නිදහස් දිනයට සමගාමිව නුවරදී ජනපති ගමන්ගත් ආචාර රථ පෙළක් ලෙස හුවමාරු වූ වීඩියෝවේ සැබවින්ම සිටියේ කවුරුන් ද?

පෙබරවාරි 02, නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන් නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් සහ ඒ සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සහභාගී වූ සුඛෝපභෝගී වාහන රැසකින් සමන්විත ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනය සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙම වීඩියෝවේ ඇත්ත තතු කවරේද යන්න පිලිබඳ FactCrescendo කණ්ඩායමේ විමර්ශන කිහිපයක් ලැබුණු අතර ඒ පිලිබඳ විමර්ශනයක් සිදුකළා.

පසුගිය සති කිහිපය පුරාවට ම, නිදහස් දින උළෙල සඳහා වෙන් කර තිබෙන මිලියන ගණනක අරමුදල් ප්‍රමාණ පිළිබඳ සමාජයේ කතිකාවතක් ඇති වී තිබුණා. ඇතැමුන් පෙන්වා දුන්නේ, මෙතරම් ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයක සිටින අවස්ථාවකදීත්, විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරමින් ජනපති රනිල් කටයුතු කරන බවත්, වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපති සිය පිරිවර පිරිවර සමඟ, තේජාන්විත ලීලාවෙන් නුවර නගරයේ ගමන් ගන්නා අවස්ථාවක් බවයි.

වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී අපට දැක ගන්නට ලැබු‍ණේ, මෙම මෝටර් රථ පෙළ පාලියේ ඇති වාහන වල, සුඩානය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක නාම පුවරු සඳහන් කර ඇති බවත් ඒ හේතුවෙන් බොහෝ දුරට එම රටවල් නියෝජනය කරන පිරිසක් ගමන් ගන්නා බවයි.

ඒ අනුව නුවර ප්‍රදේශයේ දී රටවල් නියෝජනය කරමින් සිදුවූ උත්සවයක් තිබුණාද යන්න අප පරික්ෂා කළා. “මහනුවර රථ පෙරහැරේ ගිය මහ කොමසාරිස්වරු” යන තේමාවෙන් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වුණු දර්ශන පෙළෙම වෙනත් කෝණයකින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා. ඔවුන් ද තහවුරු කර සිටියේ, ලංකාව සඳහා එතෙර රටවල් 17කට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු පෙබරවාරි 02 වනදා පස්වරුවේ දී, මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්ත පත්‍ර භාර දෙනු ලැබූ අවස්ථාවක් පැවැත්වූ බවත්, එම උත්සවයට අදාළ තානාතිපරු ගමන් ගත් රථ පෙළ මෙම වීඩියෝවේ දැක්වෙන බවයි.

කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරුන් ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස ජනපති අතින් පසුගිය දා අක්ත පත්‍ර භාරගැනීම සිදුකර තිබුණා.

මහනුවර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපති සඳහන් කළේ ද, පෙබරවාරි දෙවැනිදා නුවරදී පැවති නව තානාපතිවරු ඇතුළු මහකොමසාරිස්වරුන් පිළිගැනීමේ උත්සවය සඳහා එම ප්‍රභූවරුන් රැගත් රථවාහන පෙළ මෙම වීඩියෝවේ දැක්වෙන බවත් එම රථ පෙළෙහි ජනපති ගමන් ගෙන තිබුනේ නැති බවයි.

එසේම මීට පෙර මෙලෙසින් නව තානාපතිවරු පත් වීමේදී මෙලෙස උත්සව ශ්‍රීයෙන් පත් වූ අවස්ථාවන් රැසක් පිලිබඳ වාර්තා අපට දැකගන්නට ලැබුණා. කෙසේනමුත් මෙම උත්සව බොහොමයක්ම පාහේ පවත්වා තිබුණේ කොළඹ ජනපති කාර්යාලයේ දීයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පැහැදිලි කරන්නේ නව පත්වීම් ලබා මෙරටට ආ දූත පිරිසට ලංකාවේ සංස්කෘතිය, සංචාරක ආකර්ෂණයන් සහ ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් ඇති බව ඇතුළු සමස්ත වශයෙන් ධනාත්මක ප්‍රතිරූපයක් ලංකාව ගැන ඇතිකරලීමට මෙසේ නුවර නගරය මුල්කරගනිමින් මෙම උත්සව කටයුතු පැවැත්වීමට හේතු වූ බවයි.

නවසීලන්ත අගමැති ජසින්ඩා, ඉල්ලා අස්වීමෙන් පසු DJ වෘත්තියට පිවිසුණා ද?

2017 වසරේ සිට නවසීලන්ත අගමැතිනි ලෙස කටයුතු කළ ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම මීට සති කිහිපයකට කිහිපයකට පෙර ප්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගෙන සිටින ජසින්ඩාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් ලංකාමේ මෙන්ම ලොව පුරා නායකයන්ට ලබාගත හැකි ආදර්ශ රැසක් තිබෙන බව ද වාර්තා රැසකින් පෙන්වා දුන්නා.

මේ අතර, ජසින්ඩා තමන් අගමැති වීමට පෙර රැකියාව වූ DJ ශිල්පිනියක් ලෙස ප්‍රසංගවල සංගීතය සැපයීමේ වෘත්තියට නැවත වරක් පිවිසුණු බවක් දක්වන සටහනක් සමාජ ජාලාවල සංසරණය වුණා. මේ පිලිබඳ අප FactCrescendo කණ්ඩායම සිදුකල කරුණු විමසා බැලීමේදී තහවුරු වුණේ ඒවා නොමගයවන සුලු බවයි.

සමාජ ජාලා සටහන් සමග පැතිරුණු සේයාරුව පිලිබදව සොයාබැලූ අපට දැකගන්නට ලැබුණේ මෙය 2014 වසරේ ජනවාරි මස ලබාගෙන තිබු ඡායාරුපයක් බවයි. එම අවධියේ දී ජසින්ඩා, නවසීලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර තිබුණා. නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවති Laneway Festival නම් ප්‍රසංගයකට සම්බන්ධවුණු අවස්ථාවකදී, එම අවස්ථාවේ දී ලැබුණු ආරාධනයක් මත ජසින්ඩා විසින් DJ වරියක් ලෙස සින්දු කිහිපයක් ඉදිරිපත් කළ අවස්ථාවකුයි එහි දැක්වෙන්නේ.

මෙම සංගීත උළෙලේම ඊට පසු 2018 වසරේ දී, එනම් ජසින්ඩා අගමැති වීමෙන් පසුව ද ඇය මේ ආකාරයට DJ වරියක් ලෙස ඉදිරිපත් කිරීමක් සිදුකළ බව ඡායාරුප වාර්තා පෙන්වා දෙනවා. මේ පිලිබඳ පළවූ නවසීලන්ත හෙරාල්ඩ් පුවත්පත් වාර්තාවක සඳහන්ව ඇත්තේ DJ වරියක් ලෙස ලද විවිධ අවස්ථාවන්හිදී කටයතු කිරීමට ජසින්ඩා කැමැත්තක් දක්වන බවක්.

කෙසේනමුත් දිගුකාලීනව DJ වරියක් ලෙස ඇය කටයුතු කර තිබෙන බවට වාර්තා වන්නේ නැති අතර ආධුනික ශිල්පිනියක් ලෙස අවස්ථා කිහිපක දී විශේෂයෙන්ම ප්‍රාදේශිය වශයෙන් ජසින්ඩා සංගීත ඉදිරිපත් කිරීම් සිදුකර තිබෙනවා. 2013 සහ 2014 අවධියේ ජසින්ඩා DJ වරියක් ලෙස සිදුකර තිබු ඉදිරිපත් කිරීම් ද අළලා විශේෂයෙන්ම දේශපාලන වේදිකාවේ දී කතිකාවත් ද විටින් විට ඇති වී තිබෙනවා.

වයිකොටෝ විශ්ව විද්‍යාලයේ සන්නිවේදනය සම්බන්ධ උපාධියක් හිමි හිටපු නවසිලන්ත අගමැතිනිය, දශක දෙකක පමණ කාලයක් දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික රැකියා සිදු කර තිබෙන, ඒ සම්බන්ධ පළපුරුදු කාන්තාවක්.

එමෙන්ම ඇය අගමැති ධුරයෙන් ඉවත්වීම සිදු වුවත් ඇය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමක් සිදුවන්නේද නැති අතර අඩුම වශයෙන් මේ වසරේ අප්‍රේල් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන බව දන්වා තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලට මගින් ජනතාව වෙත  සිදු කරන ඉල්ලීමේ ඇත්ත නැත්ත  !

“රිජ්වේ ආර්යා ළමා රෝහල රටෙන් හදිසි ඉල්ලීමක් කරයි. හැකි ඉක්මනින් ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයට රුධිර පරීක්ෂණ කට්ටල ලබා දෙන්න” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බොහෝ දෙනෙක් අතර සංසරණය වූවා.

නමුත් FactCrescendo කණ්ඩායම සිදුකල කරුණු විමසුමේදී තහවුරු වුවේ රිජ්වේ ආර්යා ළමා රෝහල මගින් සිදු කරන ලද ඉල්ලීමක් මේ ආකාරයට විකෘතිවී සමාජ ජාලාවල හුවමාරු වන බවයි.

නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයට රුධිර පරීක්ෂණ කට්ටල අවශ්‍යතාවයක් ඇති බවට හෝ ඒවා ලබා දෙන ලෙසට ඉල්ලීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබෙනු අපට දක්නට ලැබුනේ නැහැ.

මේ හේතුවෙන් අප රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසීමක් සිදු කළා.

වෛද්‍යවරයා සඳහන් කළේ, රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය වන්නේ, රුධිර පරීක්ෂණ කට්ටල නොව රුධිර වායු විශ්ලේෂක ප්‍රතික්‍රියාකාරක (Blood Gas Analyzer Reagent) කට්ටල බවයි.

හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දැඩිසත්කාර ඒකකයේදී කෘතීම ස්වසන යන්ත්‍රයට සවිකරන අතර එහිදී දරුවාගේ රුධිරයේ සංයුතිය නිසි පරිදි පවතින්නේද යන්න පිළිබඳව පරික්ෂා කර බලා කෘතීම ස්වසන යන්ත්‍රය දරුවාට හිතකර වන ලෙස වෙනස් කළ යුතු බවත්, මේ සඳහා රුධිරයේ වායු සංඝටක සංයුතිය බැලීම සඳහා මෙකී රුධිර වායු විශ්ලේෂක ප්‍රතික්‍රියාකාරකය (Blood Gas Analyzer Reagent) කට්ටල අවශ්‍ය බව ත් ඔහු පවසා සිටියා.

මෙම එක් කට්ටලයක් ලක්ෂ 5ක් පමණ වන අතර එක් කට්ටලයකින් මඟින් රෝගීන් 250 ක් පමණ පරීක්ෂණ සිදු කළ හැකි බවත්, හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දිනකට එම පරීක්ෂණ 10ත් 15 ත් අතර ප්‍රමාණයක් සිදු කළ යුතු අතර මෙම දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 15ක් පමණ ඇති බැවින්, මෙම කට්ටයලකින් දරුවන් 15 දෙනකුට දින තුනක් පමණක් ප්‍රමාණවත් වන බවත්, දරුවන්ගේ ජීවිත රැක ගැනීම සඳහා මෙම කට්ටල දැඩි අවශ්‍යතාවයක පසුවන බවත්, පරිත්‍යාග ශීලි පිරිස මේ සඳහා උපකාර කරන ලෙසත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති ඉල්ලීමක් සිදු කළා.

“One Ring Scam” දුරකතන වංචාව පිලිබඳ හුවමාරු වන සටහනේ ඇත්ත කතාව!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ එක් වරක් පමණක් නාදවෙන ඇමතුම් ලෙසට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් රටවල් කිහිපයකින් ලැබෙමින් පවතින බවයි. විදෙස් දුරකථන අංක කිහිපයක් සහ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබාගැනීම සදහා විවිධ රටවල් සදහා භාවිතාවන කේත කිහිපයක්ද එම සටහන්වලට එක්කර තිබුණා.

එම අංකවලින් එක් වරක් පමණක් ඔබගේ දුරකථනය නාද කර සිටින බව සහ ඔබ නැවත එම අංක අමතන්නේ නම්, ඔවුන්ට ඔබේ දුරකථන නාමාවලිය (contact list) තත්පර 3ක් ඇතුලත පිටපත් කළ හැකි අතර ඔබේ දුරකථනයේ බැංකු හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර තිබේ නම් ඔවුන්ට එම තොරතුරු ද පිටපත් කළ හැකි බවක් සඳහන් වෙනවා.

මේ පිළිබඳව Factcrescendo අප සිදුකළ මුලික විමර්ෂණයේ දී අනාවරණය වූයේ මෙය ‘One-Ring Scam’ හෙවත් එක් වරක් පමණක් නාදවෙන වංචා සහගත ඇමතුම් ගණයට ඇතුළත් වන්නක් බවයි.

එක් වරක් පමණක් නාද වී විසන්ධි වන (Missed Call) ලෙසට තත්ත්පරයක් දෙකකටත් අඩු කාලයකින් නාද වී ඇමතුම ලබා ගැනීමට පෙර විසන්ධි වන නාඳුනන, විදෙස් දුරකථන අංකයකින් හෝ කේතයකින් පැමිණෙන ඇමතුම් මාර්ගයෙන් සිදුවන වංචනික ක්‍රියාවක් පිළිබඳවයි මෙයින් විස්තර කෙරෙන්නේ.

මේ ආකාරයට එක් වරක් පමණක් නාද වී විසන්ධි වන ආකාරයට, නන්නාඳුරන අංක වෙතට නැවත ඇමතුමක් ලබා ගැනීමට තැත් කිරීමේදී ඔබ නොදැනුවත්වම වැඩිපුර ගාස්තු අයවන (අන්තර් ජාතික ප්‍රිමියම් සේවාවන්) විදෙස් ඇමතුම් හරහා සම්බන්ධ වෙමින් ඔබේ දුරකතනයේ පවතින මුදල් වංචා සහගත ලෙස කපා ගන්නා ඇමතුම් මෙසේ One-Ring’ Scam යනුවෙන් සඳහන් කරන බව අමෙරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම (Federal Communications Commission (FCC) පෙන්වා දෙනවා.

බොහෝ විට මෙම වංචනික කණ්ඩායම් මගින් ඔබ ආපසු ලබාගන්නා ඇමතුම සම්බන්ධ කරගෙන පිළිතුරු ලබා නොදී සිටින අතර ඇතැම් ඇමතුම් වල පටිගත කළ පණිවිඩයක් ඇසීමට සලස්වා ඇමතුම් කාල වේලාව වැඩි කිරීමට ප්‍රයත්න දරනවා.

පෙර ගෙවුම් සේවාවක් ජංගම දුරකථන සේවාවක් යොදාගන්නේ නම් දුරකතනයේ පවතින මුදල් කැපී ඇමතුම විසන්ධි වීමක් ද සිදුවිය හැක. පසු ගෙවුම් සේවාවක් ලබා ගෙන ඇත්නම් බොහෝ විට ඔබ නොදැනුවත්ව බිල්පතට ඇමතුම් ගාස්තුව වශයෙන් විශාල මුදලක් එකතුවේ.

කෙසේනමුත් සමාජ මාධ්‍ය සටහන් තුළ දැක්වෙන පරිදි යම්කිසි විදෙස් දුරකතන අංක වෙතට නැවත ඇමතුම් ලබා ගැනීමේදී ඔබේ දුරකතන නාමාවලිය හෝ ඔබගේ බැංකු ගිණුමේ, ණයවර පතේ විස්තර ඇත්නම් ඒවාද පිටපත් කර ගන්නා බවට ද සඳහන් වන කරුණු අසත්‍ය වෙයි.

එසේ කළ හැකි වන්නේ තුන්වන පාර්ශවයක් විසින් කෙසේ හෝ දුරකථනයට අවනසර පිවිසුමකින් ඇතුළත් වුවහොත් (malicious app or other code) හෝ ඔබ විසින් එම කටයුතු සඳහා යම්කිසි හෝ අවසරයක් ඔබගේ පැත්තෙන් ලබා දුනහොත් පමණි.

තොරතුරු ආරක්ෂණ පද්ධති පිලිබදව ප්‍රවීනයෙක් වන රොෂාන් චන්ද්‍රගුප්ත පවසන්නේ, මෙම ඇමතුම් බොහෝ දුරට බුරුන්ඩි, මලාවි, පකිස්තානය, බෙලරූස් සහ බටහිර ඉන්දීය දූපත්වලිනුත් වැනි රටවලින් පැමිණ ඇති අතර, ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්හි විවිධ දූපත් වැනි බොහෝ රටවලින් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ලැබී ඇති බවයි.

එසේම මේ ආකාරයේ හඳුනන්නේ නැති අංකයකින් ඔබගේ ජංගම දුරකථනය වෙත එක් වරක් පමණක් නාද වී විසන්ධිවන ආකාරයේ ඇමතුම් ලබාගන්නේ නම් ඒවාට නැවත ප්‍රති ඇමතුම් ලබා ගැනීමෙන් වැලකි සිටින ලෙසට තොරතුරු ආරක්ෂණ පද්ධති පිලිබඳ ප්‍රවීණයන් පෙන්වා දෙනවා.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ලෙස සදහන් කරමින් සමාජ ජාලාවල පැතිරුනේ ව්‍යාජ ලෙස නිර්මාණය කල ලිපියක් !

අප දන්නා පරිදි, ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, දේශීය හා ජාත්‍යන්තර ණය පියවිය නොහැකි තත්ත්වයකට මුහුණ දී රට බංකොලොත්භාවට පත්වී ඇත. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකා රජය ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්(IMF) ණයක් ලබා ගැනීමට උත්සාහ දරන්නේ, පවතින මුල්‍ය අර්බුදයෙන්යම් තරමක හෝ සහනයක් ලබාගැනීමටයි.

කෙසේ වෙතත්, IMF ණය ලබා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවට ණය සපයා ඇති රටවලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සදහා වන යෝජනාවලට ශ්‍රී ලංකාවට හිතකර ලෙස ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වේ. චීනය ද ශ්‍රී ලංකාවට එවැනි ණය සපයා තිබෙන ප්‍රධාන රටවලින් එකක් වන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පසුබිම නිවැරදි මාවතක පවතින බවට IMF වෙත ඒත්තු ගැන්වීමට චීනයේ සහතිකය / පොරොන්දුව ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රයෝජනවත් වේ.

එවැනි පසුබිමක් සමඟින් සමාජ මාධ්‍ය තුළ සති ගණනක් තිස්සේ ලිපියක් සංසරණය වෙමින් පවතී. කොවිඩ්19 වසංගතයේ ප්‍රතිවිපාක හේතුවෙන් චීනය ද ආර්ථික ගැටලුවලින් පෙළෙන බැවින් චීනයට ශ්‍රී ලංකාවේ ණය ක්‍රම ක්ෂය(Amortize) කිරීමට නොහැකි බව එම ලිපියේ සඳහන් වේ. එයට හේතුව ලෙස දැක්වෙන්නේ චීන ආර්ථිකයද කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් බිද වැටීම සහ තවමත් සම්පුර්ණ යථා තත්ත්වයට පත් නොවී තිබීම දක්වා තිබුණා.

කෙසේ වෙතත් FactCrescendo කණ්ඩායම සිදුකල කරුණු විමසීමේදී තහවුරු වුවේ මෙම ලිපිය ව්‍යාජව සැකසු එකක් වන බවයි.

කොළඹ චීන තානාපති කාර්යාලය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එවන ලද ලිපියක් ලෙස හැගී යනසේ සකසා ඇති මෙම ලිපිය සත්‍ය ලිපියක් නොවන බව චීන තානාපති කාර්යාලය මෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයද තහවුරු කරනවා.

එසේම මෙම ලිපිය ව්‍යාජ ආකාරයෙන් සැකසු පිරිස් සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

තවද චීන තානාපති කාර්යාලය පවසන්නේ මෙම ව්‍යාජ ලිපියෙන් දැක්වෙන මතයට වඩා ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන රජයේ ආකල්පය ද වෙනස් බවයි.

මීට දින කිහිපයකට චීනය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවැසි තරම් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවක් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකාවක් පවසා සිටි අතර එයට ප්‍රතිචාර ලෙස චීන විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශිකා Mao Ning පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරබවක් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන ලිපියක් මේ වන විට චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව සහ ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් චීනය වෙත සිය ස්තුතිය පළකර ඇති බවයි. ශ්‍රී ලංකාවට ණය නිසා ඇතිව ඇති පීඩනය අඩුකර ණය තිරසරභාවය වැඩි කිරීම සදහා ඉදිරියේදී ද ශ්‍රී ලංකා රජය සමග සාකච්චා පවත්වමින් අවශ්‍ය පියවර ගන්නා බව ඇය පවසනවා. කෙසේ වෙතත්, චීනය ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් ලිපිය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැහැ .