොවන බව ඔවුන් විසින් පැහැදිලිවම සඳහන් කර ඇත.
එසේම, එක් පුද්ගලයෙකුට ලැබෙන දළ ජාතික ආදායම, සෞඛ්‍ය පහසුකම් වැනි සංවර්ධන දර්ශක සමඟ ඉහළ සහසම්බන්ධතාවක් දැක්වුවද, එය සුභසාධනය මැනීම සඳහා වූ පූර්ණ මිනුමක් නොවන බවද ලෝක බැංකුව විසින් පෙන්වා දෙයි. මෙම වර්ගීකරණයේ ප්‍රධානතම අරමුණ වන්නේ විශ්ලේෂණාත්මක කටයුතු සඳහා රටවල් සමූහගත කිරීම සහ දත්ත ඉදිරිපත් කිරීමයි.

කෙසේ වෙතත්, මෙම වර්ගීකරණය ලෝක බැංකුවෙන් බැහැරව විවිධ ජාත්‍යන්තර ආයතන සහ රජයන් විසින් ආධාර වෙන් කිරීම සහ වෙළඳ ප්‍රතිපත්ති සැකසීම වැනි මෙහෙයුම් කටයුතු සඳහා ද බහුලව භාවිතා කරනු ලබයි.
ඉහළ මැද ආදායම් මට්ටමේ සීමාව ශ්‍රී ලංකාව මෙවර ඉතා පටු පරතරයකින් පසුකර ඇත.
2026 (FY27) වර්ෂය සඳහා ඉහළ මැද ආදායම් මට්ටමේ නවතම සීමාව වන්නේ වසරකට ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) ඇමරිකානු ඩොලර් 4,636 කට වඩා වැඩි වීමයි (මෙය වත්මන් විනිමය අනුපාත අනුව මසකට රුපියල් 116,000 ක් පමණ වේ). ශ්‍රී ලංකාව මෙවර ඩොලර් 4,670ක අගයක් ලබා ගනිමින් මෙම සීමාව ඉතා පටු පරතරයකින් (ඩොලර් 34 කින්)පසුකර ඇත.
ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් යන්නෙන් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකු මූල්‍යමය වශයෙන් යහපත් තත්ත්වයක පසුවන බව අදහස් වේද?
ලෝක බැංකුවේ 2025 ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තා මඟින් 24.5%ක දිළිඳුකම් අනුපාතයක්, ඉහළ ආහාර මිල ගණන් සහ 535,000කට අධික පිරිසක් රට හැර යාම වැනි ආර්ථික අර්බුදයේ බලපෑම් අවධාරණය කරයි. 5%ක මැක්‍රෝ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද, වැටුප් පහත වැටීම හේතුවෙන් ජනතාව පෝෂණ ගැටලුවලට මුහුණ දී සිටින බවද එම වාර්තාව මගින් පෙන්වා දෙයි. Archived Link
| දර්ශකය (Indicator) | වත්මන් අගය / තත්ත්වය | නිල මූලාශ්‍රය (Official Source) |
| දිළිඳුකම් අනුපාතය poverty (below $3.65 per person per day) | 24.5% මෙය 2019 වසරේ පැවති මට්ටම මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. | ලෝක බැංකු ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීනය (World Bank) |
| ආහාර මිල ගණන් | 2021 සහ 2024 වසර අතර කාලය තුළ දෙගුණයකට වඩා වැඩි වී ඇත. | ලෝක බැංකු පාරිභෝගික සුභසාධන සහ ආහාර සුරක්ෂිතතා වාර්තා |
| වැටුප් (Real wages) | 2024 සහ 2025 වසර වන විටත් පවතින්නේ 2019 අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා පහළින් ය. | ලෝක බැංකු ශ්‍රම වෙළෙඳපොළ විශ්ලේෂණ දත්ත |
| රැකියා නියුක්ති අනුපාතය | 49.2% දක්වා පහත වැටී ඇත | ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) – ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තා |
| රජයේ ණය (Debt-to-GDP) | 91.60% කි මෙය 2022 වසරේ උපරිම මට්ටම වූ 114.2% ට වඩා අඩු වීමක් වුවද, තවමත් රටේ මැක්‍රෝ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි. | ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) / |
| දිළිඳුකම් සීමාව (ජාතික) | රුපියල් 17,315 කි ජනලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව අනුව එය රු. 17,315 දක්වා ඉහළ ගොස් ඇත. | ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) නිල දත්ත |
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇත්නම් සහ 5% GDP වර්ධනයක් පෙන්නුම් කර ඇත්නම් සාමාන්‍ය ජනතාව එහි ප්‍රතිලාභ නොදැනෙන බව පවසන්නේ ඇයි ?
I. මිල මට්ටම්වල බලපෑම (High Base Effect of Prices)
2022/2023 ආර්ථික අර්බුදයේදී 70% කට වඩා අධික ලෙස ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල ගණන් ඒ ආකාරයෙන්ම පවතී (කොළඹ පාරිභෝගික මිල දර්ශකය – CCPI). ජනතාවගේ නාමික ආදායම මිල මට්ටම්වලට සාපේක්ෂව වැඩි නොවීම නිසා, එදිනෙදා වියදම්වලට සියලු මුදල් වැය වන අතර ඉතිරිකිරීමක් හෝ ද්‍රවශීලතාවයක් ඉතිරි නොවේ.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව 2021 සහ 2024 අතර කාලය තුළ ආහාර මිල ගණන් දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර, එය මන්දපෝෂණයට සහ ආහාර සුරක්ෂිතතාව බිඳීමට හේතු වී ඇත. බදු සහ මිල ඉහළ යාම මෙන්ම රැකියා සහ ආදායම් අහිමි වීම හේතුවෙන් ගෘහස්ථ අයවැය තවමත් දැඩි පීඩනයකට ලක්ව ඇත. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සැබෑ වැටුප් පිළිවෙළින් 16.9% සහ 22% කින් බිඳ වැටී ඇති අතර ඒවා තවමත් පවතින්නේ 2019 මට්ටමට වඩා පහළිනි. Archived Link
II. බදු ප්‍රතිසංස්කරණ සහ සහනාධාර කප්පාදුව (Fiscal Consolidation)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) Extended Fund Facility (EFF) වැඩසටහනේ කොන්දේසි සපුරාලීම සඳහා රජය විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කර ඇත. උපයන විට බද්ද (APIT) සහ වැට් බද්ද ඉහළ දැමීම නිසා විශේෂයෙන්ම ස්ථාවර වැටුප් ලබන මධ්‍යම පාන්තික වෘත්තිකයන්ගේ පරිභෝජනය සඳහා ඉතිරිවන ආදායම ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. විදුලිය, ජලය සහ ඉන්ධන සහනාධාර ඉවත් කිරීම නිසා මාසික ස්ථාවර වියදම් ඉහළ ගොස් ඇති අතර, මෙය ජනතාව සතු ද්‍රවශීල මුදල් රජය වෙත ඇදී යාමට හේතු වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ද සිය වාර්ෂික ආර්ථික විවරණ මඟින් පෙන්වා දෙන්නේ, රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතා ප්‍රතිපත්ති සහ සහනාධාර කප්පාදුව හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවන පිරිවැය (Living costs) ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
III. ආදායම් විෂමතාව (Inequality)
රටේ සමස්ත ආර්ථිකය 5% ක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කලද ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ Gini Index 37.7 සිට 38.3 දක්වා ඉහළ යාමෙන් මෙරට ආදායම් බෙදීයාමේ පරතරය තවදුරටත් පුළුල් වෙමින් පවතින බවයි. Archived Link
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) බහුමාන අවදානම් දර්ශක වාර්තාව මගින්ද පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 55.7ක්, එනම් මිලියන 12.34ක ජනකායක් බහුමාන අවදානමකට (Multidimensionally Vulnerable) ලක්ව සිටින බවයි. සාමාන්‍ය පවුල් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා දේපළ උකස් කිරීමට සිදුවීම නිසා ඇති වූ ගෘහස්ථ ණය බර සහ අධ්‍යාපන,සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට නොහැකි වීමයි. Archived Link
IV. බැංකු පද්ධතියේ ණය සීමා වීම (Crowding Out Effect)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු දේශීය බැංකු පද්ධතිය පුද්ගලික අංශය වෙත ණය නිකුත් කිරීමේදී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
ව්‍යාපාරිකයන්ට සහ මධ්‍යම පාන්තිකයන්ට පෙර පරිදි පහසුවෙන් ණය (Personal Loans) ලබා ගැනීමට නොහැකි වීම නිසා වෙළෙඳපොළ තුළ මුදල් සංසරණය වීමේ වේගය (Velocity of Money) අඩු වී ඇති අතර, මෙය රට තුළ ක්‍රියාකාරී ද්‍රවශීලතා හිඟයක් (Cash Crunch) මතු කරයි. වැඩිදුර තොරතුරු මෙතනින්.
වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්
ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කෙරුණු පළමු අවස්ථාව මෙයද?
ශ්‍රී ලංකාව මීට පෙරද 2019 ජූලි මාසයේදී ප්‍රථම වතාවට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කරන ලදී. නමුත් රට තුළ ඇති වූ බදු ප්‍රතිපත්ති වෙනස්වීම් සහ ආර්ථික ගමන් මඟේ දෝෂ නිසා 2020 ජූලි වන විට නැවතත් පහළ මැද ආදායම් ලබන රටක් දක්වා පහත වැටුණි. එබැවින්, වත්මන් වර්ගීකරණයෙන් පමණක් ජනතාවගේ ආර්ථික අර්බුදය අවසන් වී ඇතැයි නිගමනය කළ නොහැකි අතර, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ දිගටම සිදු නොකළහොත් මෙම තත්ත්වය නැවත හැරවිය හැකිය.
ඒ අනුව පැහැදිලි වන්නේ, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් මට්ටමට ඔසවා තැබීම තාක්ෂණිකව සහ දත්තමය වශයෙන් නිවැරදි වුවද, එයින් අදහස් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ අතේ මුදල් ගැවසෙන හෝ ජීවන බර අඩු වූ ආර්ථිකයක් නිර්මාණය වී ඇති බව නොවේ. ඉහළ බදු සහ වියදම් නිසා මධ්‍යම පාන්තිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාවට ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකිය.
මෙම වර්ගීකරණයෙන් සැබවින්ම සිදුවන්නේ කුමක්ද? එහි ප්‍රායෝගික බලපෑම කුමක්ද?
* ආයෝජක විශ්වාසය: ජාත්‍යන්තර මට්ටමින් ණය ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි සහ ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට මෙය ධනාත්මක සංඥාවක් ලෙස ක්‍රියා කරයි.
* ජාත්‍යන්තර ආයතන සඳහා මිණුම්දණ්ඩක් වීම. පර්යේෂකයන්, සංවර්ධන හවුල්කරුවන් සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් ආධාර ලබා දීමේදී සහ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී මෙම වර්ගීකරණය දර්ශකයක් ලෙස භාවිත කරයි.
වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබියදී සහ GDP වර්ධනය 5% ක් දක්වා වර්ධනය වී ඇති පසුබිමක වුවද මෙරට සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය තුළින් දැඩි පීඩනයක් ඉස්මතු වී පෙනීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි විග්‍රහයක් ලබා ගැනීම සඳහා අප විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඒ මහතා විසින් සඳහන් කළේ,
“ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට අයිති වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාල තිබෙන්නේ අපේ ඒක පුද්ගල දළ ජාතික ආදායම. ඒක තමයි ලෝක බැංකුව විසින් භාවිතා කරන නිර්ණායකය. ලෝක බැංකුව ඇට්ලස් ක්‍රමය මගින් ගණනය කරන ආකාරයට, ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,635 ට වඩා වැඩි වුනොත් ඒ රට ඉහළ මැදි ආදායම් ලබන රටක් විදිහට තමයි අඳුරගන්නේ. දැන් 2025 වර්ෂයේ ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670 ක් වෙනවා. මේ නිසා අපි 2025 වර්ෂය වෙනකොට මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් කිරීමක් කළා.
අපි මෙතනදි තේරුම් ගන්න ඕනේ ඉහළ මැදි ආදායම් ලබන රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,635 ඉඳලා සාමාන්‍යයෙන් 12,000 දක්වා වගේ පරාසයක පවතින්න පුළුවන්. එතකොට අපි ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ තාම ඉන්නේ අඩියේ. අපි ක්‍රමක්‍රමයෙන් මේ කාණ්ඩය තුළ ඉහළට යන්න ඕනේ. රටේ සාමාන්‍ය තත්ත්වය සැලකුවොත් පහුගිය වර්ෂ දෙකේම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක වර්ධනයක් ලබාගන්නට පුළුවන්කම තිබුණා. නමුත් මේ ඒක පුද්ගල දළ දේශීය ආදායම තුළ ආදායම් බෙදීයාම පිළිබඳව විස්තර වෙන්නේ නැහැ. කිසියම් රටක කිහිප දෙනෙක් ආර්ථිකය තුළ විශාල දායකත්වයක් සපයලා රට දියුණු තත්ත්වයට ගේන්න පුළුවන්.ඒ තුළ ඒක පුද්ගල දළ දේශීය ආදායම ඉහළ අගයක් ලෙස පෙන්වීමේ හැකියාව තිබුණත්, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රටේ හැම කෙනෙක්ම ඉහළ ආදායම් ලබන මට්ටමකට පත්වෙලා තියෙනවා කියලා.
ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි මධ්‍යම පාන්තික ජනතාව මත ඉහළ බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක වීම. ඒ වගේම ලංකාවේ ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉහළ තලයක පවතින්නේ. ඒ කියන්නේ සීමිත පිරිසක් විසින් වැඩි ආදායම් ජනනය කිරීමක් සිද්ධ වෙනවා, ඒකේ වාසි සියලු දෙනාටම බෙදිලා යන්නේ නැහැ. ආර්ථිකයේ බිම් මට්ටමේ විවිධ ගැටලු තියෙනවා. නමුත් ඒවා මඟහැරවාගෙන අපි ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යන්නට ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ එක්ක මේ වාසි, ඒ කියන්නේ ආදායම් ඉහළයාමේ වාසි ජනතාවට බෙදෙන්නට ඕනේ. ඒ බෙදීම ඉතින් දවසෙන් දෙකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ඒක කාලයත් එක්ක සිද්ධ විය යුතු දෙයක්. ඒ සඳහා නිශ්චිත කාලයක් ගත වෙනවා.“යනුවෙනි.
ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට වර්ගීකරණය වීමට ගැන රෝහන්ත අතුකෝරාල මහතා දක්වා තිබු අදහස් මෙතනින්.
එසේම ලංකාව, 2019 න් පසුව දෙවන වරට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ද මෙලෙස අදහස් දක්වා තිබු තිබුණි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ, 2019 වසරට සාපේක්ෂව දරිද්‍රතාවය දෙගුණයකින් පමණ, 22% අගයක් ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව, රටක් තිරසාර ලෙස සංවර්ධන වීමක් ලෙස වර්තමාන තත්වය පෙන්වා දිය නොහැකි බවත්, සිදුවිය යුත්තේ, සුළු පිරිසක් අතරේ පමණක් නොව, සමස්ත සමාජය අතර සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සැලැස්වීම බවත්, නැවත රට පෙර තත්වයට පත් නොකර, දරිද්‍රතාවය සහ ආහාර සුරක්ෂිතතාවය ඇතුළු ජන සමාජයටම බලාපාන දර්ශක හොඳ තත්වයට ගෙන ඒමට රජයේ සියලු පාර්ශව උනන්දු විය යුතු බවයි.
සාරාංශය (Summary)
ඒ අනුව පැහැදිලි වන්නේ ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව පහළ මැද ආදායම් මට්ටමේ සිට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම ධනාත්මක තත්ත්වයක් වුව ද, මෙරට සාමාන්‍ය ජනතාව තවමත් ආර්ථික පීඩනයක සිටින බවයි.
මෙරට ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 4,670 ක් දක්වා ඉහළ යාම මත, ශ්‍රී ලංකාව, ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම්කර තිබෙනවා. 2019 දී පළමු වරට ලංකාව මෙම වර්ගීකරණයට ඇතුළත් වූ අතර, ඉන්පසුව පළමු වතාවටයි මෙම කාණ්ඩයට නම් කර තිබෙන්නේ.
නමුත් මේ වර්ගීකරණයට ඇතුළත් වීමට නියමිත අවම සීමාව වූ ඩොලර් 4,636, ශ්‍රී ලංකාව එම සීමාව පසුකර ඇත්තේ ඩොලර් 34ක ඉතා පටු පරතරයකිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තවමත් ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ පහළම මට්ටමක සිටින බැවින්, ඉහළ මැදි ආදායම් ලබන බොහෝ රටවල සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය සහ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය සන්සන්දනය කිරීමට හැකියාවක් නොමැත.
ඉහළ බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක වීම, ආදායම් ව්‍යාප්ති විෂමතාවය සහ ආර්ථිකයේ බිම් මට්ටමේ පවතින විවිධ ගැටලු හේතුවෙන් ආදායම් ඉහළ යාමේ වාසි ජනතාවට ඇතැම් විට නොලැබෙන අතර, කෙසේ වෙතත් මෙම වර්ගීකරණයත් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක සිට ක්‍රමයෙන් ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු තබා ගත හැකිය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


