අරගලයේ යෙදෙන කැපී පෙනෙන ක්‍රියාකාරී සාමාජිකයන් හා සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හා නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප වරින් වර කරුණු පරීක්ෂාවන් සිදු කර එහි නිරවද්‍යතාවයන් හෙළි කරනු ලැබුවා. එලෙස අරගලයේ සක්‍රීය දායකත්වය සපයන ප්‍රවීන රංගන ශිල්පීණී දමිතා අබේරත්න මහත්මිය සහ අරගලය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

අපි ගෝටට කොච්චර බැන්නද? අපහාස කලාද? හැබැයි දැන් අපිට තේරෙනවා එතුමා රනිල්ට කියන මෘගයට වඩා මහත්මයෙක් කියලා. ඒ වෙලාවේ අපිට ඒක හරියට තේරුණේ නැහැ.” යනුවෙන් දමිතා අබේරත්න මහතා පැවසූ බවට සටහනක් ද, ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

තවත් සටහනක පළ වූයේ, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින් පළ කළ සටහනක් ලෙස පහත සටහන පළ කර තිබුණේ ඡායාරූප ද, ඇතුළත් කරමින්.

ගෝල්ෆේස් පුරවැසි අරගලය නියෝජනය කරන දමිතා අබේරත්න ඇතුළු කණ්ඩායමක් අද(18) මා හමුවීමට පැමිණියේය.

එහිදී 20 වනදා පාර්ලිමේන්තුව විසින් පත් කිරීමට නියමිත අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් මා හට ප්‍රකාශ කළ අතර දමිතා හා මා අතර පුද්ගලික කතාබහක්ද සිදුවිනි.

Facebook | Archived Link

අරගලය අරගෙන යන්න උදව් කළේ, ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි යනුවෙන් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අරගල භූමියේ සක්‍රීය දායකත්වය සපයන රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය විසින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පළමු සටහන පරිදි ප්‍රකාශයක් සිදු කළා ද, යන්න පිළිබඳ නිරීක්ෂණයක් සිදු කළා. එහිදී ඇය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීම සම්බන්ධයෙන් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වීම සම්බන්ධයෙන්,“අපි ගෝටට කොච්චර බැන්නද? අපහාස කලාද? හැබැයි දැන් අපිට තේරෙනවා එතුමා රනිල්ට කියන මෘගයට වඩා මහත්මයෙක් කියලා. ඒ වෙලාවේ අපිට ඒක හරියට තේරුණේ නැහැ.” යනුවෙන් හෝ එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට අපට කිසිදු නිල මුලාශ්‍රයක දැක ගන්නට නොලැබිණි.

ඒ හේතුවෙන් අප මේ පිළිබඳව ඇයගෙන් අප කළ විමසීමේදී දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියේ ද, තමන් කිසිදු අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එවැනි මතයක් දරන්නේ නැති බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතීත්වය සම්බන්ධයෙන් ද, එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඇය පවසා සිටියේ.

හිටපු අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මහතාගේ ෆේස්බුක් ගිණුමේ අප කළ නිරීක්ෂණයේදී ඔහු විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් ලෙස සටහනක් පළ කර නොතිබුණු අතර එම ගිණුම අවසන් වරට යාවත්කාලීන කර තිබුණේ ද, 2019 වසරේදීය.

එමෙන්ම ඉහත සටහන සම්බන්ධයෙන් දමිතා අබේරත්න පැවසුවේ, ගාලුමුවදොර අරගල භූමියේදී, ජාත්‍යන්තරයට අරගල  භූමියේ ඉදිරි කටයුතු ගැන දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළ ගැන Zoom රැස්වීමක් එකක් පැවැත් වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් ජෝන් අමරතුංග මහතා හමුවීමට ගිය බවට පවසමින් අසත්‍ය සටහනක් අරගලයට විරුද්ධව මඩ ව්‍යාපාරයක් ගෙන යන පිරිසක් විසින් පළ කර ඇති බවත්, තමන් ඇතුළු පිරිස ජෝන් අමරතුංග හමුවීමට කිසිදිනෙක ගොස් නැති බවත් ඇය අවධාරණය කළා. 

අප කළ නිරීක්ෂණයේදී පසුගිය ජූනි මස 27 වන දා, ඇයගේ ෆේස්බුක් ගිණුමේ එම ඡායාරූප පළ වී තිබුණේ මේ අයුරින් බවට තහවුරු විය. Archived Link

අප මේ සම්බන්ධනේ හිටපු අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, වත්මන් ආණ්ඩුවේ, තමන්ට තනතුරු ලබා දෙයි යන බියෙන් ඇතැම් පාර්ශයවයන් විසින් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පතුරුවන බවත්, තමන් හමුවීමට කිසිදු අරගලකරුවෙකු පැමිණියේ නැති බවත් එය ව්‍යාජ පුවතක් බවයි.

ඩයස්පෝරාව සම්බන්ධ පුවත පිළිබඳවද, අප අවධානය යොමු කරනු ලැබුවා.

එම සටහන් පළ වී තිබුණේ, දමිළ ඩයස්පෝරාවෙන් අරමුදල් ගාලුමුවදොර අරගලය සඳහා ලැබෙන බවයි.

ඒ පිළිබඳව ඉහත සටහනට දක්වා තිබූ ප්‍රතිචාර වලින්ද පෙනී ගියේ මෙලෙසින්.

මේ හේතුවෙන් අප දමිතා අබේරත්න විසින් සත්‍ය වශයෙන්ම මෙවන් ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා සිදු කළා ද, නිරීක්ෂණය කළා.

ඇය විසින් පසුගිය ඉරිදා(24) ‘දිවයින’ මීවිත පුවත් පත සමගින් කර තිබූ සම්මුඛ සාකච්ඡාවක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එම සම්පූර්ණ පුවත් ලිපිය මෙතනින්. Archived Link

මෙහිදී ඇයගෙන් අසනු ලබන්නේ, ඩයස්පෝරාවේ ඉත්තෙක් හැටියට ඇයට ලැබනෙ චෝදනා සම්බන්ධයෙනි.

ඇය මෙහිදී පවසනු ලබන්නේ, ඩයස්පෝරාව යන්නේ තේරුම පිළිබඳ එලෙස චෝදනා කරන පිරිසද, නොදන්නා බවයි. පිටරටවල සිටින සියල්ල ඩයස්පෝරාව යනුවෙන් හඳුන්වන බවත් ඒ සියල්ලම අරගලය වෙනුවෙන් උපකාර කරන බව ඇය පවසා තිබේ.

අප මේ පිළිබඳව ද, රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියගෙන් විමසා සිටියා. 

ඇය පැවසුවේ, ඩයස්පෝරාව යන වචනයේ තේරුම මිනිසුන් නොදන්නා බවත්, ඩයස්පෝරාව යනුවෙන් පවසන්නේ දෙමළ ඩයස්පෝරාව නොවන බවත්, මවුරටින් පිට වී ජීවත්වන ඕනෑම පුද්ගලයෙක් ඩයස්පෝරාව යනුවෙන් හඳුන්වනු ලබන බවත්, ඩයස්පෝරාවේ අය උපකාර කරනවා ද යන්න පිළිබඳ ප්‍රශ්නය යොමු කළ බැවින් විදේශයන්හි ජීවත් වන පුරවැසින් අරගලයට උපකාර කරන බැවින් ඔවුන් විමසන්නේ ඩයස්පෝරාවේ උපකාර ලැබෙනවා ද යන්න නම්. ඔව් ඩයස්පෝරාව උපකාර කරන බව සඳහන් කළ බවයි.

ඩයස්පෝරාව යනු?

වර්තමානයේ ඩයස්පෝරා යන වචනය විවිධ අරුත් සහිත ව භාවිත කළ ද අතීතයේ දී එය නොයෙක් හේතු නිසා මවුරටින් පිට වී ජීවත්වන යුදෙව් ජාතිකයන් හැඳින්වීමට භාවිත කරන ලද්දකි. විසිවන සියවසේ දී මේ වචනය උපන් බිමින් පිටුවහල් ව ජීවත්වන ආමේනියානු සහ අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් හැඳින්වීමට යොදා ගන්නා ලද බව ද නිරීක්ෂණය කළ හැකිය. නමුත් 1980 දශකය වන විට රටින් රට සංක්‍රමණය වන පිරිස අධික වූ හෙයින් සෑම සංක්‍රමණිකයකු ම හැඳින්වීම පිණිස ඩයස්පෝරා යන වචනය පොදුවේ භාවිත කරන්නට පටන් ගෙන තිබේ. එසේම මේ යෙදුම ඉතා පටු රාමුවක සිට මෙන්ම සීමා මායිම් රහිත ව අර්ථ දැක්වීමෙන් ඉන් ධ්වනිත වන සැබෑ අරුත හඳුනා ගැනීමේ ගැටලුවක් පැන නැඟී ඇත.

ත්‍රස්තවාදි කණ්ඩායම්වල සාමාජිකයන් ඒ කණ්ඩායම් නාම සහිත ඩයස්පෝරා ලෙස හැඳින්වීමක් ලංකාවේ හැර වෙනත් තැනකින් අසන්නට නොලැබේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්, මෙතනින් මෙතනින්. සිංහල බසින් වැඩිදුර විස්තර මෙතනින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, දමිතා අබේරත්න මහත්මිය හා අරගලය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

Avatar

Title:අරගලයට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට දමිතා අබේරත්න පැවසුවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading