දේශපාලනඥයින් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස හුවමාරු වන අසත්‍ය සටහන්! 

Misleading Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් අසත්‍යය සහ නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි සත්‍යය සහ නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාවන් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

Claim:

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජන බලවේගයේ (NPP) නායකයෙකු මෙන්ම වත්මන් අමාත්‍යවරයෙකු වන බිමල් රත්නායක මහතා, තමා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් ලිපියක් නිසා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

Fact-Check :

අමාතවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් ස්ථානයකදී සිදු කර නොමැති බව අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණා. එමෙන් ම බිමල් රත්නායක මහතා තංගල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී ඇති බව සැබෑ නමුත් ඔහු ආනන්ද විද්‍යාලයට පැමිණි වකවාණුවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ තේරීපත් වී නොතිබුණි.

බිමල් රත්නායක මහතාගේ මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, මෙලෙසින් මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් හේතුවෙන් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට අධ්‍යාපන වරම් ලැබූ බවට පළ වන තොරතුරු අසත්‍ය බවයි. එමෙන් ම අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් හෝ කර නොමැති බව ද, ඔවුන් තහවුරු කළා.

1984 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඉහළ ලකුණු ලබා ගෙන 1985 6 වෙනි ශ්‍රේණිය සදහා කොළඹ රාජකීය විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලයට අයැදුම් කළ බව ත්, අදාළ පාසල් දෙකෙන්ම ඒ සදහා බදවා ගැනීමට පැවැත්වූ විභාගයන් ද සමත් ව පාසලට ඇතුළත් කිරීම සදහා පාසල් දෙකින් ම ලිපි ලැබූ බව ත් සදහන් කළා. එම ලිපි ද, අපගේ ඉල්ලීම මත ඔවුන් අප වෙත යොමු කළ අතර එහිදී තහවුරු වූයේ ද, අමාත්‍යවරයා ඉහත සදහන් කළ පාසල් දෙකට ඇතුළත් කිරීම සදහා පැවැත්වූ විභාගයෙන් ද ඉහළින් සමත්ව ඇති නිසා පාසල් සදහා ඇතුළත් කිරීමට සුදුසුකම් ලැබූ බවට විදුහල්පතිවරුන් විසින් පාසල් දෙකෙන්ම 1985 වසරේ අප්‍රේල් විසි ගනණ් වල එම ලිපි එවීම මත මෙය දේශපාලනය මැදිහත් වීමක් නිසා පාසලට ඇතුළත් වීමක් නොවන බවයි. කොළඹ රාජකීය විදුහලේ ලිපියට පෙර ආනන්ද විද්‍යාලයේ ලිපිය ලැබූ බැවින් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර ඇති බව ත්, ඔවුන් වැඩි දුරටත් පැවසුවා.

එමෙන් ම අමාත්‍යවරයා සිටින , 1984 තංගල්ල ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්වය සමත් දරුවන් බවට සදහන් කළ ඡායාරූපයක් ද, ඔවුන් අප වෙත තොරතුරු තහවුරු කර ගැනීම සදහා තවදුරටත් අප වෙත ඉදිරිපත් කෙරුවා. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙහි අප එම ලිපි සහ ඡායාරූප පළ නොකරනු ලැබේ.

Claim

සමාජ මාධ්‍ය තුළ වීඩියෝ පළ කරන පුද්ගලයන්ගෙන් බද්දක් අය කිරීමට සූදානම් බවත්, බදු මුදලට වඩා ඉපයීමට ඔවුන් දක්ෂ විය යුතු බවත්, අදක්ෂ පුද්ගලයන්ද අන්තර්ගත නිර්මාණය කිරීම හරහා කාර්යක්ෂමතාවය අඩුවීමෙන් රට බංකොලොත් වන බවටත් ප්‍රකාශයක් අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදුකළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

Facebook | Archived Link

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. අප විසින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිදුකර තිබූ වාර්තා සහ මෑත කාලීනව අමාත්‍යවරයා විසින් සිදු කරන ලද අනෙකුත් ප්‍රකාශයන්ද පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වූයේ අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

අදාල සටහන සිරස News 1st ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර අප විසින් අදාළ සටහන සිරස News 1st හි පලවූවක් ද යන්න පරීක්ෂා කිරීමටද කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ අදාළ සටහන News 1st නිල සමාජ මාධ්‍ය ගිණුම් කිසිවක පළ කර නොමැති බවයි.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා

අප විසින් මේ සම්බන්ධයෙන් අනිල් ජයන්ත මහතාගේ මාධ්‍ය ලේකම්වරියගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඇය විසින් ද සඳහන් කළේ මෙවැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදුකර නොමැති බවයි.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය වීඩියෝ නිර්මාණකරුවන්ගෙන්  “views” මත පදනම්ව කාර්යක්ෂමතාව මැන බලා අය කරන විශේෂ බද්දක් දැනට ක්‍රියාත්මක වන්නේ නැත. 

ක්‍රියාත්මක වී ඇති ඩිජිටල් සේවා වැට් බද්ද (Digital Services VAT)

2026 අංක 14 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත  මඟින් විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් සඳහා වූ 18% වැට් බද්ද 2026 ජූලි 1 වනදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක කර ඇත. Meta (Facebook/Instagram), Google (YouTube), TikTok වැනි විදේශීය සමාගම් ලංකාවේ පරිශීලකයන්ට සපයන ඩිජිටල් දැන්වීම්, ප්‍රචාරණ කටයුතු සහ දායකත්ව සේවා (Streaming Subscriptions) සඳහා මෙම 18% බද්ද අය කරනු ලබයි.

එසේම, 2026 අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට, බැංකු ගිණුම් විවෘත කිරීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීමට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත. සමාජ මාධ්‍ය (Monetization, Brand Deals) හෝ Freelance ව්‍යාපෘති හරහා උපයන සෘජු ආදායම ලංකාවේ පවතින සාමාන්‍ය පුද්ගලික ආදායම් බදු ව්‍යුහයට (Personal Income Tax) යටත් වේ. වසරකට ලබන ශුද්ධ ලාභය බදු නිදහස් සීමාවන් ඉක්මවා යන්නේ නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) බදු ගෙවිය යුතුය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

Claim

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“රඛිත හා චරිත් ලබාගත් ලක්ෂ 1200 න් කොටසක් සමන්තභද්‍ර චීවරධාරියා හරහා ඉරාජ් පේෂල සහ තව පිරිසක් අතර බෙදා දීලා” යනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Tiktok | Archived Link

මේ සම්බන්ධ තවත් සටහන් පහතින්.

Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් සඳහන් කර නොමැත. එසේම අප විසින් මෑතකදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන්ද පරීක්ෂාවට ලක් කල අතර එහිදී ද පැහැදිලි වූයේ මෙවැනි ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කර නොමැති බවයි.

අදාළ සටහන මව්බිම පුවත්පතේ සමාජ මාධ්‍ය ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ මව්බිම පුවත්පත මගින් මෙවැනි සටහනක් පළකර නොමැති බවයි. 

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම්

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ මාධ්‍ය ලේකම් විසින් ද සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

මෙම සටහනට පසුබිම් වන සිදුවීම වන්නේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නමැත්තාගේ රැඳවුම් නියෝග අවලංගු කර, ඔහු ආරක්ෂා කර දීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලසක් ලබා ගැනීමේ චෝදනා නඩුවයි. හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ (SJB) හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ හැන්නදිගේ යන තිදෙනා මෙහි ප්‍රධාන සැකකරුවෝ වෙති.මෙම සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මොවුන්ව 2026 ජූනි මස 25 වන දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2026 ජූලි 28 වන දින සැකකරුවන් තිදෙනාටම ඇප නියම කරන ලදී. එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම විය.නීතීඥ රඛිත රාජපක්ෂ සහ අරුණ හැන්නදිගේ යන අය ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු මුදාහැර තිබේ.නමුත් චරිත් අබේසිංහ මහතාට නියමිත ඇප කොන්දේසි එදිනම සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළිත් රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කර ඇත. 

අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනෙන අවස්ථාවේදී “හරක් කටා” නමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12) අල්ලස් මුදලින් කොටසක්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් වෙත ලබා දී ඇති බවට විමර්ශකයින් වෙත තොරතුරු ලැබී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. කෙසේ නමුත් අප විසින් අධිකරණ වාර්තාකරුවන්ගෙන් සිදුකළ විමසීමේදී ඔවුන් විසින් තහවුරු කළේ අදාළ බෞද්ධ භික්ෂුවගේ නම කුමක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව එහිදී සඳහන් නොකළ බවයි. මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතැනින් සහ මෙතනින්.

Claim

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

රත්න ශ්‍රී විජේසිංහ යනු සංස්කෘතික තක්කඩියකු බවත් ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ආණ්ඩුව තවත් පිරිසුදු වූ බවත් පවසමින් අමාත්‍ය ලාල් කාන්ත විසින් ප්‍රකාශයක් සිදුකර ඇති බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ සම්බන්ධ තවත් සටහන් පහතින්.

Facebook Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා කර තිබිය යුතුයි. කෙසේ නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ අමාත්‍යවරයා විසින් සිදුකළ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර නොමැති බවයි. එසේම අප විසින් අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් මෑතකදී සිදු කරන ලද අනිකුත් ප්‍රකාශයන්ද පරීක්ෂාවට ලක් කළ අතර එහිදීද පැහැදිලි වූයේ අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

එසේම අදාළ සමාජ මාධ්‍ය සටහන Lanka Truth නමැති ෆේස්බුක් පිටුවක ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර එම ෆේස්බුක් පිටුව ඔස්සේද සටහනක් පළ කරමින් සඳහන් කර ඇත්තේ මෙම පෝස්ටුව තම සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පළ කරන ලද්දක් නොවන බවත් ව්‍යාජ සටහනක් බවත්ය.

Facebook

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා

අප විසින් සිදුකළ විමසීමේදී කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ද සඳහන් කළේ අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් ය.

ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ  මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මෙවැනි සටහනක් හුවමාරු වී තිබුණේ එවැනි පසුබිමකදී ය. 

කෙසේ නමුත්, රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු ඉල්ලා අස්වී ඇත්තේ සම්පූර්ණයෙන්ම ඔහුගේ පෞද්ගලික හේතූන් මත මිස රජය සමඟ පවතින කිසිදු ගැටලුවක් නිසා නොවේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේසිංහ මහතා පවසා ඇත්තේ, මා පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වීමට තීරණය කළා. ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි මා තැබූ විශ්වාසය එලෙසම පවතින අතර, මම අඛණ්ඩව ඔවුන්ට සහයෝගය දක්වනවා” යනුවෙනි.

Claim

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනාධිපතිවරයාගේ ආර්යාව කතෝලික භක්තිකයකු බව දක්වමින් ඒ හා සම්බන්ධව අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් ප්‍රකාශයක් සිදු කළ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

Facebook | Archived Link

මේ සම්බන්ධ තවත් සටහන් පහතින්.

Facebook 

මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප විසින් සිදු කළ පරීක්ෂාවේදී අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් ජනාධිපතිවරයාගේ ආර්යාව සම්බන්ධයෙන් සඳහන් කර ඇති මෙවැනි ප්‍රකාශයක් කිසිදු මූලාශ්‍රයක් ඔස්සේ හඳුනා ගැනීමට ලැබුණේ නැහැ. 

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා

එසේම අප විසින් සිදුකළ විමසීමේදී අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින්ද සඳහන් කළේ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ ආර්යාව සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

Claim :

කංජිපානී පාර්ශවය වගේම දෙහිබාලේ පාර්ශවය එක්කත් අපි රජයක් විදියට සාකච්ඡා කරලා කාවඩි ඉවත් කරා යනුවෙන් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ප්‍රකාශයක් කර ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

Fact-Check :

අමාත්‍යවරයා විසින් මේ ආකාරයෙන් ප්‍රකාශයක් කර නොමැත. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් ද, ඒ පිළිබඳව තහවුරු කරනු ලැබුවා. මෙවැනි පුවතක් ITN පුවත් වල හෝ වාර්තා කර නොමැති අතර එම නිල ෆේස්බුක් පිටුව මගින් ද, මෙම සටහන් අසත්‍ය බවට පුවත් වාර්තා කර තිබුණා.

Claim :

Facebook | Archived Link

Fact-Check :

අග්‍රාමාත්‍යවරිය විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් ඇය කළ බවට කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි. වෙනත් කිසිදු ස්ථානයක හෝ අග්‍රාමාත්‍යවරිය විසින් මෙම ප්‍රකාශයක කළ බවට දැක්වෙන කිසිදු සාක්ෂියක් දැක ගන්නට නොලැබුණි. අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරියගෙන් ද, විමසා සිටි අතර ඇය තහවුරු කළේ, මෙම සටහන් අසත්‍ය බව ත්, අග්‍රාමාත්‍යවරිය මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බවයි.

Claim :

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් “රාජ්‍ය සේවකයාට රටේ ආර්ථිකයට ගැළපෙන පඩියක් දෙන්නේ කැමතිනම් ඉන්න නැත්නම් තීරණයක් ගන්න” යනුවෙන් ප්‍රකාශ කළ බව දක්වමින් සටහනක් අමාත්‍යවරයා සභාවක් අමතන වීඩියෝවක් සමග සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණි.

Facebook 

මීට අදාළ සටහන් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්. 

Instagram Youtube Facebook 

අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදු කළේද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check :

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) වෘත්තිකයින් 582 දෙනෙකුට දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සම්බන්ධ වෙමින් ජූලි 18 දින පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේදී උත්සව සභාව අමතා තිබුණා. ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව එම අවස්ථාවට අදාළ වීඩියෝවකි. මෙම පත්වීම්ලාභී 582 කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අදාල උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් සභාව අමතන ආකාරය දැක්වෙන වීඩියෝ මාධ්‍ය ඔස්සේ පලකර තිබූ අතර, එම වීඩියෝ තුළ අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයන්ට “කැමතිනම් ඉන්න, නැත්නම් යන්න” යනුවෙන් ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති බව දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. එම වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්

එම අවස්ථාවේ අමාත්‍යවරයා විසින් සිදු කරන ප්‍රකාශය ඇතුළත් වීඩියෝ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේද පල කර තිබුණා. එම වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ වීඩියෝවේ සටහනෙහි “රාජ්‍ය සේවකයාට රටේ ආර්ථිකයට ගැලපෙන පඩියක් දෙන්නේ. කැමතිනම් ඉන්න, නැත්නම් තීරණයක් ගන්න” යනුවෙන් සඳහන් කර ඇති නමුත්, අමාත්‍යවරයාගේ ප්‍රකාශය දැක්වෙන එම වීඩියෝව සම්පූර්ණයෙන් නැරඹීමේදී පෙනී යන්නේ අමාත්‍යවරයා විසින් එම කතාවේ අවස්ථා දෙකකදී අරමුණු දෙකකින් සිදු කරන ලද ප්‍රකාශ දෙකක් Top News නමැති මෙම සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ එක් ප්‍රකාශයක් ලෙස හඟවමින් ඉහත සටහන නිර්මාණය කර ඇති බවයි. එලෙස එම සටහන වාර්තා කිරීම නිසාවෙන් මෙම නොමග යැවීම සිදු වී ඇත.

Facebook 

රාජ්‍ය සේවකයාට තෘප්තිමත්ව ජීවත් වෙන්න රටේ ආර්ථිකයට ගැලපෙන පඩියක් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන බවට අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළද, එම ප්‍රකාශයට සම්බන්ධ කරමින් කැමතිනම් ඉන්න නැත්නම් තීරණයක් ගන්න යනුවෙන් ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර නැත. 

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සම්පූර්ණ වීඩියෝවේ අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන ප්‍රකාශය පහතින්.

තෘප්තියෙන් සේවය කරන්න පුළුවන් වටපිටාවක්, වැටුපක්, පුහුණුව මේ සියල්ල සහතික කරන්න අපිට ඕනෑ. අපි කැමති වෙන්නේ ඔබට ශක්තිමත්ව මේ රාජ්‍ය සේවය නිල දෙන්න පුළුවන් විදිහට වැටුපක් ලබා දෙන්න. මේ රටේ ආර්ථිකයට සාපේක්ෂව. එංගලන්තයේ ආර්ථිකයත් එක්ක සංසන්දනය කරලා තේරුමක් නෑ. සිංගප්පූරුවේ ආර්ථිකයත් එක්ක සංසන්දනය කරලා තේරුමක් නෑ. අපේ භාණ්ඩාගාරය, රාජ්‍ය ආදායම ඒ සියල්ල සලකලා බලලා මේ මොහොතේදී රාජ්‍ය සේවකයාට තෘප්තිමත්ව ජීවත් වෙන්න අවශ්‍ය කරන වැටුපක් අපිට ලබා දීලා තිබෙනවා.

අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ දිස්ත්‍රික්කය ඇතුළෙම පත්වීම් ලබා දෙන්න. දැන් හොයන්න එපා දිස්ත්‍රික්කයකට පත්වීම ලබා දුන්නට පස්සේ බස් කීයක යන්න වෙනවද කියලා. ඔන්න මම කියලම යවන්නේ, අරයට නම් එක බස් එකක ගිහිල්ලා බහින්න පුලුවන්. මට බස් තුනක යන්න වෙනවා. එහෙමත් කියනවා. තාම ට්‍රේනින් විතරයි, තාම කරන්නේ මොකක්ද කියලා හරියට දන්නෙත් නැහැ. හැබැයි බස් තුනක යන්න බෑ. එහෙනම් මේකට එන්න එන්න එපා

මේ අපි ඔබට ලබා දීලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට අයිති රෝහල් වලට. පළාත් සභා රෝහල් වලට යවන්නේ නැහැ. තාම මධ්‍යම ආණ්ඩුවට අයිති රෝහල් වලට යවන්නේ. ඒ කියන්නේ ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල්. මේවා කොහේවත් ඈතක නෙමෙයි තියෙන්නේ, ප්‍රධාන මාර්ග ආසන්නයේ තිබෙන ඒවා. ඒ නිසා අවසානයේදී අපි සියලු දෙනා එකතු වෙලා ඉහළම ගුණාත්මක සේවාවක් ජනතාවට සැපයීම තමයි ඉලක්ක කරගත යුත්තේ.”

පලමු ප්‍රකාශය තුළ අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයාට රටේ ආර්ථිකයට ගැලපෙන වැටුපක් ලබාදී තිබෙන බවට එනම් තෘප්තියෙන් සේවය කළ හැකි වැටුපක් ලබා දී ඇති බවට ප්‍රකාශ කරන ආකාරය හඳුනාගත හැකියි. ඔහු ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සේවකයාට වැටුප් ලබා දෙන්නේ එංගලන්තයේ හෝ සිංගප්පූරුවේ ආර්ථිකයන් සමඟ සංසන්දනය කර නොව, මේ රටේ ආර්ථිකයට සාපේක්ෂව සහ භාණ්ඩාගාරයේ පවතින රාජ්‍ය ආදායම් තත්ත්වයන් සලකා බලා බවයි.

“කැමතිනම් ඉන්න, නැත්නම් යන්න” වැනි ප්‍රකාශයක් අමාත්‍යවරයා සිදු කරනු ලබන්නේ, ඉහත පලමු ප්‍රකාශයෙන් වෙන්ව කතාවේ අවසන් භාගයේදී ඔහු එම අවස්ථාවේ පත්වීම් ලද සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් අමතමින් සිදු කරන තවත් ප්‍රකාශයක් වන අතර එය මෙම වැටුප් සම්බන්ධයෙන් සිදු කරන ලද කතාවක් නොවේ.

එම දෙවන ප්‍රකාශය තුළ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ පත්වීම් ලද සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන්ට හැකි තරම් දිස්ත්‍රික්කය තුළම පත්වීම් ලබාදීමට උත්සාහ කරන බවයි. එසේ වුවද පුහුණු කාලසීමාව තුළ දී පවා ගමනාගමනයේ දුෂ්කරතා පවසමින් (බස් රථ කිහිපයක ගමන් කිරීමට සිදුවීම ආදී) වෙනත් රෝහල් වලට මාරු වීම් ඉල්ලන බවත්, දිස්ත්‍රික්කය තුළම පත්වීම් ලබාදුන් පසුවත් රැකියාවට යාමේදී දුර සම්බන්ධයෙන් ගැටළු ඇති කර නොගන්නා ලෙසත් පත්වීම් ලැබුණු පසු දුෂ්කරතා පවසමින් සේවය මගහැරීමට උත්සාහ නොකරන ලෙසත් අමාත්‍යවරයා එම පත්වීම් ලද නිලධාරීන්ට පවසනවා. එලෙස කාර්‍යක්ෂමව සේවයට වාර්තා කළ නොහැකි නම් එවැනි අය “එහෙනම් මේකට එන්න එපා” යනුවෙන් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය වැටුප් සම්බන්ධව ප්‍රකාශ කරන ලද්දක් නොවේ. එම ප්‍රකාශය අලලා “කැමතිනම් ඉන්න, නැත්නම් යන්න” යන ඉහත වීඩියෝවේ දැක්වෙන සටහන නිර්මාණය කර ඇත.

අදාළ ප්‍රකාශ අමාත්‍යවරයා විසින් අවස්ථා දෙකකදී කළ ප්‍රකාශයන් වන අතර, සමස්ත රාජ්‍ය සේවකයන් ඉලක්ක කර ගනිමින් තෘප්තිමත් විය හැකි ආකාරයේ වැටුපක් ලබාදී ඇති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, දෙවන අවස්ථාවේ අමාත්‍යවරයා අදාළ උත්සව අවස්ථාවේදී පත්වීම් ලද නිලධාරීන් අමතමින්, සේවයට වාර්තා කිරීමේදී දුෂ්කරතා පවසමින් සේවය මගහැරීමට උත්සාහ කරන්නේ නම් ‘මේකට එන්න එපා’ යනුවෙන් ප්‍රකාශ කර ඇත. මෙම දෙවන ප්‍රකාශය වැටුප් සම්බන්ධව ප්‍රකාශ කරන ලද්දක් නොවේ. සේවයට වාර්තා කිරීමේදී නිලධාරීන්ට කාර්‍යක්ෂමව සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයකි. ඒ අනුව එම ප්‍රකාශය සමස්ත රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස හැඟවීම නොමග යවන සුළු බව පැහැදිලි වේ. 

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේඛම් විසින්ද සඳහන් කළේ අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස හඟවමින් හුවමාරු වන ඉහත සටහන් නොමග යවන සුළු බවයි.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් “රාජ්‍ය සේවකයාට රටේ ආර්ථිකයට ගැලපෙන පඩියක් දෙන්නේ කැමතිනම් ඉන්න, නැත්නම් තීරණයක් ගන්න” යනුවෙන් ප්‍රකාශ කළ බවට හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. මෙම ප්‍රකාශය එකම කතාවේ අවස්ථා දෙකකදී සිදු කළ ප්‍රකාශයන් තනි ප්‍රකාශයක් ලෙසට දක්වමින් නොමග යන අන්දමින් වාර්තා කර ඇත.

අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි 18 සෞඛ්‍ය කාර්‍ය සහායක වෘත්තිකයන් 582 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය සේවකයාට මෙරට ආර්ථිකයට සාපේක්ෂව තෘප්තිමත් විය හැකි ආකාරයේ වැටුපක් ලබා දෙන බවයි. එසේම එම අවස්ථාවේ පත්වීම් ලද සෞඛ්‍ය කාර්‍ය සහායක වෘත්තිකයන් අමතමින් ඔවුන්ට හැකිතරම් දිස්ත්‍රික්කය තුළම පත්වීම් ලබා දීමට උත්සහ කළ බවත්, එසේ සිදු කර තිබියදීත් සේවයට වාර්තා කිරීමේදී විවිධ දුෂ්කරතා පවසමින් සේවය මග හැරීමට උත්සහ කරන අයවලුන් සම්බන්ධයෙන් එසේ නම් ‘මේකට එන්න එපා’ යනුවෙන් ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් නොවේ. වැටුප් පිළිබද  එය සමස්ත රාජ්‍ය සේවකයන් අමතමින් සිදුකළ ප්‍රකාශයක් ලෙස හඟවමින් සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය කර ඇති සටහන් නොමග යවන සුළු බව පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Result Stamp

Title: දේශපාලනඥයන් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස හුවමාරු වන අසත්‍ය සටහන්!

Fact Check By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *