Update: 4/23/26
මීට වසර කිහිපයකට පෙර පිලිකා සෛල හඳුනාගෙන ඒවාට පහරදිය හැකි, අනාගතයේ දී ඖෂධ බවට පත්විය හැකි සංයෝග (Drug Candidate) නිපදවමින් සිටින බවත් ඒවා දීර්ඝ ඖෂධ නිෂ්පාදන ගමන් මගෙහි ඊට අදාළ පර්යෙෂණවලට ලක් වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් අප සිදු මීට පෙර සිදු කළ කරුණු විමර්ශනයට අදාළව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණා. නැවතත් මෙම සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බැවින් අප අදාළ පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳව අප මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගෙන් නැවතත් විමසා සිටියා.
මහචාර්යවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස තමන් පිළිකා සුව කරන ක්‍රමයක් සොයා ගත් බව කිසිදු අවස්ථාවක පවසා නොමැති බව ත්, එය නොමග යන සුළු සටහනක් බවයි. කිසියම් හෝ ඖෂධයක් නිෂ්පාදනයේදී අදියර කිහිපයක් පසුකරන අවසන් අනුමැතිය දක්වා පැමිණීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව ත්, ඖෂධ නිෂ්පාදන සමාගමක් හා සම්බන්ධ වෙමින් මේ වනවිට අදාළ පර්යේෂණ සායනික මට්ටම දක්වා පැමිණ ඇති බවද, ඔහු සඳහන් කළා.
තවද කිසියම් ඖෂධයක් අනුමැතිය ලැබෙන තැන දක්වා පැමිණෙන ක්‍රියාවලිය පර්යේෂණාගාර මට්ටම, සතුන් යොදාගෙන කරන පර්යේෂණ සහ මිනිසුන් යොදා ගෙන අදියර කිහිපයක් යටතේ සිදුකරන පර්යේෂණ ආදී වශයෙන් දීර්ඝ ක්‍රියාවලියක් බවත් විශ්වවිද්‍යාල මටට්මින් පසු සිදුවන සායනික පර්යේෂණ සඳහා අතිවිශාල මුදලක් වැය වන බවත් ඒ අනුව ඉන් ඉදිරියට පර්යේෂණ කටයුතු සිදු වන්නේ, ඖෂධ නිෂ්පාදන සමාගම් හරහා බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළා. තවද පර්යේෂණයට ලක්වන සෑම සංයෝගයක්ම ඖෂධයක් බවට පත් නොවන බවත් ඖෂධ බවට පත්විය හැකි බොහෝ සංයෝග අතරමගදී අසාර්ථක වන බවත් ප්‍රකාශ කළ මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන් සම්බන්ධ පර්යේෂණය මෙතෙක් පසු කළ සියලු පියවර වලදී සාර්ථක වූ බවත් අනාගතයේදී සායනික පර්යේෂණ වල ප්‍රතිඵල මත බෙහෙතක් ලෙස අනුමත වීම හෝ නොවීම රඳා පවතින බවත්ය.

පිළිකා යනු ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කිරීමට හෝ පැතිරීමට විභවයක් ඇති අසාමාන්‍ය සෛල වර්ධනයට සම්බන්ධ රෝග සමූහයකි. පිළිකා රෝගය හමුවේ ලොව පුරා රෝගීන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්වී සිටියි . මේ වන තෙක් පිළිකා තත්වයන් නිත්‍ය වශයෙන්ම නැසිය හැකි ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නැති වුවද පිළිකා සෛල වර්ධනව අඩාල කිරීමට ක්‍රම කිහිපයක්ම යොදාගනු ලබයි. එසේම පිළිකා සඳහා බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ඖෂධ සොයා ගත් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අවස්ථාවල සටහන් ඉදිරිපත් වී තිබෙනුද නීරීක්ෂණය වී ඇත.
මෙවන් පසුබිමක පිළිකාව නැසීමට සාර්ථක ක්‍රමයක් ශ්‍රී ලාංකිකයෙකු සොයා ගත් බවට 2019 වසරේ මුල් වරට පළවූ සටහන් පෙළක් නැවත වරක් හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගන්නට හැකිවිය. “පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට, අඩු වියදමකින් ජීවිතයක් නැවත ජීවත් කිරීමට, සාර්ථක ක්‍රමයක් සොයාගත් අපේ රටේ ගෝමිකට සුභ පැතුම්!” යනුවෙන් පළවූ සටහනක් පහතින්.

“පිළිකාව නැසීමට සංඝටකය සොයාගත් ගෝමික උඩුගමසූරිය ඔබට අපගේ උපහාරය” තේමාවෙන් Charaka Silva නමැත්තෙකු 2019 වසරේ ජනවාරි මස අග භාගයේ ඉදිරිපත් කළ සටහනක් නැවතත් සංසරණය ආරම්භවී තිබෙනු ද දක්නට ලැබුණේය.

Mr. Lucky නමැති ෆේස්බුක් පිටුවකද “ටෙක්සාස් සරසවියේ සවුත් වෙස්ටන් වෛද්‍ය පීඨයේ මහාචාර්‍යවරයෙකුවන ගෝමික උඩුගමසූරිය මහතා විසින් පිළිකා සෛල පමණක් හඳුනාගෙන ඒවා විනාශ කළ හැකි අඩු වියදම් ක්‍රමයක් සොයාගෙන ඇත…දහස් ගණනක් මිනිසුන් සුවපත්කිරීමට ශක්තිය ලැබේවා!” තේමාවෙන් පිළිකා සෛල විනාශ කළ හැකි ක්‍රමයක් පිළිබඳ සොයා ගත් බවට මෙවැනි සටහනක් පළවී තිබෙනු නිරීක්ෂණය විය

මෙම සටහන් වලට ලැබුණු ප්‍රතිචාර වලින් බොහොමයක්ම, රෝගීන් හෝ ඔවුන්ගේ ඥාතීන් මෙම මහාචාර්යතුමා සොයාගැනීමට උත්සහ දරා තිබීම නිසා, මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මහාචාර්ය උඩුගමසූරිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ගූගල් සෙවීමක් කළෙමු. හුස්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල නාමාවලිය අනුව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඖෂධීය රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු ලෙස එහි සේවය කරයි.

ටෙක්සස් වෛද්‍ය මධ්‍යස්ථානය විසින් ඔහුගේ නව සොයා ගැනීම පිළිබඳව 2019 නොවැම්බර් මස නිවේදනයක් නිකුත් කර තිබුණි. සම්පූර්ණ නිවේදනය පහත ඇති අතර එහි මුල් පරිච්ඡේද දෙක පමණක් අප පරිවර්තනය කර ඇත්තෙමු
“පිළිකා ජීව විද්‍යාවේ ලෝකයේ සියලුම ජෛව සලකුණු සමාන ලෙස නිර්මාණය වී නොමැත. අසාමාන්‍ය ක්‍රියාවලියක් සිදුවිය හැකි බවට වෛද්‍යවරුන් දැනුවත් කරන මෙම අණු හෝමෝන, එන්සයිම වැනි අක්‍රමවත් ප්‍රෝටීන සමූහයක් ලෙස පෙනෙන්නට ඇති අතර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. ඒවා මිශ්‍ර ව ඇති බැවින් ඒවාට ප්‍රතිකාර කිසිදු ඖෂධයක් නොමැත. නමුත් දැන්, හූස්ටන් විශ්ව විද්‍යාලයේ ඖෂධවේදයෙහි සහකාර මහාචාර්යවරයෙක් පිළිකා ප්‍රාථමික සෛල වල නව ජෛව සලකුණු යන්ත්‍රයක් සොයාගෙන ඇති අතර එය පිළිකා වල පැවැත්ම සහ ව්‍යාප්තිය පාලනය කරයි.
පිළිකා ප්‍රාථමික සෛල මත නව ජෛව සලකුණුකාරකයක් වන ප්‍රෝටීන් ප්ලෙක්ටින් සොයාගෙන ඇත. ප්ලෙක්ටින් යනු වඩාත් පුළුල් ලෙස භාවිතා කළ හැකි ඖෂධ සංවර්ධනයට හේතු විය හැකි වඩාත් පොදු ජෛව සලකුණුකාරකයක් විය හැකි යැයි අපි විශ්වාස කරමු. “ප්ලෙක්ටින් යනු ව්‍යුහාත්මක ප්‍රෝටීනයක් වන අතර එය ප්‍රධාන වශයෙන් අන්තර් සෛලීයව ප්‍රකාශ වේ. නමුත් සෛල මතුපිටට සම්ප්‍රේෂණය වීම පිළිකා ආක්‍රමණය ව්‍යාප්තිය සමඟ සම්බන්ධ වේ.”

තමා පිළිකාවලට ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් සොයා ගත් බවට සමාජ මාධ්‍ය තුළ පළ වන සටහන් පිළිබඳව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විසින් සිය ෆේස්බුක් ගිණුමේ තිබූ සටහනක් අපට නිරීක්ෂණය විය.
“මා විසින් පිළිකාවට ඖෂධයක් සොයාගෙන ඇති බවට පුවත් සංසරණය වෙමින් පවතී. මා මෙවැන්නක් කිසිවිටෙක පවසා නැත.
පිලිකා සෛල හඳුනාගෙන ඒවාට පහරදිය හැකි, අනාගතයේ දී ඖෂධ බවට පත්විය හැකි සංයෝග (Drug Candidate) නිපදවමින් සිටින බව පවසන ගෝමික මහතා මේ වන විට ඒවා දීර්ඝ ඖෂධ නිෂ්පාදන ගමන් මගෙහි අදාළ පර්යේෂණ වලට ලක් වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව පවසා සිටියා. Drug Candidate සහ (Drug) ඖෂධයක් අතර විශාල වෙනසක් ඇති බවත් සියළු Drug Candidates ඖෂධ බවටද පත් නොවන බවත් ඔහු අවධාරණය කර සිටියා.
සංසරණය වන පුවත් නිසා පිළිකා රෝගීන් බොහෝ ගණනක් මා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරමින් සිටිති. මා අත ඔවුනට දීමට බෙහෙත් නැති අතර ඔවුනගේ මානසිකත්වය මෙලෙස බිඳ දැමීම ද යහපත් නොවේ. එසේම මෙලෙස අතිශයෝක්තියෙන් පුවත් මැවීම අපගේ පර්යේෂණ සාරධර්ම වලට ද පටහැනිය.
කෙසේ වෙතත් “අපේ ලාංකිකයකුගේ විශිෂ්ට සොයාගැනීමක්” ලෙස සලකා මා වෙනුවෙන් සටහන් කළ දහස් ගණනින් වූ සුභ පැතුම් සහ ආශිර්වාද මාගේ ඉදිරි පර්යේෂණ සඳහා මහත් ශක්තියකි. ඒ දේශානුරාගී හැඟීමට ඔබ සැමට හිස නමා ආචාර කරමි. එහෙත් මේ මොහොතේ එවැනි ගෞරවයක් ලැබීමට මා සුදුස්සෙක් නොවන බවද අවධාරණය කරමි.”

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ITN රූපවාහිනී නාලිකාවේ දොරමඩලාව සජීව වැඩසටහනට සහභාගී වෙමින් මේ පිළිබඳව කළ පැහැදිළි කිරීම YouTube ජාලයේ පහත අති දිගුවෙන් දැකගත හැක.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විසින් පිළිකාවට ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් සොයාගෙන නොමැති අතර පිලිකා සෛල වලට පහරදිය හැකි, අනාගතයේ දී ඖෂධ බවට පත්විය හැකි සංයෝග (Drug Candidate) නිපදවමින් සිටින බවයි. නමුත් ඖෂධ(Drug) සහ ඖෂධ බවට පත්විය හැකි සංයෝග(Drug Candidate) අතර විශාල වෙනසක් ඇති බවද වෛද්‍යවරයා පවසා සිටියි. පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනීමට තව සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවද පවසා සිටියි
එබැවින් ලාංකිකයකු පිළිකාවට ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් සොයාගන ඇති බැවින් පිළිකාව අවසන් යන තේමාව යටතේ සමාජ මාධ්‍ය ජාලයේ පළ වන සටහන් නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.
Title:පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!
Fact Check By: Sahan PereraResult: Misleading


