කේක් වර්ගයක ඇතුළත් කර ඇති ළමුන් අඩපණ කළ හැකි පෙති වර්ගයක් යනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ පිරිසක් අතර සංසරණය වූ වීඩියෝවක නිවැරදි දත්ත සහ කරුණු සොයා අප සිදු කළ ගවේෂණයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

අලුත් කේක් එකක් වෙළෙඳපොළේ ඇත. Lupo සමාගම සතුව ළමුන් අඩපණ කරන ටැබ්ලට් එකක් කරුණාකර මෙම වීඩියෝව ඔබේ මිතුරන්ට යොමු කරන්න. ඔබේ දරුවන් ගැන සැලකිලිමත් වන්න සහ ඔබ ගැනත් සැලකිලිමත් වන්න (*trabslated*)” යනුවෙන් සඳහන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, Luppo සන්නාමය යටතේ නිකුත් කොට ඇති කේක් ස්නැක් පැකට් කිහිපයක් පෙන්වන අතර, මෙහි කේක් කෑල්ලක් කුඩු කිරීමේදී ඇතුලත යම්කිසි ටැබ්ලට් වර්ගයක් හමුවෙන අයුරු දැක්වෙන වීඩියෝවකි.

Facebook | Facebook

මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබූ අයුරු

WhatsApp ඔස්සේ ද, මෙම වීඩියෝව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Archived Link

YouTube ඔස්සේ ද, මෙම වීඩියෝව පළ වී තිබුණේ මේ අයුරින්. එසේම මීට වසර කිහිපයක සිටම, එනම් 2019 වසරේ සිට මෙම වීඩියෝව සංසරණය වී තිබුණා.

YouTube ඔස්සේ මෙම දර්ශන පෙළ බහුලව ව්‍යාප්තවී තිබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් සත්‍ය වශයෙන්ම ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි ළමුන් අඩපණ කරන බෙහෙත් වර්ගයක් කේක් වර්ගයට ඇතුළත් කිරීමට Luppo නම් සමාගමක් ක්‍රියාකර තිබෙනවාද යන්න පිළිබඳ හා මෙහි පිළිබඳව නිරවද්‍යතාවය සොයා විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මේ ප්‍රථමයෙන්ම තත්පර 50කින් යුත් මෙම වීඩියෝවේ දැක්වෙන Luppo සන්නාමය යටතේ කෙටි ආහාර වේලක් (Snack) ලෙස ගත හැකි කේක් වර්ග මෙරට වෙළඳපොළේ මිලදී ගැනීමට ඇත්දැයි යන්න ප්‍රථමයෙන්ම විමර්ශනය කරනු ලැබුවා. නමුත් මෙරට Luppo සන්නාමය යටතේ කිසිදු ආහාර වර්ගයක් මෙරට වෙළඳපොළේ ඇති බවට සාක්ෂි හමු නොවුණි.

තුර්කියට සම්බන්ධ 2019 වසරේ වීඩියෝ දර්ශන පෙළක්

ඉන්පසුව මෙම Luppo සන්නාමය යටතේ ඇති ස්නැක් වර්ගය කුමන රටේ නිෂ්පාදනයක්ද යන්න නිරීක්ෂණය කළා. ඒ අනුව එය ඉස්තාන්බුල් හි පිහිටි Şölen නමැති තුර්කි සමාගමක් බව, අපට දැක ගන්නට ලැබුණා.

එමෙන්ම ඉහත වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එහි තිබූ වීදුරු මේසය පහළින් ‘Aspilic’ නමැති වෙනත් නිෂ්පාදනයක ඇසුරුමක්ද, දැක ගන්නට ලැබුණු අතර ඒ පිළිබඳ සෝදිසී කිරීමේදී එයද, මෙරට දී දක්නට නොමැති නිෂ්පාදන සමාගමක් වන අතර ශීත කළ ඇසුරුම් කළ මස් අලෙවි කරන තුර්කි සමාගමක් බවට දැක ගන්නට ලැබුණා. ඒ අනුව මෙම වීඩියෝව මෙරට වූ සිදුවීමක් නොවන බව තවදුරටත් තහවුරු වේ.

මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කරුණු විමර්ශනයක් සිදු කළ Teyit නමැති තුර්කියේ කරුණු විමර්ශන කණ්ඩායම 2019 වසරේ Solen Chocolate සමාගමෙන් වැඩිදුර කරුණු විමසීමක් සිදු කර තිබේ. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ, ඉහත වීඩියෝවේ, 45 වැනි තත්පරයේදී එම වීඩියෝවේ සිටින පුද්ගලයා විසින් සොරානි භාෂාවෙන් (Sorani යනු කුර්දි භාෂාවේ උපභාෂාවක් වන අතර ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රාදේශීය රජයේ නිල භාෂාවකි) පවසන්නේ තුර්කියෙන් භාණ්ඩ පැමිණි බවයි. මෙම වීඩියෝව තුර්කියේ රූගත කර නොමැති බවත්, ඉරාකයේ වීඩියෝ ගත කර ඇති බවට උපකල්පනය කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම Solen සමාගමේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, Luppo නිෂ්පාදන ඉරාකයට අපනයනය කර ඇති බවත්, එබැවින් වෙනත් රටකට ඇතුළු වන ඕනෑම ස්ථානයකදී රේගුව විසින් සිදු කරන පරීක්ෂාවේදී මෙම බෙහෙත් පෙති හමු විය යුතු බවයි.

Luppo නිෂ්පාදන ක්‍රියාවලිය

Solen සමාගම විසින් පර්යේෂණාගාර වාර්තා මෙන්ම නිෂ්පාදනය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ තොරතුරු ද ලබා දී තිබේ.

නිෂ්පාදනයේ භාවිතා කරන අමුද්‍රව්‍ය සහ Solen හි ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව හෙළි කරමින් ඔවුන් වැඩිදුරටක් පවසා ඇත්තේ, එම කේක් වර්ග නිෂ්පාදනයේදී පෙති එකතු කළහොත් එම පෙති වර්ග පිළිස්සීමට හෝ දියවී හෝ විකෘති විය යුතු බවත්, නමුත් මෙම වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එහි දැක්වෙන බෙහෙත් පෙති වර්ග ඒ ආකාරයේ වෙනසකට ලක්ව නැති බවත්, ඒ අනුව මෙම නිෂ්පාදන සාදා ඇසුරුම් කිරීමෙන් පසුව බෙහෙත් පෙති එකතු කර ඇති බව පැවසිය හැකි බවයි.

එසේම මෙය පදනම් විරහිත, අසත්‍ය සහ සම්පූර්ණයෙන්ම තම සමාගමට අපහාස කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට Solen සමාගම සඳහන් කරන අතර Luppo පොල් ක්‍රීම් කේක් නිෂ්පාදනය කරන ලද ස්ථානය ඇතුළු බලාගාරයේ නිෂ්පාදන ක්‍රියාවලියේ ආරක්ෂිත ප්‍රමිතීන් සහ සහතික කිරීම් සම්බන්ධ සාක්ෂි ද සමාගම විසින් නිකුත් කර ඇති අතර ස්විට්සර්ලන්ත සමාගමක් වන SGS විසින් ද මෙහි පරීක්ෂා කිරීම් සිදු කරන ලද එම සහතික පත ද, ඇතුළත් අනෙක් සහතික පත් මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එසේම සෞඛ්‍ය කුර්දිස්තානයේ අමාත්‍යාංශය නම් වූ ෆේස්බුක් පිටුවක ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු Luppo නිෂ්පාදන පරීක්ෂා කරන ඡායාරූපයක් මෙසේ හුවමාරු කර ගනිමින් 2019 වසරේ සඳහන් කර තිබුනේ එහි ගැටළුවක් නොතිබුණු බවයි.

තවද, එවකට උතුරු ඉරාකයේ ‘සාම වසන්ත මෙහෙයුමෙ’න් (Operation Peace Spring) පසුව, තුර්කි භාණ්ඩවලට එරෙහිව වර්ජනය කිරීමේ උත්සාහයක් දියත් කර ඇති බවත් එලෙස වර්ජනය කිරීමට උත්සාහ දැරීම මෙවැනි වීඩියෝ මතුවීමට හේතුව විය හැකි බවත් එම කරුණු විමර්ශන කණ්ඩායම පෙන්වා දෙනවා. Teyit තුර්කි කරුණු විමර්ශන කණ්ඩායම විසින් මේ පිළිබඳව සිදු කළ සම්පූර්ණ ගවේෂණය මෙතනින්. මේ පිළිබඳව සිදු කළ තවත් කරුණු විමර්ශන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සුක්ෂම ලෙස සැකසු වීඩියෝ දර්ශන පෙළක්

ඉහත වීඩියෝව හොඳින් නිරීක්ෂණයේදී කේක් නිෂ්පාදනය අඩංගු එක් පැකැට්ටුවක් විවෘත කළ කේක් කැබැල්ල ඉවතට ගත්ත ද (17 වන තත්පරයේ දී) මොහොතකට එම කේක් කැබැල්ල, ඉතා සුක්ෂම ලෙස රූප රාමුවෙන් පිටතට යන ආකාරය දක්ගනන්ට ලැබෙනවා. ඒ අනුව ඊළඟ රූප රාමුවේ දැක්වෙන්නේ ඊට පෙර රූප රාමුවේ ඉවතට ගත් කේක් කැබැල්ලමද යන්න සැක සහිතවේ. ඊට හේතුව කේක් කැබැල්ල රූප රාමුවෙන් පිටතට යෑමෙන් පසු රූප රාමුවෙන් පිටත තිබූ වෙනත් කේක් කැබැල්ලක් එකතු කිරීමේ අවකාශයක් තිබෙන බැවින්.

එමෙන්ම ඔහු විසින් කේක් කැබැල්ල දෙකට කැඩීමේදී දකුණු අත රැඳි කේක් කැබැල්ලේ, මතු පිට සිදුරු කර තිබු ආකාරයක් දැක ගන්නට ලැබෙන අතර වීඩියෝවේ ඉතිරි කොටසේ කේක් එක කඩා දැමීමේ දී ද පෙති වර්ගය මතුවන්නේ ද මතුපිට වූ සිදුරේ පතුලට සමපාත වන ස්ථානයෙන් බව දැක ගැනීමට හැකි වේ.

Luppo නිෂ්පාදන සිදුකරන Solen සමාගම

Luppo නමැති සන්නාමය යටතේ නිෂ්පාදනයත් මෙම තුර්කි සමාගමේ නිෂ්පාදනය කරන අතර Biscolata, Ozmo, Milango, Boombastic, Lokkum සහ Nutymax වැනි සන්නාමද ඇතුළත්ව කරමින්, නිෂ්පාදන වර්ග 200 කට අධික ප්‍රමාණයක් එක්සත් ජනපදයේ සිට බෙල්ජියම දක්වා, ජපානයේ සිට මාලදිවයින දක්වා ඇතුළු රටවල් 120 කට වැඩි ප්‍රමාණයකට අපනයනය කරනු ලබයි. මෙම සමාගමට ඩුබායි, ඇල්ජීරියාව, අසර්බයිජානය, ඇමරිකා එක්සත් ජනපදය, සෞදි අරාබිය, ජර්මනිය සහ එංගලන්තය යන රටවල ප්‍රාදේශීය කාර්යාල ඇති අතර සහ ලෙවන්ට් කලාපයේ, කැනඩාවේ, චීනයේ, ලතින් ඇමරිකාවේ කලාපීය අධ්‍යක්ෂ මණ්ඩලයන්ද ඇති බවට දැක ගන්නට ලැබුණා. එම තොරතුරු මෙතනින්.

කෙසේනමුත් එසේ Şölen නිෂ්පාදන අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව විශේෂයෙන්ම  ලැයිස්තු ගත කොට නොතිබුණු අතර මීට පෙර කරුණු විමර්ශන සිදුකළ කණ්ඩායමක් විසින් එම සමාගමයේ ආසියානු කලාපයේ මෙහෙයුම් පිළිබඳව පෙන්වා දී තිබූ අතර එහි දී ද ලංකාවට එම නිෂ්පාදන නිකුත් කරන බවක් දක්නට ලැබුනේ නැහැ. එනම් මෙරට වෙළඳපොළේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට නොමැති බවට පැවසිය හැක. මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමට අප Solen සමාගමෙන් විමසීමක් සිදුකළ අතර ඒ සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

Also Read : මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ වෙළඳපොළේ ලබා ගත හැකි නිෂ්පාදනයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ Luppo නමැති සමාගම සතුව ළමුන් අඩපණ කරන බෙහෙත් වර්ගයක් යොදා අලෙවි කරන බවට දක්වමින් සංසරණය වූ වීඩියෝව මෙරට වීඩියෝවක් නොවන බවයි. මෙය 2019 වසරේ සිට හුවමාරු වන තුර්කි සහ ඉරාක කලාපයට සම්බන්ධව සැකසුණු වීඩියෝවකි.

මෙහි දක්වන්නේ ඉස්තාන්බුල් හි ඇති Şölen නමැති තුර්කි සමාගමක් මඟින් අලෙවි කරන Luppo නමැති චොකලට් කේක් වර්ගයකි. එම සමාගමින් කිසිදු ආහාර වර්ගයක් ලංකාවේ වෙළඳපොළට නිකුත්කරන බවක් දැක ගන්නට ලැබෙන්නේ ද නැහැ.

එසේම වීඩියෝව පරික්ශාකරිව නැරඹීමේ දී ඇසුරුමෙන් ඉවතට ගන්නා කේක් කැබැල්ල රූප රාමුවෙන් ඉවතට ගොස් නැවත පැමිණෙන බැවින් බොහෝ දුරට වෙනත් කේක් කැබැල්ලක් පසුව ඇතුළු කර ඇති බවක් හැඟවෙනවා. එසේම එම කේක් කැබැල්ලේ කේක් කැබැල්ල කැඩීමට පෙර මතුපිට සිදුරු ඇති බවටත්,එමගින් එම යම්කිසි පෙති වර්ගයක් ඇතුල් කර වීඩියෝව නිර්මාණය කර ඇති බවත් අනුමාන කල හැක.

ඉහත වීඩියෝව ඉරාකයේ වැසියෙකු විසින් තුර්කි භාණ්ඩවලට එරෙහිව වර්ජනය කිරීමේ උත්සාහයක් දියත් කිරීමට නිර්මාණය කර ඇති අසත්‍ය වීඩියෝවක් බවට 2019 වසරේ බොහෝ කරුණු විමර්ශන කණ්ඩායම් පෙන්වා දී තිබෙනවා.

Avatar

Title:ළමුන් අඩපණ කරන ටැබ්ලට් සමඟ ලංකාවේ වෙළඳපොළේ අලෙවිවෙන Luppo කේක් ? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading