Update:2024/3/8

2024 මාර්තු මස 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළා.ඒ මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතියට යටත්වයි.විවිධ ඒකක පරාසවල පාරිභෝගිකයන් සදහා විදුලි බිල අඩුවීම බලපාන්නේ විවිධ පරාස වලින්.ඒ පිලිබදව මහජන උපයෝගිතා කොමිසම් සභා වෙබ් අඩවියේ පහත සටහන පළකර තිබුණා .

PUCSL | Archived

ස්ථාවර ගාස්තු හා විදුලි ඒකක ගාස්තු ඒ ඒ කාණ්ඩවලට අනුව ඉහළ යන්නේ මෙලෙසිනි.

ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තු රුපියල් 180 සිට 150 දක්වා අඩුවී ඇත. එමෙන්ම එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12 සිට 8 දක්වා අඩු වී ඇත.

ඒකක 31-60 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 360 සිට 300 දක්වා අඩු වී ඇත. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30 සිට 20 දක්වා අඩු වී තිබේ.

ඒකක 61 – 90 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 400 දක්වා පහළ දමා ඇත. ඒ අනුව ඒකකයක මිල රුපියල් 41 සිට 30 දක්වා අඩු වේ.

ඒකක 91 – 120 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1180 සිට 1000 දක්වා අඩු වී ඇති අතර එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 59 සිට 50 දක්වා අඩු වී තිබේ.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1770 සිට 1500 දක්වා අඩුව ඇති අතර ඒකකයක මිල රුපියල් 59 සිට 50 දක්වා අඩු වේ.

ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2360 සිට 2000 දක්වා අඩු වේ. ඒ අනුව එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 89 සිට රුපියල් 75 දක්වා අඩු වේ.

***********************************************************************************************

Update :

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම පසුගිය 20 වන දා අනුමැතිය ලබා දුන්නා.

ස්ථාවර ගාස්තු හා විදුලි ඒකක ගාස්තු ඒ ඒ කාණ්ඩවලට අනුව ඉහළ යන්නේ මෙලෙසිනි.

ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා වැඩි වී ඇත. එමෙන්ම එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 10 සිට 12 දක්වා වැඩි වී ඇත.

ඒකක 31-60 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට 360 දක්වා වැඩි වී ඇත. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 25 සිට 30 දක්වා වැඩි වී තිබේ.

ඒකක 61 – 90 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ඉහළ දමා ඇත. ඒ අනුව ඒකකයක මිල රුපියල් 35 සිට 41 දක්වා වැඩි වේ.

ඒකක 91 – 120 කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1000 සිට 1180 දක්වා වැඩි වී ඇති අතර එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 91 සිට 120 දක්වා වැඩි වී තිබේ.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1770 දක්වා වැඩිවන අතර ඒකකයක මිල රුපියල් 50 සිට 59 දක්වා වැඩි වේ.

ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2000 සිට 2360 දක්වා වැඩි වේ. ඒ අනුව එම කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 75 සිට රුපියල් 89 දක්වා වැඩි වේ. ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතනින්

2023 පෙබරවාරි මාසයේ දී, විදුලි ඒකකයක් සදහා වැය කරන මුදල වැඩි කරමින්, විදුලි බිලෙහි සංශෝධනයක් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළා. එතැන් පටන්, ඊට පෙර පැවති මිලට වඩා සැලකිය යුතු තරම් වැඩි මුදලක් ගෙවීමට සෑම විදුලි පාරිභෝගියෙක්ටම පාහේ සිදුවුණා. කෙසේ නමුත් විදුලි බිල වැඩිවීම සහ නව විදුලි බිල ගොඩනැගෙන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට පවා ඇතැමුන් සම්පුර්ණයෙන් දැනුවත් වී නොමැති බව පෙනෙන්නේ, පෙබරවාරි විදුලි බිල ගණනය කිරීමේ ඇතිවූ සංශෝධනයට පෙර පළවූ සටහන්ද සත්‍ය යැයි උපකල්පනය කරමින් හුවමාරු කර ගැනීම හේතුවෙන්. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් සහ බිල සෑදෙන ආකාරය පිලිබදව දැනට මාස කිහිපයකට පෙර සිදුවූ විදුලි බිල ඉහල දැමීමට පෙර සැකසු සමාජ ජාලා සටහනක් (දෙසැම්බර් 2022) මේ දිනවල සංසරණය වන අතර බොහෝ දෙනෙක් එය පසුගිය දින කිහිපයේ දී ද හුවමාරු කරගෙන තිබූ අතර එය වර්තමාන ගණනය කිරීම්වලට යාවත්කාලීන එකක් යයි සිතා අදහස් පලකළ ආකාරයක්ද දැකගන්නට ලැබුණා .

කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා. ඒ කීවෙ පොයින්ට් එකයි නම් පවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි. පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි, පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි නමුත් 60 පැන්නොත් ගාන සැරයි . පොයින්ට් එකක් 16යි මූලික ගාන 360යි එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන 240+(8×30)+(10×30)= රු 780 යි. 60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු, 360+(61×16)=360+976=රු1336 යි දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි පලමු 30ට 8ගානෙ දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි. එනිසා 60න් පාත බිල තියාගන්න උත්සහ කරන්න 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට 50 අයකෙරේ ස්තාවර ගාස්තුව රු 960 ක්වෙ.

අපි පොයින්ට් 150 කදි බිල බලමු එවිට 90 දක්වා පොයින්ට් එකකට් 16 ගානෙ අයකෙරේ 61 සිට 90 දක්වා තිබු ස්තාවර ගාස්තුව 360 වෙනුවට 90 න් පසු 180 දක්වා සතාවර ගාස්තුව වන 960 එකතුවේ පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි point 150=(90×16)+(60×50)+960 ලෙස වේ. 90 පැන්නම 91 සිට ස්තාවර ගාස්තුව රු 960යි පොයින්ට් 180 සිට ඉදිරියට ස්තාවර ගාස්තුව රු 1500යි එක පොයින්ට් එකකට 75යි උදාහරනයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත් 90 දක්වා රු 16 ගානෙ 180 දක්වා රු 50 ගානෙ 180න් පසු ඉතිරි 20ට 75 ගනනෙ අයකරනවා බාවිතා කර ඇති පොයින්ට් ගානනට අදාල ස්තාවර ගාස්තුව එකතු වෙනවා 1500+(90x16)+(90x50)+(20x75) =8940

එමනිසා වොට් ගාන වැඩි උපකරන බාවිතය අඩු කරන්න. මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුනා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා විදුලිය මනින්නෙ volt, Amp,wots කියන ඒවගෙන් වෝල්ට්×ඇම්පියර් =වොට්ස් වෙනවා එවිට අපි බාවිත කරන උපකරනවල wots ගාන සදහන් කරලා තියෙනවා උදාහරනයකට 100w බල්බ් එකක් ගමු මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ එවිට ඔබට තේ රෙනවා 1000w හීටර්,අයන් වගේ ඒවා පැයක් බාවිත කලාම පොයින්ට් එකක් ය

Facebook | Archived

ඒ සම්බන්ධව පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

ඉහතින් අප පළ කරන ලද සටහන මේ දිනවලට අදාළ එකක් යයි සිතා බොහෝ දෙනෙක් එහි අඩංගු කරුණු පිටපත් කරමින් මේ දිනවල නව සමාජ ජාලා සටහන් සාදන අතර ඒ සදහා උදාහරණයක් මෙතනින්. Archived තවත් සටහනක් පහතින්.

FB | Archived

එසේම නව විදුලි බිලෙහි සංශෝධනය වූ පෙබරවාරි මස මැද භාගයේ දී ද මෙම සටහන බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා. ඒ හේතුවෙන් මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප අවධානය යොමුකළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම මෙහි අඩංගු කරුණු පිලිබදව විමසා බැලුවා. එහිදී අපට අපට දැකගන්නට ලැබුණේ මෙහි අවසාන පරිච්ඡේදය තුළ ඇති කිලෝ වොට් පැය එකක් , විදුලි ඒකකයක් ලෙස ගණනය කිරීම හා සම්බන්ධව ඇති කරුණු නිවැරදි බවත් ඒ අනුව නිවසේ භාවිතා වන විද්‍යුත් උපකරණ පිලිබඳ සැලකිලිමත් වන ලෙස දක්වා ඇති කොටස නිවැරදි බවත්ය.

කිලෝ වොට් පැය 1ක් (1 kWh) යනු කුමක් ද යන්න සරළව පැහැදිලි කරන්නේ නම්, වොට් 1,000ක් පරිභෝජනය කරන විදුලි මෙවලමක් පුරා පැයක් නොකඩවා ක්‍රියාත්මක කළ විට වැයවන ශක්ති ප්‍රමාණයයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ උදාහරණය සහිතව විස්තර කිරීම පහතින්.

CEB FAQ | Archived

ඉන් අනතුරුව අප අවධානය යොමු කලේ මෙහි ඇති අනෙකුත් කරුණු සම්බන්ධයෙන්. කෙසේ නමුත් අපට දක්නට ලැබුණේ එහි සදහන් කරුණු අවසාන වරට සිදුවූ විදුලි බිලේ වැඩිවීමට සාපේක්ෂව වැරදි බවයි.

පැරණි විදුලි ගණනය ක්‍රමය යටතේ, පසුගිය දෙසැම්බර් මාසයේ පළවූ, එම අවධියේ නිවැරදි සටහනක්!

2014 වසරේ සිදුවූ විදුලි බිල සංශෝධනයෙන් පසු මුල් වරට විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවුවේ 2022 වසරේ අගෝස්තු මාසයේදීයි. ඉන් අනතුරුව සිදුවූ මේ දක්වාත් බල පැවැත්වෙන විදුලි බිල සංශෝධනය සිදුවුවේ, අප මුලින් සඳහන් කර පැරිසි පසුගිය 2023 පෙබරවාරි මාසයේදීයි. ඉහත සමාජ ජාලා සටහන මුලිකව පළව තිබුණේ 2022 දෙසැම්බර් මාසයේදීයි.

අප පහතින් උපුටා දක්වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නියාමනය කරන ආයතනය වන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ වෙබ් අඩවියේ පළව ඇති පරිදි 2022 අගෝස්තු මස සිදුවූ විදුලි බිල් සංශෝධනයෙන් පසු බිල සැකසෙන ආකාරය පිලිබදව එවකට පලකරන ලද වාර්තාවක්.

PUC | Archived

මෙම සටහනේ දැක්වෙන කරුණු සහ ඉහත සමාජ ජාලා සටහනේ විදුලි ගාස්තු ගණනය කිරීම පිලිබඳ විස්තර කිරීම සංසන්දනය කල විට පැහැදිලි වන්නේ, මෙම අගයන්ට සාපේක්ෂව එහි සටහන් කරුණු නිවැරදි බවයි. ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ ඉමෙම සටහන මුල් පළවූ කාලයේ දී බලපැවැත්වූ විදුලි බිල සාදන ක්‍රමවේදයට සාපේක්ෂව එහි අඩංගු කරුණු නිවැරදියි. එනම් එම පෝස්ටුව නිර්මණය කර තිබෙන්නේ නොමගයවන සුලු අරමුණකින් නොවන බව පැහැදිලියි.

නමුත් බොහෝ දෙනා එම සටහන වර්තමානය ආදේශ කරගනිමින් සහ ඒ ඔස්සේ නව සටහන් නිර්මාණය කිරීම තුළින් බොහෝ දෙනා නොමඟ ගොස් තිබෙන්නේ, 2023 පෙබරවාරියේ සිදුවූ, අදටත් බලපාන විදුලි බිල සාදන ක්‍රමවේදයට අනුව එහි අඩංගු කරුණු තවදුරටත් වලංගු නොවන බැවින්.

නව විදුලි බිල ගණනය කිරීම සිදුවන්නේ කෙසේද ?

2023 පෙබරවාරියේ සිදුවූ නව විදුලි බිල වැඩිවීම සහ එහි අගයන් පිලිබඳ පැහැදිලි විස්තරයක් ලංකා විදුලි බිල මණ්ඩලයේ වෙබ් අඩවියේ සඳහන්ව තිබෙනවා. අප ඒ සම්බන්ධයෙන් වන යාවත්කාලින වූ නිවැරදි කරුණු ද ඔබ ගෙනහැර දැක්වීමට ද උත්සුක වුණා.

කෙසේනමුත් ව්‍යාපාරික සහ ආගමික ස්ථාන සදහා බලපවත්වන අගයන් , අප පහතින් දක්වන අගයන්ට වඩා වෙනස්. විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සැකසෙන ආකාරය පිළිබඳව විස්තර කර තිබුනේ පහත අයුරින්. මෙම විදුලි බිලෙහි වැඩිවීම බලාත්මක වුණේ පෙබරවාරි මස 15 වනදා සිටයි.

CEB lk | Archived

අපි මෙම සටහනේ දැක්වෙන දත්ත පිලිබදව විමසා බලමු.

ඒකක 0-60 දක්වා වන පාරිභෝගිකයන් සදහා විදුලි බිල සැකසෙන අයුරු (දින 30ක කාලයකට)

ඔබට ඒකක 30 හෝ ඊට වඩා අඩු ඒකක ප්‍රමාණයක් වැයවුණු බවක් සිතමු. එහිදී ඔබ රුපියල් 400 ක ස්ථාවර ගාස්තුවක් සහ ඒකකයකට රුපියල් 30 බැගින් විදුලි බල මණ්ඩලයට ගෙවීම් සිදු කල යුතුයි.

වැයවූ ඒකක ප්‍රමාණය X නම් ඔබ ගෙවිය යුතු මුදල = Rs. 30*X + 400

ඔබට ඒකක 30 ට වඩා වැඩි ,එහෙත් 60 හෝ ඊට අඩු ඒකක ප්‍රමාණයක් වැයවූ බව සිතමු. එහිදී ඔබ රුපියල් 550 ක ,ස්ථාවර ගාස්තුවක් ගෙවිය යුතුයි.ඒකක 30 ක් දක්වා ඒකකයකට රුපියල් 30 මගින් අය කරන අතර ඊට වැඩි ඒකකයක් සදහා ඒකකයක් සදහා රුපියල් 37 බැගින් වැය කිරීම සිදුවේ.

වැයවූ ඒකක ප්‍රමාණය Y නම් ඔබ ගෙවිය යුතු මුදල = Rs.550 + (30 * 30) + (Y-30)* 37

ඒකක 60 ට වඩා පාරිභෝජනය කරන පාරිභෝගිකයන් සදහා විදුලි බිල සැකසෙන අයුරු (දින 30ක කාලයකට)

ඔබ ඒකක 60 ට වැඩි එහෙත් ඒකක 90 හෝ ඊට අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන බවක් සිතමු. එවිට එක ඒකකයක් සදහා රුපියල් 42 ක් අය කරන අතර රුපියල් 650 ක ස්ථාවර ගාස්තුවක් අය කෙරේ.

වැයවූ ඒකක ප්‍රමාණය A නම් ,ඔබ ගෙවිය යුතු මුදල =Rs. 42*A + 650

ඔබ ඒකක 90 ට වඩා වැඩි එහෙත් ඒකක 180 හෝ ඊට අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන බවක් සිතමු. එවිට ඔබ රුපියල් 1500 ක ස්ථාවර ගාස්තුවක් ගෙවිය යුතුයි. මුල් ඒකක 90 සදහා ඒකකයකට රුපියල් 42 බැගින් ගෙවීමට සිදුවන අතර , ඒකක 90 ඉක්මවා පරිභෝජනය කරන ඒකකයක් සදහා ඒකකයකට රුපියල් 50 බැගින් ගෙවීමට සිදුවේ.

වැයවූ ඒකක ප්‍රමාණය B නම්, ඔබ ගෙවිය යුතු මුදල =Rs.1500 + 42*90 + (B - 90 )*50

ඔබ ඒකක 180 ට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් වැය කරනවානම් ,රුපියල් 2000 ක ස්ථාවර ගාස්තුවක් ගෙවීමට සිදුවේ. ඒකක 180 ට වඩා වැයවන සෑම ඒකකයක් සදහාම රුපියල් 75 ක මුදලක් ගෙවීමට සිදුවේ. ඒකක 90 දක්වා වන ඒකකයක් සදහා රුපියල් 42 ක් වැය කරන අතර ,ඒකක 90-180 දක්වා ඒකකයකට රුපියල් 50 දක්වා වැය කෙරේ.

වැයවූ ඒකක ගණන C යයි සිතමු. එවිට ගෙවිය යුතු මුදල = Rs.2000 + 42*90 +50*90 + (C-180)*75

සැලකිය යුතුයි : ඉහත දැක්වූ සියලු අගයන් සදහා සමස්ත අගයට සාපේක්ෂව 2.5% ක සමාජ ආරක්ෂණ බදු මුදලක්ද විදුලි බිලට එක්කර පාරිභෝගිකයාගෙන් අය කෙරේ.

එසේම අනුව සමාජ මාධ්‍ය සටහන මුල්වරට පළවී තිබු 2022 දෙසැම්බර් මාසයේ දී එම ඡායාරූපයේ දක්වා තිබු පරිදි විදුලි ඒකක 159ක් සඳහා පැරණි ගණනය කිරීමට අනුව බදු රහිත අගය එහි දක්වා තිබු රු.5952 ට ආසන්න අගයක් වන අතර, වර්තමාන ගණනය කිරීම් වලට අනුව, එනම් 2023 පෙබරවාරි 15න් පසුව, විදුලි ඒකක 159ක් සඳහා දින 30 ක කාල සීමාවකට, බදු රහිතව නිවැරදි ගණනය කිරීම වන්නේ රු. 8,730 කි.

ඔබට පහසුවෙන් විදුලි බිල ගණනය කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය විසින්ම සපයා ඇති විද්‍යුත් යොමුවක් මෙතනින්.

Read Also: පැය 24ක කාලය බෙදා වෙන් කර විදුලි බිල සැකසීමේ නව ක්‍රමවේදයක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

අවසාන නිගමනය ( Conclusion)

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ සමාජ ජාලා සටහනේ ඇත්තේ යාවත්කාලීන නොවූ කරුණු වන බවයි. එය එම පෝස්ටුව මුලින්ම පළකරන ලද අවධියේ, එනම් 2022 දෙසැම්බර් මාසයේ පවැති විදුලි බිල සෑදෙන ආකාරය එහි නිවැරදිව විස්තර කරන අතර එම කාලයට සාපේක්ෂව එම කරුණු නිවැරදියි.

2023 පෙබරවාරියේ තිරණය වූ, වර්තමානයේ ද බලපැවැත්වෙන, විදුලි බිලේ ගාස්තුව සැකසෙන ආකාරය, ඉහත සටහනේ සඳහන් කරුණු වලට වඩා බොහෝ සෙයින් වෙනස් අතර , විදුලි ඒකකයක් සදහා අය කරන අගය ඉහළ අගයක් ගනී. එම නිසා එම පෝස්ටුව මේ දිනවල නියම තතු පරීක්ෂාවකින් තොරව හුවමාරු කර ගැනීමෙන් බොහෝ දෙනෙක් නොමඟ ගොස් තිබෙනවා. එසේම එම සටහන පාදක කරගනිමින් වර්තමානයේ සෑදෙන නව සමාජ ජාලා සටහන් සියල්ලම අසත්‍යයි.

Avatar

Title:වර්තමාන විදුලි බිල ගණනය කිරීමක් ලෙස හුවමාරු වන්නේ නව මිල සංශෝධනයට පෙර පළවූ සටහනක්!

Fact Check By: Kalana Krishantha

Result: Missing Context