දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන්- 03 අභ්‍යාවකාශ යානය පසුගිය ජුලි 14 වන දා කක්ෂ ගත කෙරුණා. එතරම් ගවේෂණයට ලක්ව නොමැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ඉලක්ක කරමින් කක්ෂගත වූ මෙම යානය පිළිබඳ ලොව බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වුණා. 

ගුවන් යානයකින් ගමන් කරමින් සිටි මගියෙකු විසින් මෙම ඉතිහාසගත අවස්තාව සිය ජංගම දුරකථනයෙන් පටිගත කළ අවස්ථාවක් පිලිබඳ පුවතක් පිළිබඳව ද බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එසේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

“චන්ද්‍රයාන් 03 - ගුවනේදි හමුවීම” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Facebook

“චන්ද්‍රයාන් රොකට්ටුව අභ්‍යවකාශයට යවද්දී, ගුවන් යානයක ඉඳල ගත්ත වීඩියෝවක්. ඩැකා බලා ගමන් ගත්ත ගුවන් යානයේ සිටි මගියෙක් මේ රූගත කිරීම කරල තියෙන්නෙ.

ගුවන් යානයක හරියටම , චන්ද්‍රිකාව යවනකොට , එතනම අහසේ ඉඳීම තරම් සම්භාවිතාවය බින්දුවට කිට්ටු දෙයක් තියේද?” යනුවෙන් සඳහන් කරමින් ඉහත වීඩියෝව ම දක්වමින් පළ කර තිබුණේ එහි දැක්වෙන්නේ චන්ද්‍රයාන් රොකට්ටුව බවට සඳහන් කරමින්.

Facebook | Archived Link

එම වීඩියෝව හුවමාරු වී තිබු අවස්ථා කිහිපයක් පහතින්

මෙම වීඩියෝ ව සඳහා දක්වා තිබූ ෆේස්බුක් පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, බොහෝ පිරිසක් මෙම වීඩියෝවේ දැක්වෙන්නේ චන්ද්‍රයාන් රොකට්ටුව බව ට නොමග ගොස් ඇති බවයි.

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝව චන්ද්‍රයාන්- 3 යානයේ වීඩියෝවක් බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා නොකර තිබූ බැවින් අප එම වීඩියෝවෙන් ලබා ගත් ඡායාරූප ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වූයේ ඉහත වීඩියෝව චන්ද්‍රයාන්- 3 යානයේ කක්ෂගත වන අයුරු නොවන බවයි.

ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලනය (NASA) විසින් දියත් කරන ලද SpaceX Falcon 9 යානය දියත් කිරීමේ අවස්ථාවක් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසල පිහිටි Launchpad 39A මතින් පියාසර කරන ගුවන් යානයක ගුවන් සේවකයෙක් විසින් වීඩියෝගත කර ඇති අවස්ථාවක් බවට 2022 දෙසැම්බරයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් (The Independent) සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

independent.co.uk | Archived Link

එම වීඩියෝව ලබා ගත් පුද්ගලයා 2022 දෙසැම්බර් මස 15 වන දින එම වීඩියෝව TikTok හි පළ කර තිබුණේ මෙලෙසින්.

https://www.tiktok.com/@chefpinkpr/video/7177106565202382126?is_from_webapp=1&sender_device=pc&web_id=7257767889330832897

Tiktok | Archived Link

තවත් Twitter පරිශීලකයෙකු විසින් 2022 වසරේ නොවැම්බර් 26 වැනි දින වෙනත් කෝණයකින් ලබා ගත් වීඩියෝවක් පළ කර තිබුණා. ඒ හේතුවෙන් ඉහත දර්ශනය ලබා ගත් දිනය පිළිබඳ පැහැදිලි ව පැවසිය නොහැක.

කෙසේනමුත් එහි SpaceX Falcon 9 රොකට්ටුව ඉහළට ගමන් කිරීම සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වීම පිළිබඳ පැහැදිලි ඉදිරි දර්ශනයක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

https://twitter.com/nleimbach/status/1596587314113048576

ඒ අනුව ඉහත වීඩියෝව චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය නොවන බවට තහවුරු වේ.

ඉන්දියාව දියත්කළ තුන්වන සඳ මෙහෙයුම - චන්ද්‍රයාන් 3

ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කර තිබුණා. චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය ඉන්දියාවේ Sriharikota අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජුලි 14 සිකුරාදා (GMT 09:05) අභ්‍යවකාශ ගත වුණා. ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත චන්ද්‍රයාන්-3 අගෝස්තු 23-24 දිනවල සඳ වෙත ළඟා වීමට නියමිතය.

එය සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇත.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් වැඩි දියුණු කරන ලද චන්ද්‍රයාන්-3 යානය ගොඩබෑමේ අරමුණ වන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මත ආරක්ෂිතව ගොඩබැසීම, දත්ත රැස් කිරීම සහ සඳෙහි සංයුතිය පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් පැවැත්වීමයි. මේ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

දහස් ගණන් ජනතාව නරඹන්නන්ගේ ගැලරියේ සිට දියත් කිරීම නැරඹූ අතර විචාරකයින් රොකට්ටුව "අහසේ ඉහල යන" දර්ශනය මහිමාන්විතෙ ලෙස විස්තර කරනු ලැබුවා. එම වීඩියෝව මෙතනින්.

මේ අතර චන්ද්‍රයාන්- 3 යානය ගුවන්ගත කිරීමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පැවතුන අතර මෙම වීඩියෝව පටිගත කර ඇත්තේ චෙන්නායි සිට ඩකා දක්වා ගුවන්ගත වූ ගුවන් යානයේ පියාසර කරන්නෙකු විසිනි. එම වීඩියෝවේ දර්ශනය වන්නේ අභ්‍යවකාශ යානයේ ගමන් මාර්ගය නිරූපනය කරමින් ඉහළට ගමන් කරන අයුරුයි. එම සත්‍ය සිදුවීමේ වීඩියෝව මෙතනින්.

දැවැන්ත පිරිවැයක් සහිත අමෙරිකානු රොකට්ටු හා සසඳන විට පිරිමැසුම්දායක වියදමක් ලෙස සැලකිය හැකි ඩොලර් මිලියන 75කට අඩු මුදලක් වැයකරමින් චන්ද්‍රයාන්-03 නිමවා තිබුණි.

ඉන්දීය මාධ්‍යය මේ අභ්‍යවකාශ ගමනේ පිරිවැය ගණනය කර තිබුණේ, කිලෝමීටරයකට ඉන්දීය රුපියල් ලක්ෂ 04ක් වශයෙනි. කිලෝග්‍රෑම් 3921ක් බරැති චන්ද්‍රයාන් උඩුගුවනට රැගෙන යන රොකට්ටුව ටොන් 642ක බරකින් යුක්ත වෙයි.

එසේම මීට පෙර ද ඉන්දියාව 2020 වසරේ දියත්කළ චන්ද්‍රයාන්-2 යානය, චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළුවූවත් සඳමත ගොඩබැස්වීමට යාමේදී විනාශයට පත් විය.

චන්ද්‍රයාන් 3 මෙහෙයුම කලින් සැලසුම් කළ පරිදි දැනට සාර්ථකව සිදුවෙමින් පවතින බවට ISRO (ඉන්දියානු අභ්යවකාශ පර්යේෂණ සංවිධානය) විසින් නිකුත්කළ යාවත්කාලින කිරීම ඔබට මෙතනින් දැක බලා ගන්නට පුළුවන්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය දා ඉන්දියාවේ සඳ මත බලා දියත් කළ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානයේ වීඩියෝවක් බවට දක්වා තිබුණේ, චන්ද්‍රයාන්-3 යානයේ දර්ශන පෙළක් නොව 2022 වසරේ අග භාගයේදී NASA ආයතනය විසින් SpaceX Falcon 9 යානය දියත් කිරීමේ අවස්ථාවක් Launchpad 39A මතින් පියාසර කරන ගුවන් යානයක ගුවන් සේවකයෙක් විසින් වීඩියෝගත කර තිබු අවස්ථාවක් බවයි

Avatar

Title:චන්ද්‍රයාන්- 03 අභ්‍යවකාශ යානයේ වීඩියෝවක් ද?(Video)

Written By: Pavithra Sandamali

Result: False