සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා.

මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් සංචාරක අමාත්‍ය හරන් ප්‍රනාන්දු මහතා විසින්, රන්ජන් මහතාට ජනාධිපති විසින් සමාව නොලැබීම සාධාරණ යැයි පැවසූ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කළේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය සටහන් :

ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි. මොකද රන්ජන් ඇතුලට ගියේ උසාවියට අපහාස කරලා. ඇමති හරීන් කියයි. රන්ජන්ව නිදහස් කරගන්න තමයි කියලා ඇමති කටුවක් ගත්ත එකා දැන් කියන කතාව බලන්න. අන්ත දිව දෙකේ පහත් මිනිහෙක්.” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

Facebook | Archived Link

ෆේස්බුක් පරිශිලකයින් මෙම සටහන හුවමාරුගෙන තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතාට වසර 2 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය 5 වසරකට අත්හිටුවීමේ තීන්දුව පසුගිය ජූනි 07 වන දා බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කළා.

සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා ගැනීම සඳහා විපක්ෂ නායත සජිත් ප්‍රේමදාස මහතා ද, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින්ද, සඳහන් කර තිබුණේ, රන්ජන් මහතාට ජනපති සමාව ලබා දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වල පළ වූ පුවතක් මෙතනින්. එමෙන්ම හිටපු ජනපතිනිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ පිළිබඳව ලිපියක් යොමු කළ බවටද, ප්‍රධාන මාධ්‍ය පෙන්වා දුන්නේ මෙලෙසින්.

කෙසේ වෙතත්, පසුගිය මාර්තු 01 වන දා එවකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ, වර්තමාන ආමත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර, ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්වූයේ, දැනට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහායි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්. එමෙන්ම රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ ක‍්‍රියාවලිය මෙහෙයවීම සඳහා හරින් ප‍්‍රනාන්දු මහතා වෙත පැවරීමට විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එවකට පියවර ගනු ලැබුවා ඒ පිළිබඳව පුවත් මෙතනින්.

තවද, පසුගිය ජනවාරි මස දී පාර්ලිමේන්තුවේදී එවකට මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් වන තෙක් කළු පැහැති සාටකයක් පළඳින බවට ප්‍රකාශ කළේ, මෙලෙසින්. රන්ජන් මහතාට නිදහස ලබා දෙන්නේ නම්, සිය මන්ත්‍රී ධූරය ද, අත්හරින් බවට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙලෙසින්.

Also Read : FACT CHECK: හරීන් ප්‍රනාන්දු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් , රන්ජන් නිදහස් කිරීමට ඉල්ලීමක් කර ඇති බවට පුවත්පත් වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින්. හරීන් ප්‍රනාන්දු මහතා ද, මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්.(07.45)

මෙලෙසින් රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා නොයෙකුත් අවස්ථාවන් වලදී පෙරමුණ ගත් හරීන් ප්‍රනාන්දු මහතා ඉහත සටහනේ සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කළේ ද, යන්න පිළිබඳව අප නිරීක්ෂණය කරනු ලැබුවා.

ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” යනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හෝ වාර්තා වී තිබුණේ ද, යන්න පිළිබඳව අප පරීක්ෂා කළත් එවැනි සඳහනක් කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක දැක ගන්නට නොලැබුණි.

නමුත් පසුගිය ජූලි 27 වන දා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී, අමාත්‍යවරයා සඳහන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රන්ජන් රාමනායකට නිදහස ලබා ගැනීම පිළිබඳ ස්ථාන කිහිපකම සාකච්ඡාවලට ගිය බවත්, උසාවියට එරෙහිව සිදු කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් උසාවිය විසින් ලබා දුන් නියෝගයක් මත සිරගත කර ඇති පුද්ගලයෙක් සඳහා ජනාධිපති විසින් ජනපති සමාව ලබා දෙනේනේ නම්, විධායකය හා අධිකරණයේ අර්බුදයක් පැන නගිනු ඇති බවත් එවැනි විරුද්ධව වෙනත් පර්ශවකට අභියෝගයට ලක් කළ හැකි බවත් පෙන්වා දෙමින් දුමින්ද සිල්වා මහතා පිළිබඳ නඩුව උදාහරණය ගෙනහැර දැක්වුවා.

ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු අතුරු තහනම් නියෝගය සහ නැවත අත්අඩංගුවට ගැනීමට ලැබුණු නියෝගය ප්‍රකාරව, ජූනි 01 වැනිදා දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත වරක් අත්අඩංගුවට ගන්නට යෙදිණි.

එසේම හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටින්නේ ජනපති සමාව නොමැතිව ඒ සඳහා වෙනත් විකල්පයකට යොමු වී ඇති බවත්, ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට අග්‍රවිනිශ්චයකාර තුමා විසින් දුන් තීන්දුව නැවත කැඳවීමක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවයි, එහිදී සඳහන් කරනු ලබන්නේ. එම වීඩියෝව පහතින්. (22.36)

කෙසේනමනුත් හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉහත ප්‍රකාශය පිළිබඳව රන්ජන් රාමනායක මහතා විසින් පළකර තිබු මෙම සටහන, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සඳහා මුල් වන්නට ඇතැයි ද අනුමාන කළ හැක.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද විමසීමක් කළ අතර, අමාත්‍යවරයා සඳහන් කළේ, තමන්ගේ ඡායාරූපය සහ නාමය යොදා ගනිමින් රන්ජන් රාමනායක මහතාගේ නිදහස පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාරය අසත්‍ය බවත්, එවැනි ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ බවටද සහතික කළ හැකි බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, “ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” යනුවෙන් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළු බවයි.

අමාත්‍යවරයා විසින් එවන් ප්‍රකාශයක් සිදු කර තිබු බවට නිල මුලාශ්‍රයක් නොමැති අතර එම සටහන් නිර්මාණ වීමට මුල් වූ බවට අනුමාන කළ හැකි සාකච්ඡාවේ දී ද අමාතත්‍යවරයා පවසන්නේ, උසාවිය විසින් ලබා දුන් නියෝගයක් මත සිරගත කර ඇති පුද්ගලයෙක් සඳහා ජනාධිපති විසින් ජනපති සමාව ලබා දෙනේනේ නම්, විධායකය හා අධිකරණයේ අර්බුදයක් ඇතිවිය හැකි අතර එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නැවත වරක් ජනපති සමාව අත්හිටුවීමේ ද හැකියාවක් පැවතිය හැකි බවින්, ජනපති සමාව නොමැතිව ඒ සඳහා අධිකරණ ක්‍රියාවලිය තුළ වෙනත් විකල්පය සඳහා යොමු වී ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා ද, තහවුරු කරනු ලබන්නේ, රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පෙර පරිදිම දිගින් දිගටම කටයුතු කරන බවත් රන්ජන්ට සමාව නොදීම සාධාරණයි යනුවෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

Avatar

Title:“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading