දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වෛද්‍යක්‍රම, අත්බෙහෙත්, ස්වයං පරීක්ෂණ ක්‍රම ලෙස සඳහන් වන බොහෝ දෑ අනුගමනය කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයින් යොමු වී තිබෙනවා. මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ මෙවැනි සටහන්හි සඳහන් දෑ වෛද්‍යවරුන් අනුමත කර ඇති දේවල් ද, නැද්ද යන්න වගද විමසා බැලීමකින් තොරව මෙම සියල්ලම අනුගමනය කිරීමට ඇතැමුන් පෙළඹීමයි. එලෙසින් නොගම යන සුළු තවත් සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ඔබේ පෙනහළු කෙතරම් නිරෝගීද? හුස්ම අල්ලාගෙන කෙතරම් වෙලාවක් සිටිය හැකිද? මෙම ක්‍රියාකාරකම මගින් ඔබේ පෙනහළු වල නීරෝගි බව මැනිය හැකි බවට හඟවමින් වීඩියෝවක් සංසරණය වුණේ මෙලෙසින්.

මෙමගින් පෙන්වා දෙන්නේ, තත්පර 15 ත් ඔබට හුස්ම අල්ලාගෙන සිටිය නොහැකි නම් එමඟින් ඔබගේ පෙනහළු දුර්වල තත්වයක ඇති බව පෙන්නුම් කරන බවත් වහාම ව්‍යායාම කර යොමුවිය යුතු බවයි. එසේම තත්පර 40 ක් පමණ ඔබට හුස්ම අල්ලාගෙන සිටිය හැකි නම එමඟින් ඔබගේ පෙනහළු සැලකිය යුතු හොඳ තත්වයක ඇති බවත්, විනාඩි 1 හෝ ඊට වැඩි කාලයක්  හුස්ම අල්ලාගෙන සිටිය හැකිනම් එමඟින් ඔබගේ පෙනහළු ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයේ පවතින බව තීරණය කළ හැකි බවත් දැක්වෙන වීඩියෝව පහතින්.

Facebook එලෙසින් හුවමාරු වූ තවත් සටහනක් මෙතනින්.

මෙම වීඩියෝව ප්‍රථමයෙන් ම ඉන්දියාවේ Zydus නමැති රෝහල විසින් පළ  කරන ලද වීඩියෝවක් වන අතර මෙය මිලියන 19 කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබුණා. ඉහත ක්‍රියාකාරකම අනුගමනය කළ පිරිස් එම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

එසේම මෙම වීඩියෝව WhatsApp ඔස්සේ ද ලංකාවේ බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනය සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Saberazes හුස්ම රඳවා ගැනීමේ පරීක්ෂණය

20 වැනි සියවසේ මුල් භාගයේදී ප්‍රංශ වෛද්‍යවරයකු විසින් හඳුන්වා දී තිබු Saberazes Breath Holding Test වැනි සරල පරීක්ෂණ ක්‍රමයක් හේතුවෙන් මේ ආකාරයේ සටහන් නිර්මාණය වී ඇති බව අනුමාන කිරීමට පුළුවන්. මෙම පරීක්ෂණය මගින් පෙනහළු තුළ කාබන් ඩයොක්සයිඩ් එකතුවීම කෙතරම් දුරට ඉවසා සිටීමට ශරීරයට ඇති හැකියාව මැන බලෙන අතර දිගු හුස්ම රඳවා ගැනීමේ කාලය වඩා හොඳ ශ්වසන ක්‍රියාකාරිත්වය සහ ඔක්සිජන් භාවිතය පෙන්නුම් කරයි.

කෙසේවෙතත් Saberazes හුස්ම රඳවා ගැනීමේ පරීක්ෂණය යනු රෝග විනිශ්චය කිරීමේ මෙවලමක් නොවන අතර කිසිදු ශ්වසන රෝග නිර්ණය කිරීම සඳහා භාවිතා නොකළ යුතු බව වෛද්‍ය මතයයි.

ඉහත වීඩියෝ සටහන්හි සඳහන් කර ඇති ක්‍රියාකාරකම මගින් පෙනහළු වල නිරෝගීකම පරීක්ෂා කිරීමට හැකියාවක් ඇත් ද යන්න පිළිබඳ වෙනත් රටවල විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් ද කරුණු විමසීමවලදී අදහස් දක්වා තිබුණා. 

උපදේශක ශ්වසන වෛද්‍ය දුමින්ද යසරත්න

උපදේශක ශ්වසන වෛද්‍ය දුමින්ද යසරත්න මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ක්‍රියාකාරකමක් මගින් පමණක් පෙනහළුවල නීරෝගීතාවය පරීක්ෂා කිරීමට නොහැකි බවයි.

සාමාන්‍යයෙන් තත්පර 10-15කට පමණ වැඩි වේලාවක් හුස්ම රඳවා ගැනීමේ හැකියාවක් තියෙන්නේ සාමාන්‍යයෙන් පෙනහළුවල දරාගැනීමේ ශක්තිය තිබෙන පුද්ගලයන්ට බවත්, පෙනහළු නීරෝගි පුද්ගලයෙකුට වුවද, එම ක්‍රියාකාරකමේ පළ පුරුද්දක් නොමැති වීම හේතුවෙන් එතරම් වේලාවක් හුස්ම රඳවා ගැනීමට නොහැකි විය හැකි වුවද, එමගින් අදාළ පුද්ගලයාගේ පෙනහළු හොඳ තත්ත්වයේ නොමැති බවට නිගමනය කළ නොහැකි බවත්, ඔහු පෙන්වා දුන්නා.

එමෙන් ම ශ්වසන ආබාධ ඇති පුද්ගලයින්ට එතරම් වේලාවක් හුස්ම රඳවා ගැනීමට නොහැකි වූවත්, අතැම් අවස්ථාවක එවැනි පුද්ගලයන් ද, හුස්ම රඳවා ගෙන සිටීම තුළින් ආබාධයක් නොමැති බවටත් නිගමනය කිරීමට අපහසු බවයි වෛද්‍ය දුමින්ද යසරත්න පෙන්වා දුන්නේ.

කෙසේ නමුත් පෙනහළු සම්බන්ධ පරීක්ෂාවන් සිදු කරන්නේ, ඔක්සිජන් ප්‍රමාණය සහ ඇවිදින විට ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවීමක් පවතිනවා ද යන්න වැනි පරීක්ෂාවන් බව ද, වෛද්‍ය දුමින්ද යසරත්න මහතා සඳහන් කළා.  Pulmonary Function Tests

Ghana රාජ්‍යයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස්

මේ පිළිබඳව Ghana කරුණු විමර්ශන කණ්ඩායමකට අදහස් දක්වමින් Korle-Bu ශික්ෂණ රෝහලේ විශේෂඥ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය Jonas Afari සහ United Lincolnshire Hospitals NHS Trust UK හි වෛද්‍ය Akosua Hemeng පවසන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ අන්තර්ගතය වලංගු කරුණු ලෙස වෛද්‍ය වෘත්තීය කණ්ඩායම් විසින් පිළිගෙන නොමැති බවයි.

එසේම සාමාන්‍යයෙන්, පුද්ගලයෙකුට වැඩි කාලයක් හුස්ම රඳවා තබා ගත හැකි වේ නම් එමඟින් පෙනහළු සෞඛ්‍ය සම්පන්න වනවා මෙන් ම හෘද පෙණහලු ධාරිතාව වැඩි බව කිව හැකිය. මෙය සාමාන්‍යයෙන් ඉහත සඳහන් කල Sabrasez හි හුස්ම රඳවා ගැනීමේ පරීක්ෂණයයි. කෙසේ වෙතත්, අභියෝගයක් ලෙස හුස්ම රඳවා තබා ගැනීම ඇතැම් අවස්ථාවල දී අහිතකර බලපෑම් ඇති කළ හැකි බවත් ඔවුන් පවසනවා.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, පෙනහළු ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීමේ සරල සහ වඩාත් පිළිගත හැකි ක්‍රම ඇති බවයි. ස්පයිරෝමීටරයක් භාවිතා කරමින් පුද්ගලයෙකුට කොපමණ දුරක් ගමන් කළ හැකිද යන්න මෙන් ම වඩාත් සංකීර්ණ රුධිර වායූන් විශ්ලේෂණය වැනි මාධ්‍යයන් මගින් ද එලෙසින් විශ්ලේෂණය කිරීමට හැකි බවයි.

ගහනා රාජ්‍යයේ වෛද්‍ය සංගමයේ (GMA) උප සභාපති වෛද්‍ය Frank Serebour ද එම වීඩියෝව සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, එම ක්‍රමය මගින් පෙනහළු ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීමට හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් ගහනාහි කරුණු විමර්ශන කණ්ඩායමකට දක්වා තිබූ ප්‍රතිචාර සඳහන් වාර්තාව මෙතනින්.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැහැදිලි කර තහවුරු කර ඇත්තේ “කැස්සකින් හෝ අපහසුතාවයක් දැනීමකින් තොරව තත්පර 10ක් හෝ ඊට වැඩි කාලයක් ඔබේ හුස්ම රඳවා තබා ගැනීමට හැකි වීමෙන් ඔබ පෙනහළු සම්බන්ධ රෝගයෙන් මිදී ඇති බවක් සත්‍යාපනය නොවන බවත්, පෙනහළු පරීක්ෂා කිරීමට වෙනත් ක්‍රම ඇති බවත්ය. මෙම පැහැදිලි කිරීම විශේෂයෙන් COVID-19 වසංගතය අවස්ථාවේදී කොරෝනා වැළඳී ඇත් ද යන්න පරීක්ෂා කිරීමට මෙම ක්‍රමය අත්හදා බලන ලෙස සඳහන් කරමින් පළ වූ සටහන් වලට පිළිතුරු වශයෙන් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්. Archived Link

Also Read: FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ නොමඟ යවන සුළු වීඩියෝවක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

හුස්ම අල්ලාගෙන කෙතරම් වෙලාවක් සිටීමේ හැකියාව මත පෙනහළු වල නීරෝගීතාවය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව නොමග යවන සුළුයි. එවැනි ක්‍රියාකාරකමක් සිදුකිරීමෙන් පමණක් පෙනහළුවල සෞඛ්‍යසම්පන්න බව පරීක්ෂා කෙරෙන බවට වෛද්‍යවරුන් අතර පොදු පිළිගැනීමක් නොමැති අතර පෙනහළු පරීක්ෂා කෙරෙන වෙනත් ක්‍රම ඇති බවයි පෙනහළු, ශ්වසන සම්බන්ධ විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Avatar

Title:හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව මත පමණක් පෙනහළු වල නීරෝගීතාවය පරීක්ෂා කළ නොහැකියි!

Written By: Pavithra Sandamali

Result: Misleading