මෙරටට නවීන විදුලි දුම්රිය එන්ජින් ගෙන්වා ඇති බව දක්වමින් හුවමාරු වන AI වීඩියෝවක්! 

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නවීන විදුලි දුම්රිය එන්ජිමක් වරාය තුළදී ගොඩබාන ආකාරය බව හඟවමින් වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් අදාළ වීඩියෝව සැබෑ වීඩියෝවක් ලෙස සලකමින් ඒ හරහා රට තුළ සිදුවන සංවර්ධනය සම්බන්ධයෙන් ද අදහස් පළ කර තිබුණා. කෙසේ නමුත් එම වීඩියෝවේ දැක්වුණු අස්වාභාවික බව හේතුකරගනිමින් ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස ලැබුණු ඇතැම් පාඨක ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් එම වීඩියෝව සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. 

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook  

අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook Instagram

අදාළ වීඩියෝව වෙත ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. 

කෙසේ නමුත් අදාළ වීඩියෝව තුළ, මෙය කුමන අවස්ථාවකදී, කුමන දවසකදී සිදුවන්නක් ද යන්න හෝ මෙම වීඩියෝ තුළ දැක්වෙන වාහන මොනවාද යන්න හෝ එම වාහන ගෙන්වීමේ අරමුණ සම්බන්ධයෙන් හෝ කිසිදු පැහැදිලි විස්තරාත්මක තොරතුරක් අන්තර්ගතව තිබුණේ නැහැ.

ඒ අනුව අප විසින් මෙය සැබෑ සිදුවීමක්ද, මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න සොයා බැලීමට කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම):

අදාල වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ එහි දැක්වෙන්නේ නවීන, විදුලි දුම්රිය එන්ජිමක් බවයි. මෙම දුම්රිය එන්ජිමේ ඉදිරිපස බොනට්ටුව මත රුසියානු දුම්රිය සේවයේ නිල ලාංඡනය පැහැදිලිව සටහන්ව ඇත.

එහි අනුක්‍රමික අංකය SAT210-580 ලෙසද දක්වා ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ එය රුසියානු දුම්රිය සේවයට අයත් හෝ රුසියාවේ නිෂ්පාදිත EP2K කාණ්ඩයේ මගී ප්‍රවාහන විදුලි දුම්රිය එන්ජිමක් බවයි. මෙය දුම්රිය එන්ජින් රුසියාවේ කොලොම්නා දුම්රිය එන්ජින් කර්මාන්තශාලාව (Kolomna Locomotive Works) විසින් නිෂ්පාදනය කරන 3 kV DC ප්‍රධාන මාර්ග මගී ප්‍රවාහන විදුලි දුම්රිය එන්ජින් වර්ගයක් වන අතර, විශේෂයෙන්ම රුසියාවේ සහ ඒ අවට කලාපවල භාවිත වන පුළුල් දුම්රිය මාර්ග (මිලිමීටර් 1520) සඳහාම නිපදවා ඇත.

මෙවැනි දුම්රිය එන්ජින් ලංකාවේ තිබේද?

ශ්‍රී ලංකාවේ දුම්රිය ජාලය ක්‍රියාත්මක වන්නේ ඩීසල් බලයෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජින් (M කාණ්ඩය සහ S කාණ්ඩය වැනි) මගිනි. 3 kV DC මගී දුම්රිය එන්ජින් සඳහා අවශ්‍ය වන පද්ධති (overhead electrification infrastructure) කිසිවක් දැනට ශ්‍රී ලංකාව තුළ සක්‍රීයව නොමැත.

අදාල දුම්රිය එන්ජින් මෑතකදී ලංකාවට ගෙන්වා තිබේද?

නැත. මෙම වීඩියෝව තුළ අදාල දුම්රිය එන්ජින් මෑතකදී මෙරට වරායකින් ගොඩබා ඇති බව හඟවා තිබීම නිසා මෑතකදී රුසියාවේ නිෂ්පාදිත විදුලි දුම්රිය එන්ජින් මෙරටට ගෙන ඒමක් සිදුකර ඇත්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා. මෙවැනි විදුලි දුම්රිය එන්ජින් මෙරටට රැගෙන ඒමක් සිදු කර ඇත්නම් එය මෙරට දුම්රිය පද්ධතිය තුළ දැවැන්ත වෙනසක් ඇතිවන්නක් වන අතර, ඒ හේතුවෙන් එවැන්නක් සිදුවී ඇත්නම් එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍ර විසින් අනිවාර්යයෙන් වාර්තා කර තිබිය යුතුයි. 

කෙසේ නමුත් අප විසින් සිදුකළ පරීක්ෂාවේ දී, මෑතකදී ශ්‍රී ලංකාවට එවැනි විදුලි දුම්රිය එන්ජින් ආනයනය කිරීමක් සම්බන්ධයෙන් කිසිදු මූලාශ්‍රයක් විසින් වාර්තාකර තිබුණේ නැහැ.

කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක්

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී එහි යම් අස්වාභාවික බවක් නිරීක්ෂණය කළ හැකියි. 

  • වරායක් තුළ මෙවැනි විශාල දුම්රිය එන්ජිමක් ගොඩබාන අවස්ථාවකදී මිනිසුන් ඒ ආසන්නයේම රැඳී සිටීම අස්වාභාවික ය.  
  • වීඩියෝව ධාවනය වන විට ඇතැම් වාහනවල ඉදිරිපස කොටස්, රෝදවල හැඩය ක්ෂණිකව සුළු වෙනස් කම් වලට ලක් වන බව නිරීක්ෂණය කළ හැකිය. 
  • පසුබිමේ ඇති දොඹකර, බහාලුම් සහ ගොඩනැඟිලිවල ජ්‍යාමිතික හැඩතල සහ රේඛා සෘජු නොවන අතර, වීඩියෝවේ ඉදිරියට යත්ම ඒවායේ හැඩයන් අස්වාභාවික ලෙස විකෘති වීම හෝ එකිනෙක පැටලීම සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය.
  • වීඩියෝව දර්ශනයෙන් දර්ශනයට නිරීක්ෂණය කළහොත්, එක් තත්පරයක ඇති වස්තුවක් (උදාහරණයක් ලෙස වාහනයක පසුපස කොටස හෝ පසුබිමේ ඇති මිනිස් රූප වැනි දෑ) ඊළඟ තත්පරයේදී  අතුරුදහන් වීම හෝ වෙනත් හැඩයක් ගැනීම සිදුවේ.

මෙම සියලු තාක්ෂණික සහ දෘශ්‍ය සාධක එකතු කර බැලීමේදී මෙය සැබෑ වරායක සිදු වූ දර්ශන පෙළක් නොවන බව පැහැදිලි වන බැවින් අප විසින් මෙම වීඩියෝවේ දර්ශන කෘතිම බුද්ධි හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී තහවුරු වූයේ මෙම වීඩියෝව සැබෑ වීඩියෝවක් නොවන බවත් කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක් වන බවත් ය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය 

මෑතකදී ශ්‍රී ලංකාවට විදුලි දුම්රිය එන්ජින් කිසිවක් ආනයනය කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද සහ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ද විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විදුලි දුම්රිය එන්ජින් වරායකින් ගොඩබාන වීඩියෝවක් ලෙස දක්වා ඇති වීඩියෝව සැබෑ වීඩියෝවක් නොවන බවයි. මෑතකදී එලෙස විදුලි දුම්රිය එන්ජින් කිසිවක් මෙරටට ආනයනය කිරීමක් සිදුවී නොමැති බව ඔවුන් විසින් තහවුරු කළා. 

එසේම මෙරට දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී විදුලි දුම්රිය එන්ජින් ආනයනය කිරීමේ සූදානමක් ඇත්ද, යන්න සම්බන්ධයෙන්ද අප විමසීමක් කලා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, මේ වසර තුළ එලෙස විදුලි දුම්රිය එන්ජින් ආනයනය කිරීමක් සිදු නොවන බවයි. දැනට ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන බවත්, ලබන වසරේ රේල් පීලි සකස් කිරීමේ කටයුතු ආරම්භ කරන බවත්,  එය අවසන් වීමෙන් පසු  එන්ජින් ආනයනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකි වන බවත් ඔවුන් සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මෑතකදී අත්සන් කරන ලද දුම්රිය ක්ෂේත්‍රයේ සහයෝගීතා ගිවිසුම (MoU)

කෙසේ නමුත් ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය සඳහා ශ්‍රී ලංකාව රුසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.  ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ තාක්ෂණික ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා රජය සහ රුසියාව අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.  2026 මැයි 19 වනදා ඊට  අත්සන් තබා ඇත.

රුසියාවේ කසාන් (Kazan) නගරයේ පැවැත්වුණු 17 වන ජාත්‍යන්තර ආර්ථික සංසදයට (XVII International Economic Forum) සමගාමීව මෙම ද්විපාර්ශ්වික ගිවිසුම්ගත වීම සිදු වී තිබේ.  ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද, රුසියාව වෙනුවෙන් එරට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය දිමිත්‍රි ස්වෙරෙව් (Dmitry Zverev) මහතා ද මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය හා නවීකරණය කිරීම සඳහා රුසියාවේ උසස් තාක්ෂණික දායකත්වය ලබාදීම මෙහි අරමුණයි. මෙරට දුම්රිය මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුසියානු ආයෝජන අවස්ථා ලබාගැනීම ප්‍රවර්ධනය කිරීම මේ අනුව සිදු වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කොළඹ උප නාගරික දුම්රිය පද්ධතිය විද්‍යුත්කරණය සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය (Colombo Suburban Railway Project) 

කොළඹ උප නාගරික දුම්රිය ජාලය විද්‍යුත්කරණය (Electrification) සහ නවීකරණය කිරීමේ මූලික පියවර 2027 වසරේ සිට අදියර කිහිපයකින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. දැනට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන දේශීය දුම්රිය සේවය, නවීන තාක්ෂණයෙන් යුත් විදුලි දුම්රිය (Electric Multiple Units – EMU) ධාවන පද්ධතියක් දක්වා පරිවර්තනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද මෙම සැලැස්ම සඳහා අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය ද මෑතකදී හිමිව තිබේ.මෙම නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අධික මගී තදබදයක් පවතින පහත සඳහන් දුම්රිය තීරූ ත්‍රිත්වය විද්‍යුත්කරණය කිරීමට නියමිතය.

   1. ප්‍රධාන මාර්ගය: කොළඹ කොටුව සිට රාගම දක්වා (මෙම කොටසේ පවතින ද්විත්ව මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කෙරෙන අතර, ඉන් සිව්වන මංතීරුව විදුලි දුම්රිය සඳහාම වෙන් කෙරේ.

   2. වෙරළබඩ මාර්ගය: කොළඹ කොටුව සිට පානදුර දක්වා.

   3. කැළණිවැලි මාර්ගය: මරදාන සිට මාකුඹුර දක්වා.

පසුව මෙම මාර්ග පද්ධතීන් කොළඹ නගරය වටා එකිනෙකට සම්බන්ධ වූ පුළුල් “විදුලි දුම්රිය වළල්ලක්” (Suburban Rail Loop) ලෙස ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට වරායකදී විදුලි දුම්රිය එන්ජිමක් ගොඩබාන ආකාරය ලෙස දක්වමින් හුවමාරු වන වීඩියෝව සැබෑ සිදුවීමක වීඩියෝවක් නොව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝවක් බවයි. 

එසේම මෑත කාලීනව එලෙස විදුලි දුම්රිය එන්ජිමක් මෙරටට ආනයනය කිරීමක් හෝ මෙරට වරායකට ගොඩ බෑමක් සිදුවී නොමැත. කෙසේ නමුත්, මෙරට දුම්රිය මාර්ග නවීකරණය කිරීමේ ව්‍යාපෘති යටතේ අනාගතයේ එවැනි විදුලි දුම්රිය එන්ජින් මෙරටට ගෙන ඒමේ සූදානමක් ඇතත්, එය මෙම වසර තුළ සිදු වීමට ඉඩක් නොමැති බව ප්‍රවාහන අමාත්‍යාංශය විසින්ද තහවුරු කර ඇත.

Result Stamp

Title: මෙරටට නවීන විදුලි දුම්රිය එන්ජින් ගෙන්වා ඇති බව දක්වමින් හුවමාරු වන AI වීඩියෝවක්!

Fact Check By: B.P Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *