ලංකාවේ බලපැවැත්වෙන දැඩි උද්ධමනකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මෙන්ම, අනෙකුත් නිෂ්පාදන රැසක ද මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිල වැඩිවීම් සම්බන්ධයෙන් එකී නිෂ්පාදන ආයතන වෙත ද බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා දෝෂාරෝපණ එල්ල කර තිබුණා.

මේ අතර විශේෂයෙන්ම, බිස්කට් වර්ග වල මිල ඉහළ යෑම පිළිබඳව ද, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වූ අතර, ඇතැම් පිරිස් යෝජනා කළේ, මෙම නිෂ්පාදන මිලදී ගැනීම වැළකී සිටීමෙන්, ඒවායේ මිල ගණන් පහත හෙළනු ඇති බවයි.

එලෙස මිල පහත හෙළු අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරුප සටහන් මඟින් හඟවා තිබු පරිදි ඇත්ත වශයෙන්ම එකී නිෂ්පාදන වල විකුණුම් මිල සත්‍ය වශයෙන් අඩු කර ඇත්දැයි යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

බිස්කට් වල ඇතිරූ රන් ආලේපන ඉවත්කර ගනිමින් සිටී. 590 - 442 ට අඩුවේ. ගන්නැතුව හිටියම මිල අඩුවෙන හැටි ” යනුවෙන් සඳහන් කරමින් මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් ග්රෑම් 490 පැකැට්ටුවක මිල රු.590 සිට රු.442 දක්වා අඩු වී ඇති බවට ඡායාරූප සටහනක දක්වා තිබුවා.

ඊට හේතුව වශයෙන් සඳහන් කර තිබුණේ, පාරිභෝගියන් එම ආයතනයේ බිස්කට් වර්ග මිලදී ගැනීමෙන් වැළකී සිටීම හේතුවෙන් බිස්කට් මිල අඩු වී ඇති බවයි.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන්ම ඉහත සටහන් වල හා ඡායාරූපයේ දැක්වෙන පරිදි බිස්කට් මිල අඩු වූවාද යන්න පිළිබඳ අප සොයා බැලීමක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

රටේ ඉහළ උද්ධමනයක් පවතින මෙවන් වකවාණුවේදී භාණ්ඩ හා සේවා සියල්ල පාහේම අධික මිල වැඩිවීම මේ වන විට ජන ජීවිතය දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

මේ අතර සමාජයේ කතා බහක් ඇති වූයේ ලංකාවේ බිස්කට් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන දෙකක් වන මන්චි සහ මැලිබන් ආයතන වල බිස්කට් වර්ගවල මිල ගණන් අධික ලෙස ඉහළ යාම පිළිබඳවයි.

බිස්කට් මිල ඉහළ යාම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක්

කෙසේ වෙතත් ඇතැම් පිරිස් බිස්කට් මිලදී ගැනීම වර්ජනය කොට ඒවා වල මිල ගණන් අඩු කරන තුරු බිස්කට් මිලදී නොගෙන සිටීමට කටයුතු කරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර තිබුණා. බිස්කට් මිල ඉහළ දැමීම පිළිබඳ විවේචනයන්ද මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් ඉදිරිපත් කර තිබුණා. Archived Link| Archived Link | Archived Link

එමෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් විසින් ද මන්චි ආයතනයට කතා කොට මන්චී ක්‍රීම් ක්‍රැකර් බිස්කට් මිල ඉහළ යාම සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ දුරකතන සංවාදය ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ මේ අයුරින්

සුපිරි වෙළඳසැල්හි මන්චි ක්‍රීම් ක්‍රැකර් මිල ගණන්

ඉන්පසුව මන්චි ක්‍රීම් ක්‍රැකර් මිලෙහි අඩු වීමක් ලෙස ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය විමසා බැලීම සඳහා අද (12) දින වන විටත් වෙළඳ පොළේ එම බිස්කට් වර්ගයේ මිල ගණන් අප විසින් පරීක්ෂා කරනු ලැබුවා. එහි සඳන් ව තිබුණේ, ග්රූම් 490 මිල රු.590 ක් බවයි. එමෙන්ම මැලිබන් ආයතනයේ ද, ග්රූම් 500ක ක්‍රීම් ක්‍රැකර් පැකට්ටුවක මිල වූයේ රු.590 ක් බවයි.

ඒ අනුව වැඩි කළ මිලෙහි ඉහත සඳහන් ඡායාරූපයේ දැක්වෙන පරිදි රු.442 ක මිලකට එම බිස්කට් පැකැට්ටුවේ මිල අඩු කිරීමක් දක්නට නොලැබුණි.

එමෙන්ම මාර්ගගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කළ හැකි සුපිරි වෙළඳසැලවල් හරහා ද, එම මිල ගණන් අප තහුවරු කර ගනු ලැබුවා. ඒ අනුව එහිද මිල අඩු කිරීමක් දක්නට නොලැබුණි.

කෙසේ වෙතත් ‘මන්චී සුපර් ක්‍රීම් ක්‍රැකර්’ මිල අඩුවීම පිළිබඳ දක්වා තිබූ ඡායාරූපය සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කිරීම සඳහා ‘මන්චී’ සන්නාමය අයත් සීමාසහිත සිලෝන් බිස්කට් (CBL) සමාගමේ කළමනාකාරිත්වය සම්බන්ධ කර ගනු ලැබුවා.

සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ (CBL) අලෙවිකරණ අංශයේ ඉහළ කළමණාකාරීත්වය

CBL සමාගමේ අලෙවිකරණ අංශයේ ඉහළ කළමණාකාරීත්වයෙන් අප කළ විමසීමේදී ඔවුන් පවසා සිටියේ‍ෙ ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490 මිල රු.590 ක් බවත් එහි කිසිදු වෙනස් කිරීමකින් තොරව අදටත් එලෙසම පවතින බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් සඳහා මුල් වූ කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, යම් නිෂ්පාදනයන් සඳහා වරින් වර සිදු කරන ප්‍රවර්ධන ව්‍යාපෘතීන් වලට සමගාමීව Keells සුපිරි වෙළඳසැල්වලට පමණක්, සති 3ක් වැනි කෙටි කාලයක් සඳහා, මන්චි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන්, සීමාසහිත සිලෝන් බිස්කට් සමාගම විසින් 20% ක වට්ටමක් ලබා දුන් බවයි.

ඒ අනුව අදාළ කාල වකවාණුවේ දී Keells සුපිරි වෙළඳසැල් මඟින් ද වැඩිදුරටත් ලබාදුන් වට්ටමක් ද සමඟ ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490ක පැකැට්ටුවක මිල දැක්වුණේ රු.442 ක් ලෙස බවයි. ඒ අනුව එම අවධියේ Keells සුපිරි වෙළඳසැලකින් අලෙවි කිරීමට තිබු මන්චි ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට්ටුවක ඡායාරූපයක්, මෙලෙස මිල ගණන් අඩු කර ඇති බවට වරදවා වටහා ගැනීමක් සමඟින් හුවමාරු වන බවත් ඔහු අවධාරණය කර සිටියා.

මෙය Keells සුපිරි වෙළඳසැල්වලට පමණක් සිදු කළ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් වන අතර අදාළ සති තුනක ප්‍රවර්ධන කාලය මේ වන විට අවසන් වී ඇති හෙයින්  Keells සුපිරි වෙළඳසැල්වල මෙන්ම අනෙක් වෙළඳසැල්හි ද, ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490ක පැකැට්ටුවක් දැන් අලෙවි වන්නේ රු.590 මිලට බවද ඒ මහතා පැහැදිලි කර සිටියා.

මෙම පැකැට්ටුවේ අවසාන වරට මිල වැඩි කිරීමට ප්‍රථම මිල වුයේ රු. 480 ක් බවත් ඔහු සඳහන් කළා.

කීල්ස් සුපර් සිල්ලර භාණ්ඩ අංශයේ කළමනාකරු (Grocery Category)

මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප කීල්ස් සුපර් ආයතනයේ, සිල්ලර භාණ්ඩ අංශයේ කළමනාකාරිණිය වන ටිනාශි අමරසිංහ මෙනවියගෙන් ද, විමසීමක් සිදු කරනු ලැබුවා.

ඇය සඳහන් කළේ, , ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490ක පැකැට්ටුවක මිල පහත දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූපය වන්නේ, එම ආයතනය ලබා දුන් වට්ටමක් හේතුවෙන් බවත්, බිස්කට් නිෂ්පාදන සඳහා පමණක් නොව අනෙකුත් භාණ්ඩ සඳහා ද, අදාළ ආයතන හා එක්ව කීල්ස් ආයතනය මගින් ද වට්ටමක් එකතුකර පාරිභෝගිකයන් වෙත කලින් කලට ලබා දෙන බවයි.

මීට පෙරද, මෙවැනි වට්ටම් ක්‍රියාත්මක වූ අතර ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, CBL ආයතනය විසින් ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ බිස්කට් වර්ගයේ මිල යම් කාලසීමාවක් තුළදී 20%ක ලබා දුන් වට්ටම හා එක්ව කීල්ස් ආයතනය විසින්ද ,ලබා දුන් 5% ක වට්ටම ද එකතු කොට රු.590ට ඇති බිස්කට් පැකැට්ටුව රු.442කට ලබා දුන් අවස්ථාවක් බවට ද ඇය කරුණු පැහැදිලි කළා.

එසේම මේ වන විට එම ප්‍රවර්ධන කාල සීමාව ඉකුත් වී ඇති බැවින්, නැවතත් රු. 590 ක මිලට එම බිස්කට් වර්ගය කීල්ස් සුපිරි වෙළඳසැලේ මිලදී ගැනීමට ඇති බවත් ඇය වැඩිදුරටත් තහවුරු කර සිටියා.

ඒ අනුව පැහැදිලි වන්නේ, මන්චී සුපර් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට්ටුවේ මිල අඩු කිරීමක් සිදු කර නොමැති බවත්, ප්‍රවර්ධන වැඩ සටහනකට සමගාමීව පමණක් කීල්ස් සුපිරි වෙළඳසැල් හා එක්ව යම් කිසි කාල සීමාවකට ලබා දී තිබූ වට්ටමක් හේතුවෙන් ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490ක පැකැට්ටුවක මිල රු.590 සිට රු.442 දක්වා අඩු වී තිබූ බවයි.

වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ දේශීය ආයතන මුහුණදෙන ගැටලු

රටේ පවතින වත්මන් ඩොලර් අර්බුදය හමුවේ, දේශීය වශයෙන් ක්‍රියාත්මක වන කර්මාන්ත වුව ද එම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විශාල ගැටලුවලට මුහුණ පෑමට සිදු වී තිබෙනවා.

අමුද්‍රව්‍ය සඳහා දැරීමට සිදුවන පිරිවැයට අමතරව ඩොලරයේ මිල ඉහළ යාම, ආනයන සීමා වීම මෙන්ම මෙරට පසුගිය වකවාණුවේ ඇති වූ ඉන්ධන හිඟය නිසා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම යානා දී හේතු රැසක් මුල්කරගනිමින්, බොහෝ නිෂ්පාදන වල මිල ද ඊට සමගාමීව ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මන්චී බිස්කට් වල මිල අඩු වී ඇති බවට පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ බිස්කට් පැකැට්ටුවේ ඡායාරූපයේ දැක්වෙන්නේ, මන්චි බිස්කට් සඳහා CBL ආයතනය විසින් කීල්ස් සුපිරි වෙළඳසැල් සඳහා පමණක් සති 3ක වැනි කාල සීමාවකට ලබා දුන් 20%ක වට්ටමක් හා එක්ව කීල්ස් ආයතනය විසින්ද වට්ටමක් එකතු කොට ලබා දුන් 25% වට්ටමක් හේතුවෙන් ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490ක පැකැට්ටුවක් සඳහා ලබා දුන් මිලකි.

මේ වන විටත් ‘මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර්’ ග්‍රෑම් 490ක පැකට්ටුවක මිල වන්නේ රු. 590 ක් වන අතර මන්චි නිෂ්පාදනය කරන CBL ආයතනය හා එක්ව කීල්ස් ආයතනය විසින් ලබා දුන් 25% වට්ටම හේතුවෙන් රු.442කට මිලකට කෙටි කාල සීමාවක් ඇතුළත දී පමණක් මෙලෙස අඩු මිලක් යටතේ එම බිස්කට් පැකැට්ටුව අලෙවි කර තිබු බව සිලෝන් බිස්කට් (CBL) සමාගමේ අලෙවි අංශයේ ඉහළ කළමණාකාරීත්වය මෙන්ම, කීල්ස් ආයතනය ද තහවුරු කරනු ලැබුවා.

Avatar

Title:‘මන්චී සුපර් ක්‍රීම් ක්‍රැකර්’ මිල අඩු වූවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading