දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
දිවයිනේ ප්රමුඛ පෙළේ ජනප්‍රිය බාලිකා පාසලක සේවය කරන ඉංග්‍රීසි ගුරුවරියක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර විලාසිතා මෝස්තර නිරූපණ තරඟාවලියකට සහභාගී වී ඇති බව පවසමින් මෑතකදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් වේගයෙන් සංසරණය වුණා.
එම සටහන්වල දක්වා ඇත්තේ, ඇය එම තරඟාවලියේදී බිකිනි ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙන් ගුරු වෘත්තියට නිග්‍රහයක් වී ඇති බවත්, එම නිසා ඇයට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම බාලිකා පාසලේ අනෙකුත් ගුරුවරුන් පිරිසක් විදුහල්පතිනියගෙන් ඉල්ලා ඇති බවත්ය. ඇය එම තරඟාවලිය නියෝජනය කරන අයුරු බව කියමින් රූප රාමු කිහිපයක්ද සහිතව ඡායාරූප සටහන් පළ කර ඇති මෙම පෝස්ටුව සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල පිරිසකගේ දැඩි කතාබහට ලක්ව තිබුණා. සැබවින්ම මෙහි සිටින්නේ, ශ්‍රී ලාංකික ගුරුවරියක් ද? Factcrescendo අපි ඒ පිළිබඳව සොයා බැලුවේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


මෙම සමාජ මාධ්‍ය සටහන් සත්‍ය බවට සිතා බොහෝ දෙනෙකු මෙම සටහන සඳහා ප්‍රතිචාර දක්වා තිබුණා.

මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම සටහන් පළ වුවද, මෙහි නිල මූලාශ්‍රයක් සඳහන් වී නොමැති වීම ත්, මෙවැනි සිදුවීමක් සත්‍ය වශයෙන් මෙරට පාසල් ගුරුවරියක පිළිබඳ වූවානම්, ඇය පිළිබඳ තොරතුරු පවා සමාජ මාධ්‍ය වල පළ වීම නොවැළැක්විය හැකි කරුණක් වුවද, එවැනි තොරතුරක් දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් අප මෙරට ගුරුවරියක් බව කියූ ඇය විලාසිතා මෝස්තර නිරූපණ තරඟාවලියට සහභාගි වූ බව කියූ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඡායාරූපයේ සිටන්නේ ග්වාතමාලාවේ තරුණියක්
එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ රූප රාමු රැගත් ෆේස්බුක් කෙටි වීඩියෝවක් අපට දැක ගන්නට ලැබුණා. එම වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට තරුණියක් ලෙස හැඳින්වූ තරුණිය වේ. නමුත් එම වීඩියෝවේ සඳහන් වූයේ, අපේ රූ රැජින මොන්ජා බ්ලැන්කා 2026-2027, ඇයගේ නම ජේම් ස්ටෙෆනි හර්නන්ඩෙස් රීනා ලෙස ත්, ප්‍රදේශය සැන් ජුවාන් චමෙල්කෝ(San Juan Chamelco) ලෙස ත්, සඳහන් කර තිබුණා.
එමෙන් ම එම ෆේස්බුක් ගිණුමේ ම, මෙම තරුණිය විසින් මෙම තරඟයට අදාළව ඇය ගැන හඳුන්වමින් ස්පාඤ්ඤ(Spanish) භාෂාවෙන් කතා කරන වීඩියෝවක් ද දැක ගන්නට ලැබුණා.
මෙහිදී ඇය සිය උපන් ගම සහ අනන්‍යතාවය සඳහන් කරන අතර, ඇය පවසන්නේ තමා Alta Verapaz හි, විශේෂයෙන්ම ජීවමාන ආදිවාසී සංස්කෘතියක් පවතින සැන් ජුවාන් චමෙල්කෝ නගරයෙන් පැමිණි බවයි.
25 හැවිරිදි ඇය, Universidad Rafael Landívar විශ්වවිද්‍යාලයෙන් සමාජ සේවා අංශයෙන් තාක්ෂණික සහ උපාධියක් ලබා ඇති බව ත්, ඇයගේ ප්‍රධාන අරමුණ වන්නේ තම ආදරණීය සැන් ජුවාන් චමෙල්කෝ නගරයට කීර්තියක් ගෙන දෙමින් එය ආඩම්බරයෙන් නියෝජනය කිරීම බවයි.
ඒ අනුව ඇය විසින් තමන් මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ (Guatemala) සැන් ජුවාන් චමෙල්කෝ ප්‍රදේශයේ වෙසෙන තරුණියක් බව ප්‍රකාශ කරනු ලබනවා.
එමෙන් ම මෙම තරුණියගේ ෆේස්බුක් ගිණුම, පරීක්ෂා කිරීමේදී ද, ඇය විසින් ඉහත තරඟයට සහභාගි වූ වෙනත් අවස්ථාවන් පිළිබඳව වීඩියෝ හුවමාරු කර ගෙන ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
සමාජ මාධ්‍ය ඔස්සේ මැලේසියාවේ පැවත් වූ බව කියූ තරඟාවලිය කුමක්ද?
2026 ජූලි 11 වන දින ග්වාතමාලාවේ අල්ටා වේරපාස් (Alta Verapaz) පළාතේ කොබාන් නගර සභාව (Municipalidad de Coban) විසින් සංවිධානය කරන ලද “නුවෙස්ට්රා බෙලෙසා මොන්ජා බ්ලැන්කා 2026-2027” (Nuestra Belleza Monja Blanca) නම් රූ රැජින තරඟාවලියට ජේම් ස්ටෙෆනි සහභාගිවූ තරඟාවලිය වන අතර සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි මෙය මැලේසියාවේදී පවත්වා ඇති තරඟාවලියක් නොවේ.
මෙම තරඟය නම් කර ඇත්තේ ග්වාතමාලාවේ ජාතික පුෂ්පය වන “මොන්ජා බ්ලැන්කා” (සුදු ඕකිඩ් මල) ඇසුරෙනි.
කොබාන් මහ නගර සභාව විසින් අල්ටා වේරපාස් මහ නගර සභාව විසින් සියලුම මහ නගර සභා 17 ම නියෝජනයනය කරමින් එක් නියෝජිතයෙකු බැගින් මෙම රූ රැජින තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම නිල වශයෙන් නිවේදනය කර තිබුණේ මෙලෙසින්.
මෙම තරඟය සඳහා අල්ටා වේරපාස් පළාතට අයත් මහ නගර සභා නියෝජනය කරමින් තරුණියන් 15 දෙනෙකු එක් වී තිබූ අතර එයින් අවසන් මහා තරඟයේදී අවසන් වටයට තේරී පත් වූ විශිෂ්ටතම තරඟකාරියන් 6 දෙනා අතර ජේම් ස්ටෙෆනි හර්නන්ඩෙස් රීනා ද සිටී. අවසන් 6 දෙනා නියෝජනය කළ ප්‍රදේශ මෙසේය.
- ලිස්බෙත් මරියා ඇලෙජැන්ඩ්රා රමිරෙස් ලීමා (Lisbeth María Alejandra Ramírez Lima) – කහබොන් (Cahabon) නගරය නියෝජනය කළ අතර, ඇය මෙවර රූ රැජින කිරුළ දිනාගත්තාය.
- මරියා ද ලොස් ඇන්ජලෙස් ද ලා කෲස් කෙජ් (María de los Ángeles de la Cruz Quej) – සැන්ටා කෲස් වේරපාස් (Santa Cruz Verapaz).
- ජොසලින් ඇලෙක්සැන්ඩ්රා කොයි ටෙනි (Joselyn Alexandra Coy Teni) – කොබාන් (Cobán).
- ඇඩ්රියානා සරහ් පැස් මුනියෝස් (Adriana Sarahí Paz Muñoz) – ෆ්රේ බාර්තොලොමේ ද ලාස් කාසාස් (Fray Bartolomé de las Casas).
- ජේම් ස්ටෙෆනි හර්නන්ඩෙස් රීනා (Jeyme Stefanyh Hernández Reina) – සැන් ජුවාන් චමෙල්කෝ (San Juan Chamelco).
- මියා බෙලෙන් ගාර්සියා කාල් (Mia Belén García Caal) – ලා ටින්ටා (La Tinta).
ඒ අනුව මෙම රූ රැජින තරඟාවලියේ ග්වාතමාලාව රට තුළ සිදු කළ රූ රැජින තරඟයක් බව ත්, වෙනත් කිසිදු රටක් නියෝජනය කරමින් මෙම තරඟය සඳහා සහභාගි වී නොමැති බව ද, තවදුරටත් තහවුරු වේ.
එමෙන් ම මහ නගර සභා නියෝජනය කරමින් මෙම තරඟය සඳහා නියෝජිතයින් තරඟකරුවන් ලෙස සහභාගී වී ඇති හෙයින් ද, ඇය පාසල් ගුරුවරියක් නොවන බවට ද, තහවුරු වේ.
ඉහත සමාජ මාධ්‍ය සටහනට පාදක වූ බිකිනි ඇඳුමින් සැරසී මෙම තරඟකාරියන්ගේ ඉදිරිපත් කිරීම පිළිබඳ පළ කළ ඡායාරූප සටහනක් මෙතනින්.
ගෝතමාලාවේ,අල්ටා වේරපාස් පළාතේ San Pedro Carcha ප්‍රදේශය කේන්ද්‍ර කරගත් දේශීය ස්වාධීන ඩිජිටල් මාධ්‍ය පිටුවක මෙම තරඟාවලිය පිළිබඳ වාර්තා කිරීමේදී ජේම් ස්ටෙෆනි හර්නන්ඩෙස් රීනා පිළිබඳ වීඩියෝවක් ද, පළ කර තිබුණා.
අවසන් මහා තරඟය 2026 ජූලි 11 වන දින කොබාන් හි පිහිටි INJUD හෝ INJAV ක්‍රීඩා සංකීර්ණ ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබූ අතර සමාජ මාධ්‍ය සහ දේශීය නාලිකා ඔස්සේ මෙය සජීවීව විකාශය කර තිබේ.
Cahabon නගරය නියෝජනය කළ ලිස්බෙත් ඇලෙජැන්ඩ්රා රමිරෙස් ලීමා මෙවර කිරුළ දිනාගත් අතර, ඇයට පෙර වසරේ (2025-2026) රූ රැජින වූ සින්ඩි ගේබ්‍රියෙලා රොසාලෙස් (Sindy Gabriela Rosales) විසින් නිල වශයෙන් කිරුළ පළඳවන ලදී.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් මැලේසියාවේ විලාසිතා තරඟාවලියකට ගොස් බිකිනියකින් සැරසුණු බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. ග්වාතමාලාවේ මහ නගර සභා 17 ක නියෝජිතයින් සහභාගි වූ නිල රූ රැජින තරඟාවලියකට සහභාගිවූ එරට ජේම් ස්ටෙෆනි හර්නන්ඩෙස් රීනා නමැති, තරඟකාරියකගේ ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යැවීම සඳහා මෙහි සිටින්නේ ශ්‍රී ලාංකික ගුරුවරියක් බවට සටහන් පළ කර තිබේ.


