දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ අන්තවාදී කණ්ඩායම් විසින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වේයැයි යන බියක් සමාජයේ පැවති අතර, එම තත්වය තීව්‍ර කරමින්, කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ ද, ජනතාව වෙත අනිසි බියක් ඇති කරමින් නොයෙකුත් සටහන් හුවමාරු කර ගනු ලබනවා. එලෙසින් සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය” යනුවෙන් සඳහන් කළ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේසංසරණය වුණා.

“ප්‍රවේශම් වන්න!

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය ආරක්ෂක අංශ හෝ කිසිවෙකුත් බලාපොරොත්තු නොවන අයුරකින් එල්ල කිරීමට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් සැලසුම් කරමින් සිටින බවට ජාතික බුද්ධි තොරතුරු අනතුරු අගවමින් සිටියි.

ඒ අනුව ඔවුන්ගේ මීළග ප්‍රහාරය ආහාර විෂ කරවීමකින් එක්වර මිනිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම බවට බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.

මේ අනුව දිවයින පුරා අන්තවාදී ඉස්ලාම් පල්ලි වලට හා සංවිධාන වලට අයත් අන්තවාදීන්ට හිමි ආපනශාලා 500 - 1000ත් අතර ප්‍රමාණයක් තිබෙනා අතර එම ආපනශාලා වලින් එක් දිනක එක් වේලාවක උග්‍ර විෂ සහිත ආහාර මිනිසුන්ට විකිණීම සැලසුමයි.

මෙමගින් පහසුවෙන් මිනිසුන් 10,000 - 50,000ත් අතර ප්‍රමාණයක් මිය යා හැකි වීමෙන් මෙම ප්‍රහාරයේ බරපතලකම ඔබට වැටහෙනු ඇත.

මෙම ජෛව ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අදාල ත්‍රස්ත ආපන ශාලා හිමිකරුවන් සියදිවි නසා ගැනීමට කටයුතු කරනු ඇති බවටත් බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.

මේ බව අනාවරණය වන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මොහොමඩ් ඉබ්‍රහීම්ට අයත් ඕල්ඩ් මූවර්ස් පාරේ නොම්මර 24 ස්ථානයේ පවතින "කොෆි බීන්ස් ෆැක්ට්‍රී" නම් කොෆි හල තුල තිබී විෂ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමත් සමග කළ විමසුම සමගයි.

මේ අනුව අද උදෑසන පටන් දිවයින පුරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් සැකසහිත ආපනශාලා පරීක්ෂා කෙරෙමින් පවතියි.

කරුණාකර ආරක්ෂක අංශයන්ගේ තහවුරුව ලැබෙන තුරු මුස්ලිම් හිමිකරුවන්ට අයත් ආපනශාලාවන්ගෙන් ආහාර ගැනීමෙන් වළකින්න.

මෙතෙක් අප අත්දුටු තොරතුරු අනුව කිසිදු පුද්ගලයෙක් විස්වාස කිරීමට නොහැකි බව අප ජාතියක් වශයෙන් උගත් අතර ඕනෑම ශෝකි පණිවිඩයක් පසුපස අන්තවාදයේ ගිනිදැල් පැවතිය හැක.

කරුණාකර ප්‍රවේශම් වන්න.

අනෙක් මිනිස්සුන්ගෙත් ජීවිත ආරක්ශා කරන ඔබට යුතුකමක් ඇත...මනුශ්‍යත්වයේ නාමෙන් බෙදාහරින්න...😥🙏🙏🙏මෙම පණිවිඩය මගේම නිර්මාණයක් නොවන බව සලකන්න, මම ගිහියෙකුව සිටියදී u.n.p හි මගේ විශ්වාසවන්ත මිතුරෙකුගෙන් මට එය ලැබුණි. එය විශ්ලේෂණය කිරීමෙන් පසුව මෙම whatsapp සමූහයේ ද විය. පහත සබැඳිය බලන්න.මේක වැරදි නම් ඕන කෙනෙකුට ඕනම පියවරක් ගන්න පුළුවන්.”

Facebook | Archived Link

මෙම සටහන WhatsApp ඔස්සේ ද, සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව විමසමින් බොහෝ දෙනා මේ පිළිබඳ විමසා බලන ලෙස ඉල්ලීම් බහුලව අප වෙත යොමු වූ අතර අප ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මේ පිළිබඳව කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින, පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැඳවමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කාලවකවාණුවේ සිට වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහනක් මෙසේ නැවත නැවතත් හුවමාරු වෙමින් පවතින බවයි. Archived Link

එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එමෙන් ම ඉහත පණිවිඩය සමගින් අනතුරු ඇඟවීමක් සම්බන්ධ ලිපියක ඡායාරූපයක් ද, සංසරණය වුණා. 

එහි සඳහන් වී තිබුණේ,  කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එම වකවාණුවේ ජනාධිපති ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ට ලිපියක් යොමු කළ බවත්, 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 දින සිට 25 වන දින අතර කාල පරාසය තුළ කිතිනු දේවස්ථාන වෙත යළ ත් වරක් කිසියම් හිංසාකාරී ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ඇති බවට අනතුරු හැඟවීම් ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් එම කාල සීමාව ආවරණය වන පරිදි දේවස්ථාන සහ පුද්ගලයින්ගේ ආරක්ෂාය තහවුරු වන පිරිදි ආරක්ෂා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික් ප්‍රධානී වෙත 2019 ඔක්තෝම්බර් මස දී ලිපියක් යොමු කර තිබුණා. Facebook | Archived Link

නමුත් එම ලිපියේද, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි එම ත්‍රස්ත ප්‍රහාරය පැමිණෙන ආකාරයට ආහාර විෂ කිරීමක් බවට හෝ කුමන මාධ්‍යක් භාවිත කරන්නේ ද, යන්න දක්වා නොතිබුණි. එමෙන් ම එම කාල වකවාණුවේදී කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් ද, මෙරට තුළ දී සිදු නොවු අතර එම අවධියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද කියා තිබුනේ, බුද්ධි අංශ මගින් තහවුරු නොකරන ලද කරුණු මත පදනම්වූ අදාළ ලිපි යොමු කළ නිලධාරීන් ගැන පරීක්ෂණ පවත්වන බවකි.

2019 වසරේ සිට මේ වන තෙක් එවැනි ප්‍රහාරයක් දියත් වී නොතිබුණත් මෙම සටහන් නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අප මේ පිළිබඳ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පාර්ශවයන්ගෙන් විමසීමක් සිදු කළා.

ශ්‍රී ලංකා පොලිසිය 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මෙම සටහන් පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් බවත්, එම සටහනේ දැක්වෙන පරිදි අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් අකිල තෙන්නකෝන් මහතා ද සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට මේ ආකාරයේ පණිවුඩයක් සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා වීමක් නොමැති බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සඳහන් කළේ, මෙසේ නැවත වරක් හුවමාරු වන්නේ පැරණි සමාජ මාධ්‍ය සටහනක් බවත්, එය අසත්‍ය තොරතුරක් බවත් ය.

Also Read : ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යන සුළු බවයි. මෙම සටහන් 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මේ පිළිබඳ තහවුරු කරන ලද වාර්තාවක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙන් ම, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද, ආරක්ෂක අමාත්‍යාංශය ද, තහවුරු කරනු ලබයි.

Avatar

Title:“ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය” යනුවෙන් පළ වූ සටහන් වල ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False