ශ්‍රී ලංකාවේ ඇතිව ඇති අර්බුදකාරී වාතාවරණය නිසා මුලික අවශ්‍යතාවන් ද සපයා ගැනීමට අපහසු ඉතාම අසීරු තත්ත්වයකට රටවැසියන් මුහුණ දී සිටිනවා. වේගයෙන් ඉහල යන උද්ධමනය නිසා ජිවන වියදම ඉතා ඉහළ අගයකට පත්ව තිබෙනවා. මේ සියලු ප්‍රශ්න හේතුවෙන් සොරකම් ආදිය ඉහළ යා හැකි බවට සමාජ කතිකාවතක් ඇති ව පවතින කාලයකයි අප ජිවත් වන්නේ.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කල පණිවිඩයක් ලෙස “සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය,” යන තේමාව යටතේ සටහනක් සමාජ ජාලා හරහා සංසරණය වෙනවා. මේ, ඒ සම්බන්දයෙන් අප විසින් සිදු කරන ලද ගවේෂණයක්.

සමාජ මාධ්‍ය සටහන් :

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කරුණු 22ක නිවේදනයක් ලෙස දක්වමින් සටහන් පළව තිබුණේ පහත ආකාරයෙන්. 

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය..

ප්‍රවේශම් වන්න.. ආර්ථික අර්බුද හමුවේ ඇති වන තත්ත්වය පිළිබඳව අප සැවොම දැනුවත් විය යුතුය.

රථවාහන නීති පිළිපැදීමේදී අප වගකිවයුතු පුරවැසියන් විය යුතු අතර අප සහ අපගේ දේ ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක විය යුතුය.

නගරවල හෝ ගම්වල වේවා, එහි සිටින බොහෝ දෙනෙකුට මේ දිනවල එතරම් ඉපැයීමක් නොමැති බැවින් රැකියා අහිමිවීම් / ව්‍යාපාරවලට බලපෑම් හේතුවෙන් ඔබට හදිසියේම නොසිතන සිදුවීම් විය හැකිය.

1. ජනතාව එනම් නිවසේ සිටින අය, ළමයින්, පාසල් සහ විද්‍යාල යන පිරිමි/ගැහැණු ළමයින්, රැකියා කරන කාන්තාවන්/පිරිමි ඇතුළු සියලු ජනතාව බොහෝ ප්‍රවේශම් විය යුතුය.

2. මිල අධික ඔරලෝසු පළඳින්න එපා.

3. මිල අධික මාල, වළලු, කරාඹු පැළඳ නොයන්න, ඔබේ අත් බෑග් ප්‍රවේශම් කරගන්න.

4. පිරිමින්, වටිනා අත් ඔරලෝසු, මිල අධික බ්රේස්ලට් සහ චේන් පැළඳීමෙන් වැළකී සිටිය යුතුය.

5. ඔබගේ වටිනා ජංගම දුරකථන ප්‍රසිද්ධියේ භාවිතා නොකරන්න. ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිතය අවම කිරීමට උත්සාහ කරන්න.

6. නාඳුනන කිසිවකු වාහනයේ නංවාගෙන යෑමෙන් වලකින්න.

7. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් රැගෙන නොයන්න.

8. ඔබ ගමන් කරන අතරතුර ඔබේ atm සහ credit කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්න.

9. ඔබේ වැඩිහිටියන්, භාර්යාව සහ දරුවන් ගැන සොයා බැලීමට නිතර නිතර ගෙදරට කතා කරන්න.

10. දොර සීනුවකට නාද වන විට නිවසේ සිටින වැඩිහිටියන්ට සහ පුද්ගලයින්ට ප්‍රධාන දොරේ සිට ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න, හැකි නම් පාර්සල් හෝ ලිපි ලබා ගැනීමට ග්‍රිල් එක ළඟට නොයන ලෙස ග්‍රිල් ගේට්ටු අගුළු දමා තබන්න.

11. හැකිතාක් ඉක්මනින් ගෙදර යන ලෙස දරුවන්ට උපදෙස් දෙන්න.

12. නිවසට ළඟා වීමට හුදකලා මාර්ග හෝ කෙටි මාර්ගවල නොයන්න. හැකි හැමවිටම ප්‍රධාන මාර්ග භාවිතා කිරීමට උත්සාහ කරන්න.

13. තරුණ තරුණියන්, ඔබ පිටතට යන විට ඔබේ වටපිටාව ගැන විමසිල්ලෙන් සිටින්න.

14. සෑම විටම හදිසි අංකයක් අත ළඟ තබා ගන්න.

15. මිනිසුන්ගෙන් කිසියම් ආරක්ෂිත දුරක් තබා ගන්නට වගබලාගන්න.

16. *මහජනයා බොහෝ විට mask පැළඳ සිටී*. ඒ නිසා පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගැනීම අපහසු වනු ඇත.

17. කැබ් රථ සේවා භාවිතා කරන අය ඔබ යන තැන ගැන විස්තර ඔබේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, මිතුරන් හෝ භාරකරුවන් කවුරුන් හෝ දැනුවත් කරන්න.

18. හැකි සෑම විටම රජයේ පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කිරීමට උත්සාහ කරන්න.

19. සෙනඟ ගැවසෙන බස් රථවලින් හැකි සෑම විටම වළකින්න.

20. ඔබේ දෛනික කටයුතු වලදී පෙරවරු 6.00 - සවස 8.00 ට කාලය යොදා ගන්න, ඒ සඳහා හැකි සෑම විටම ප්‍රධාන මාර්ග භාවිත කරන්න. පාලු වීදිවල තනියම ගමන් කිරීමෙන් වළකින්න.

20. සාප්පු සංකීර්ණ, වෙරළ සහ උද්‍යානවල වැඩි කාලයක් ගත නොකරන්න.

21. දරුවන්ට උපකාරක පන්තිවලට යාමට සිදුවුවහොත් වැඩිහිටියන් ඔවුන් රැගෙන යාමට ඒමට කටයුතු කරන්න.

22. ඔබේ වාහනවල වටිනා දේවල් කිසිවක් තබා ඉන් බැස නොයන්න.

මෙය අවම වශයෙන් මාස 3 ක් හෝ තත්වය යහපත් වන තුරු අනුගමනය කළ යුතුය.

ඔබ සැලකිලිමත් වන සියල්ලන් සමඟ බෙදා ගන්න.

අපේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් දැනුම්දීමක් නිකුත් කරන ලෙස ඔබේ ප්‍රදේශයේ සියලුම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න.

පරිස්සමින් ඉන්න.

~ පොලිස් දෙපාර්තමේන්තුව..”

Facebook | Archived

ඒ ආකාර සටහන් වට්ස්ඇප් වලද ව්‍යාප්තව පවතින බවත් නිරීක්ෂණය කිරීමට අපට හැකි වුණා .

මේ පිලිබදව විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා .

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම):

අප විසින් මුලින්ම විමසා බැලුවේ, ශ්‍රී ලංකා පොලිසිය මගින් මෙවැනි පණිවිඩයක් නිකුත් කරන ලද බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණයයි. 

එහෙත් එවැනි මාධ්‍ය වාර්තා නොමැති බව අපට පෙනී ගියා.

ඉන් අනතුරුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගෙන් ද මේ පිලිබදව විමසා බැලුවා. ඔහු විසින් අවධාරණය කලේ, ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙවන් පණිවිඩයක් නිකුත් නොකළ බවයි. එමෙන්ම මෙම පණිවිඩය කලින් කලට ඉස්මතුව පැතිර යන වැරැදී තොරතුරක් බවත් ඔහු පැවසුවා.

ඒ අනුව මීට සති 2 කට පමණ පෙර මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කල පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද අවධාරණය කර තිබුණේ මෙම සටහන ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් නොකරන ලද ව්‍යාජ සටහනක් වන බවයි.

පොලිස් මාධ්‍ය ඒකකය මගින් සඳහන් කරන්නේ මෙවැනි ව්‍යාජ සටහන් නිසා මහජනතාව අපහසුතාවට පත්වනවා මෙන්ම පොලිසියද අපකීර්තියට පත්වන බවයි.

එමෙන්ම පොලිසිය මගින් ජනතාව වෙත මාධ්‍ය හරහා තොරතුරු ලබාදෙන්නේ , පොලිස් මාධ්‍ය ඒකකය මගින් එහි ලිපි ශිර්ෂය සහිතව මාධ්‍ය වෙත යවන ප්‍රකාශ මගින් මිස මෙවැනි වගකීම් විරහිත සමාජ ජාලා සටහන් වලින් නොවන බවයි ඔවුන් පවසන්නේ.

සැ.යු : කෙසේවෙතත් වාහන වල කොටස් මංකොල්ල කරුවන් විසින් ගලවා යන අවස්ථා මෙන්ම රත්‍රං භාණ්ඩ මංකොල්ල කෑම් දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් වාර්තා වන බවට CCTV දර්ශන මෙන්ම මාධ්‍ය වාර්තා ද පසුගිය කාලයේ දී දැක ගන්නට ලැබුණු අතර අප මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ, පොලිස් මාධ්‍ය ඒකකය මගින් මෙවැනි පණිවිඩයක් නිකුත් නොකළ බව සම්බන්ධෙන් පමණි. 

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය ):

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය යන ශීර්ෂය යටතේ හුවමාරු වන සමාජ ජාලා පණිවිඩය එහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් නොවන ව්‍යාජ නිර්මාණයක් බවයි.

Avatar

Title:සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය?

Fact Check By: Kalana Krishantha

Result: Misleading