දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දේශපාලනඥයන් බොහොමයක් මහජන මුදල් යොදාගනිමින් අනවශ්‍ය ලෙස විදේශ සංචාරවල නිරත වෙන බව සමාජයේ නිතර දෝෂාරෝපණයට ලක්වන කාරණයක් වනවා. එසේම පසුගිය සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් ජනප්‍රිය පුද්ගලයන්, විදේශීය සංචාර සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇතිව තිබුණා.

එහි උණුසුම පහව යන්න කලින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පිරිසක්, මහජන මුදලින් විදෙස් සංචාරයක නිරත වන බ ට සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍ය සටහන් :

“මහජන මුදලින් රට සවාරි යන්නෙ නෑ කියපු ජවිපේ වීර මාතාව නවසීලන්තයෙ සංචාරයක් අතරතුර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

ජාතික ජන බලවේගයේ පා.ම හරිනි අමරසුරියව ඉස්මතු කර තිබු එම ඡායාරූපයේ ආණ්ඩු පක්ෂයේ සහ අනෙක් විපක්ෂ කාන්තා මන්ත්‍රීවරියන් ද කිහිපදෙනෙක් ම දැක ගන්නට ලැබෙනවා.

එම සටහන් සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

“මහජන මුදලින් විදෙස් සංචාර යන්නේ නෑ කියන මාලිමාවේ පිං ලැයිස්තු මන්ත්‍රීනි හරිණිත් ඉන්නවා.” යනුවෙන් සඳහන් වූ සටහනක් ද, හුවමාරු වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම සංචාරය සඳහා මහජනතාවගේ මුදල් භාවිත වුණි ද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු හෙළි කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙහි සඳහන් වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය (Sri Lanka’s Women Parliamentarians’ Caucus), ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරුන්ගේ එකතුවකි. මේ හේතුවෙන්, එම සංසදය නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා තිබු නවසීලන්ත අධ්‍යයන චාරිකාවක් සඳහා සහභාගී වී තිබුණේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් අරමුදල් සම්පාදනය කල බවට සමාජයේ කතිකාවතාක් ගොඩනැගී තිබුණා.

අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවක් සිදු කළේ, මෙම නවසිලන්ත සංචාරය පිළිබඳව අනුග්‍රහ දක්වා ඇති පාර්ශවයන් පිළිබඳව වාර්තා වී ඇති පුවත් සහ සටහන් පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය

නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක් සඳහා සූදානම් වෙමින් සිටි ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සාමාජිකයින්, එම සංචාරයට පෙර, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය හමුවූ බවට සටහනක්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ පසුගිය ජූලි 24 වන දා පළ වී තිබුණා.

එහි සඳහන් කර තිබුණේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකා ආයතනය විසින් මේ සඳහා අරමුදල් සපයන බවත්, ඒ සඳහා අනෙකුත් හවුල්කාර පාර්ශවයන් ලෙස ශ්‍රී ලංකාවේ නවසිලන්ත මහා කොමසාරිස් කාර්යාලය, The National Democratic Institute යන ආයතනය ද කටයුතු කරන බවයි.

එමෙන් ම මෙම සංචාරය තුළින් කාන්තා දේශපාලන නායකත්වය ප්‍රවර්ධනය කිරීමටත් සහ රාජ්‍ය සේවයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩිදුරට ත් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

අප මේ පිළිබඳව තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) පූර්ණ අනුග්‍රහයෙන්, The National Democratic Institute මෙම සංචාරය සංවිධානය කළ බවයි.

The National Democratic Institute (NDI)

ඇමරිකාවේ මුලස්ථානය පිහිටි, මෙම NDI ආයතනය,  ලාභ නොලබන, රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස, ලොව පුරා රටවල් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන , ක්‍රියාවලි යනාදිය ශක්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඔවුන්ගේ වෙබ් අඩවියේ මෙසේ දැක්වෙනවා. 

NDI ආයතනය විසින් ආසියානු, අප්‍රිකානු, යුරෝපියානු, මධ්‍යම ඇමරිකානු ඇතුළු කලාප රැසක රටවල මේ ආකාරයේ කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සංවර්ධන වැඩසටහන් සඳහා මීට පෙර ද දායකත්වය ලබා දී තිබු බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය සටහන් පරික්ෂා කිරීමේ දී ද අපට දැක ගන්නට පුළුවන්. ටැන්සානියාවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා NDI ආයතනය විසින් මෑතකදී අනුග්‍රහ දැක්වූ අවස්ථාවක් පිළිබඳව අපට දක්නට ලැබුණේ මෙලෙසින්.

තව ද, NDI ආයතනයේ ලංකාවේ වර්තමාන අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතාගෙන් මේ පිළිබඳව අප විමසීමක් කළ අතර ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

නවසිලන්ත රාජ්‍ය නියෝජිතයින් මෙම අධ්‍යයන චාරිකාව පිළිබඳව දැක්වූ අදහස්

නවසීලන්තයේ අගමැති ලෙස පත් වූ ප්‍රථම ස්ත්‍රිය වන හෙලන් ක්ලාක් මහත්මිය විසින් ද, සිය Twitter ගිණුමේ, මෙරට කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේ ඡායාරූපයක් පළ කරමින් සඳහන් කරමින් මෙම සංචාරය සඳහා අනුග්‍රහ දැක්වූ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට(NDI) ස්තූතිය පළ කර තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා Archived Link

https://twitter.com/HelenClarkNZ/status/1684483935638888448

ශ්‍රී ලංකාවේ නවසිලන්ත මහ කොමසාරිස් විසින් ද එම සංචාරයට පෙර ඉහත කරුණු ම ඇතුළත් ට්විටර් සටහනක් මෙසේ තබා තිබුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරනවා. මෙම අධ්‍යයන චාරිකාව වසර දෙකහමාරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද්දක් බවද මහ ලේකම්තුමිය පවසනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙරට කාන්තාවන්ගේ සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදයන් සඳහා පිළියම් යෙදීම පිණිස විශාල වැඩකොටක් ඉටු කරන බවත්, එම කාර්යයන් වඩා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් දියුණු රටවල අත්දැකීම් ලබා ගැනීම ඉවහල් වනු ඇති බවත් රෝහණදීර මහත්මිය තවදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විවිධ පක්ෂ නියෝජනය කළ ද සංසදයේ පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නායකත්වය යටතේ සංසදයේ පොදු අරමුණු ඉටු කිරීම සඳහා කටයුතු කරන බවද මහ ලේකම්තුමිය පෙන්වා දෙයි.

Facebook | Archived Link

මෙරට දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරක්ෂිත කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කළ බව ද මෙලෙසින් සඳහන් කර තිබුණා. Archived Link

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි 

නවසීලන්ත සංචාරයේ මේ වන විටත් යෙදී සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර එම මහත්මිය ද ඉහත කරුණු තහවුරු කරමින් පවසා සිටියේ, මෙම සංචාරය සඳහා මහජන මුදල් භාවිත නොකළ බවත්, USAID පූර්ණ අනුග්‍රහය සහිතව NDI ආයතනය විසින් සංවිධානය කළ බවයි.

සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, සීතා අරඹේපොල, රෝහිණි කුමාරි විජේරත්න, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, තලතා අතුකෝරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා. මේ පිළබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

එසේම මීට පෙර ද මේ ආකාරයේ විදෙස් රටවල අධ්‍යයන චාරිකා සඳහා රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් සහභාගී වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු රජයේ අනුගහය යටතේ 2018 වසරේ දී සිදුවූ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා එවකට අමාත්‍ය ධුර හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රිනියන් 6 දෙනෙක් සහභාගී වී තිබුනේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් භාවිත කළ බව ට දක්වමින් පළ වන සටහන් නොමග යන සුළු බවයි. මෙම සංචාරය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව, රාජ්‍ය නොවන සංවිධානයක් වන NDI ආයතනය විසින් විසින් සංවිධානය කළ බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, නවසිලන්ත රජය ඇතුළු මෙම නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා සම්බන්ධ වී තිබු පාර්ශව සියල්ලම සඳහන් කර සිටිනවා. 

Also Read: Did Foreign Minister Individually Spend Over 50 Million On Recent Foreign Visits? Find out the facts…

Avatar

Title:පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නවසීලන්තයේ සංචාරයක යෙදුණේ මහජන බදු මුදලින් නොවේ!

Written By: Pavithra Sandamali

Result: Misleading