දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වංචනික ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් මෙම වංචාවන්ට ගොදුරු වෙන්නේ තමන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් ද, අහිමි කරගනිමින්. එලෙසින් ෆේස්බුක් හි පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් : 

“People s bank මහජන බැන්කුවෙ ඔන්ලයින් බැන්කින් හදා ගන්න ඔනි අය කවුද ඉන්නේ....??” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මේ පිළිබඳව විමර්ශනය කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මහජන බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් ලබා දෙන බව පවසමින් ජනතාවගේ තොරතුරු වංචනික අයුරින් ලබා ගැනීම උදෙසා ක්‍රියාත්මක වන ඉහත සඳහන් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව සංසරණය වෙමින් පවතිනවා.

මේ පිළිබඳ ව විමසා බැලීමට අප මහජන බැංකුවේ පාරිභෝගික අංශය සම්බන්ධ කර ගත් අතර, ඔවුන් පවසා සිටියේ මෙය වංචනික අයුරින් ක්‍රියාත්මක වන කල්ලියකගේ ක්‍රියාවක් බවයි. මහජන බැංකුව මාර්ගගත හෝ ඩිජිටල් ගිණුම් සෑදීම සඳහා පාරිභෝගික තොරතුරු ඉල්ලා සිටීමට කිසිදු තෙවන පාර්ශවයකට අවසර දී නොමැති බව ඔවුන් තහවුරු කළා.

මහජන බැංකුවේ නිල ෆේස්බුක් පිටුව හරහා ද, ඔවුන් මෙම වංචාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට අනතුරු අඟවා තිබූ අතර මෙවැනි ජාවාරම්කරුවන් වෙත ඔබගේ බැංකු ගිණුම් අංක, මුරපද වැනි රහසිගත තොරතුරු ලබා නොදෙන ලෙස ඔවුන් ඉන් ඉල්ලීමක් ද, සිදු කර තිබුණේ මෙලෙසින්.

පාරිභෝගිකයින් මෙම වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් විය යුතු අතර සමාජ මාධ්‍ය හරහා පළ වන මෙවැනි උපකාර අවස්ථා බවට හඟවමින් පළ වන සටහන් වලට හසු නොවී ප්‍රවේශම් විය යුතුය. ගිණුම් අංක, PIN හෝ මුරපද වැනි සංවේදී තොරතුරු නාඳුනන පුද්ගලයන් හෝ ආයතන සමඟ බෙදා ගැනීමෙන් වැළකිය යුතු අතර ඔබගේ ගිණුම් වලට ඇතුළත් වීමට හැකි තොරතුරු ඔබ ලබා දුන්නොත් එම ගිණුම් වල ඇති ඔබගේ මුදල් වංචාකරුවන්ට ලබා ගත හැකි වේ.

එමෙන් ම නීත්‍යානුකූල බැංකු සහ මූල්‍ය ආයතන මෙවැනි සමාජ මාධ්‍ය පණිවිඩ හෝ SMS පණිවිඩ මගින් මෙවැනි තොරතුරු ඉල්ලා නොසිටියි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න Facebook | Twitter |Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහජන බැංකුවේ ඩිජිටල් බැංකු පහසුකම් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වංචනික කල්ලියක් විසින් සිදු කරන වංචාවකි. තමන් වෙනුවෙන් අන්තර්ජාල බැංකු ගිණුම් නිර්මාණය කිරීමට තෙවන පාර්ශවයකට බලය ලබා දී නොමැති බව මහජන බැංකුව නිල වශයෙන් පැහැදිලි කර ඇති අතර තම ගනුදෙනුකරුවන්ට මෙම වංචාවලට ගොදුරු වීමෙන් වළකින ලෙස අවධානයෙන් සිටින ලෙසට ත් ඔවුන් අනතුරු අඟවයි.

Avatar

Title:ඔන්ලයින් ගිණුම් සෑදීමට මහජන බැංකු ගණුදෙනුකරුවන්ට සහය දක්වන බවට පළ වන ව්‍යාජ පෝස්ට් වලින් ප්‍රවේසම් වන්න!

Written By: Pavithra Sandamali

Result: False