දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොයෙකුත් පක්ෂ මෙන්ම සංවිධාන ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු යන මැයෙන් ලිබරල් සහෝදරත්ව සංවිධානය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ (LDM), සර්ව පාක්ෂික අරගලකරුවෝ, plus one (+1) - රට වෙනුවෙන් මමත් එකෙක් යන සංවිධාන කිහිපයක එකතුවෙන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් පළ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් සංසරණය වුණා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, මිලියන ගණනක් වූ අරගලකරුවන්ගේ පූජනීය අරගල භූමියේ මත්පැන්, දුම්වැටි මෙන්ම නානාප්‍රාකාර ආලෝක රටා, සංගීත නාද දැක ගත හැකි බවත්, වත්මන් රජයේ මේ ක්‍රියාකලාපය නිර්පාක්ෂික අරගලකරුවන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත්, වහාම ගෝල්ෆේස් අරගල භූමියෙන් මෙම සැණකෙළි ඉවත් කර නොගතහොත් නැවතත් ගෝල්ෆේස් අරගල භූමියට රට වටින්ම ජනතාව කැඳවීමටත්, 2023 නව වසර, කළු නව වසරක් ලෙස ඇරඹීමටත් පසුබට නොවන බවයි. නිවේදනය පහතින්.

මෙම නිවේදනය WhatsApp ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත සඳහන් ලෙස මාධ්‍ය නිවේදනයක් අප ආයතනය ඇතුළු අනෙකුත් මාධ්‍ය ආයතන වෙත, මෙම එහි සඳහන් සංවිධාන කිසිවක් මඟින් ලැබී නොමැති බව, අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූවා. මේ හේතුවෙන් එවැනි නිවේදනයක් පිළිබඳ එම සංගම් වලට අයත් නිල ෆේස්බුක් පිටුව හරහා හෝ පළ කර ඇත්ද යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය

එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ (LDM) විසින් එම නිවේදනය ඔවුන් විසින් පළ කර නොතිබුණු අතර එය අසත්‍ය නිවේදනයක් බවට දක්වා තිබූ සටහනකි. එම සටහන පහතින්.

Facebook | Archived Link

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ කැඳවුම්කරු රසික ජයකොඩිගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මෙම මාධ්‍ය නිවේදනය ආණ්ඩුවට හිතවාදී පිරිසක් විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් බවයි. ඒ පිලිබඳ ඔහු පළකර තිබු ෆේස්බුක් සටහන මෙතනින්.

ලිබරල් සහෝදරත්ව සංවිධානය

එමෙන්ම ලිබරල් සහෝදරත්වය ෆේස්බුක් පිටුවේ ද, සඳහන් කර තිබුණේ, එම සංවිධානය ද ඇතුළත් ව තවත් තරුණ සංවිධාන කිහිපයක නම අවභාවිතා කරමින් ගාලුමුවදොර සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සංසරණය වන බවයි.

‘ගාලු මුවදොර අරගල භූමිය සංදර්ශන භූමියක් නොකරනු’ යන මැයෙන් පළ වූ නිවේදනයට තම සංවිධානයේ කිසිදු ආකාරය සහයෝගයක් නොදක්වන බව ලිබරල් සහෝදරත්වය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ගාලු මුවදොර අරගල භූමිය සංචාරක කලාපයක් කිරීම තුලින් රටට විදේශ විනිමය ගෙන්වා ගැනීම පිළිබද කිසිදු විරෝධයක් නැති බවයි එම සංවිධානය ඔවුන්ගේ නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

රට යථා තත්ත්වයට ගමන් කිරීමට උත්සාහ කරන අවස්ථාවේ නැවත අරගල කිරීමෙන් රට අස්ථාවර කිරීමේ කූඨ දේශපාලන අරමුණුවලට සහාය නොදක්වන බවද එහි සඳහන්.

Facebook | Archived Link

ලිබරල් සහෝදරත්වය සංවිධානයේ කැඳවුම්කරු සහන් වීරතුංග පවසා සිටියේ, මෙවැනි පටු පිළිකුල් සහගත දේශපාලන උපක්‍රම සදහා තම සංවිධානයේ නම සහ ලාංඡනය යොදාගැනීම දැඩි ලෙස හෙළා දකින බවයි.

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය

සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් ද, මෙලෙසින් කූට ලේඛනයක් පළ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට දක්වමින් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link

එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම සංවිධානයේ මහලේකම් සමිත් බෝධිපක්ෂ අප සමගින් පවසා සිටියේ, ලිපියේ හෝ එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ කිසිදු මැදිහත්වීමක්, දායකත්වයක් හෝ දැනුවත් වීමක් නොමැති බවයි. තවද කිසිදු විටෙක ඔවුන්ගේ සංවිධානය නිසි හා පූර්ණ එකඟතාවලින් තොරව, ඒකාබද්ධ නිවේදන නිකුත් නොකරන බවත් ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ මහලේකම් පවසා සිටිනවා.

plus one (+1) - රට වෙනුවෙන් මමත් එකෙක් යන සංවිධානයේ කැඳවුම්කරුද, දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට අපගත් උත්සහය ව්‍යර්ථ වුණු අතර ඔහු සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව එම සංවිධානයේ පිළිතුරු ද, සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

කෙසේවෙතත් මෙම ව්‍යාජ ලිපිය ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබු අයුරක් අපට මෙම ලිපිය පළකරන අවස්ථාවේ දී දැක ගන්නට ලැබුනේ නැති අතර එහි මුලාරම්භය පිලිබඳ තොරතුරු ද හමුවුයේ නැහැ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගාලු මුවදොර අරගල භූමිය සංදර්ශන භූමියක් නොකරනුයන මැයෙන් ලිබරල් සහෝදරත්ව සංවිධානය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ (LDM), සර්ව පාක්ෂික අරගලකරුවෝ, plus one (+1) - රට වෙනුවෙන් මමත් එකෙක් යනාදී සංවිධාන කිහිපයක එකතුවෙන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් පළ කර ඇති බවට පළ වූ නිවේදනය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද නිවේදනයක් බව එම සංගම් විසින් තහවුරු කරන ලද බවයි.

Avatar

Title:‘ගාලු මුවදොර අරගල භූමිය සංදර්ශන භූමියක් නොකරනු’ මැයෙන්, සංවිධාන කිහිපයක එකතුවෙන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False