දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ලංකාවේ දේශපාලනඥයන් සහ විදේශ රටවල එවැනි නායකයන් සංසන්දනය කරමින් නිතරම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ අතර වැරදි අර්ථකතනයන් ලබාදුන් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා.

ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, වයෝවෘද්ධ මිනිසෙකුට ආචාර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද බහුලව හුවමාරු වෙනවා. මෙහි ඇත්තටම සිටින්නේ ඉන්දීයය මුදල් ඇමැතිනියගේ පියා ද ?

සමාජ මාධ්‍ය සටහන් :

“නිර්මලා සීතා රාමන් ඉන්දියාවේ මුදල් ඇමති වෙලත් තාත්තා ජීවත්වෙන ගෙදර කන්ඩිෂන් එක හොඳටම මදි නැද්ද?” යන වදන් පෙළත් සමඟින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය මහළු පුද්ගලයකු සමඟ ඔහුගේ නිවාස බවට හැඟෙන ස්ථානයක ඉතා සුහද කතාබහක යෙදෙන වීඩියෝවක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මෙම වීඩියෝව ලංකාවේ WhatsApp භාවිතා කරන්නන් අතර ද විශේෂයන්ම ඉංග්‍රීසි බසින් හුවමාරු වී තිබුණා. එහි දැක්වුණේ ද රාජකාරි කටයුත්තකට යන අතරමඟ, සිය පියා වාසය කළ නගරයට පැමිණි විට දී, ඔහු සිටි නිවසට ඉන්දීය මුදල් අමාත්‍යවරිය ගිය අවස්ථාවක් ලෙසයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මුලින්ම Google Reverse Image සෙවුමක් ඔස්සේ විමර්ශනය ආරම්භ කළ අතර එහිදී දැක ගන්නට ලැබුනේ 2022 වසරේ දෙසැම්බර් මස 3 වැනිදා නිර්මලා සීතාරාමන් විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ වීඩියෝවක් වෙත අවධානය යොමු විය.

වීඩියෝවේ විස්තරයේ සිංහල පරිවර්තනය වන්නේ, “ශිව මඩම යනු මහාකවි භාරතියර් (Bharathiyar) 1900 ගණන්වල ඔහුගේ වාරානාසි සංචාර අතරතුර දී නැවතී සිටි ස්ථානය #KashiTamilSangamam” යනුවෙනි. එම වීඩියෝව මෙතනින්

මේ ඔස්සේ අප වැඩිදුරටත් සිදුකළ පරික්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, නිර්මලා සීතාරාමන් විසින් 2022 දෙසැම්බර් 4 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත වීඩියෝව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති බවයි.

ඇය වරනාසි හි පිහිටි ශිව මඩම වෙත ගොස් මහාකවි භාරතියර්ගේ 96 හැවිරිදි බෑණනුවන් වන කේ.වී. ක්‍රිෂ්ණන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ සංවාදයක යෙදුණු බව එහි සඳහන් වේ. එම මුල් වීඩියෝව පහතින්

https://www.instagram.com/reel/Clu0QkZuga1/?utm_source=ig_web_copy_link

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අවස්ථාවේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය දෙමළ මහා කවියකු වන සුබ්‍රමනියම් භාරතීගේ ඥාති පුත්‍රයකු වූ කේ.වී. ක්‍රිෂ්ණන් හමුවී ඇති අතර සිය පියා හමුවූ බවක් කොතැනකවත් සඳහන් කර නැත.

‘Kashi Tamil Sangamam’ නමින් දමිළ කාෂි සංගමය විසින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ වරනාසි හි දී මාසයක වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබු අතර ඒ සඳහා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහභාගී වූ අවස්ථාව අතරතුර මෙම සුබ්‍රමනියම් භාරතීගේ ඥාති පුත්‍රයා ඇතුළු පිරිස මුණගැසීම් සිදුව තිබුණා.

එසේම නිර්මලා සීතාරාමන්ගේ දෙමාපියන් වන සාවිත්‍රි සීතාරමන් සහ නාරායනන් සීතාරාමන්ගේ ඡායාරූප ABP ප්‍රවෘත්ති වාර්තාවක් තුළින් අපට හමු විය. මෙම වීඩියෝව 2019 ජුලි 5 පළවී තිබුනේ නිර්මලා සීතාරාමන් ඇයගේ පළමු අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේදී සිය දෙමව්පියන් ද එම අවස්ථාවට එක් වූ අවස්ථාවේ ඡායාරුප ද සමඟින්.

https://youtu.be/kw7g0-gY4i4

මීට පෙර ඉන්දිරා ගාන්ධි අගමැති ධුරය සමඟ මුදල් අමාත්‍ය ධුරය ද දැරූ නමුත් ඉන්දියාවේ පුර්ණ කාලින මුදල් අමාත්‍ය ධුරයක් දැරූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වන්නේ නිර්මලා සීතාරාමන් මහත්මියයි. ඇය පිලිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

අවසාන නිගමනය

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අවස්ථාවේ දී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවන්නේ දෙමළ මහා කවියකු වන සුබ්‍රමනියම් භාරතීගේ ඥාති පුත්‍රයකු වූ කේ.වී. ක්‍රිෂ්ණන් ඇතුළු පිරිසකි. ඇයගේ පියා එම අවස්ථාවේ සිටින්නේ නැහැ.

Also Read: Nirmala Sitharaman Is Not Interacting With Her Father In This Video

Avatar

Title:ඉන්දීය මුදල් අමාත්‍යවරිය සිය වයෝවෘද්ධ පියා සමඟ, ඔහුගේ නිවසේ සංවාදයක යෙදෙන අවස්ථාවක්ද? (VIDEO)

Fact Check By: Pavithra Sandamali

Result: False