දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලනඥයන් විසින් දේශාපලනික වේදිකාවේ සිදු කරන ප්‍රකාශයන් ඇසුරින් නොමග යවන සුළු අන්දමේ සටහන් නිර්මාණය කළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවයක් ඇත. මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ” යනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් පුවත් පතක පළ වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වුණා.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක සඳහන් කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.

එලෙසින් “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ” යනුවෙන් කුට්ටිආරච්චි මහතා පැවසූ ආකාරයේ පුවත් පතක පළ වූ ලිපියක් හෝ වෙනත් මාධ්‍ය ධාරාවක පළ වූ පුවතක් හෝ දැක ගන්නට නොලැබුණි.

නමුත් “සමලිංගික නීතිය නීතිගත කරන්නේ නැති අපේක්ෂකයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් Newsfirst නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබුණු බවට අප කළ පරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

නමුත් මෙහිදී ඔහු විසින් “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ” යනුවෙන් සඳහන් නොකරන බැවින් ඉහත සම්පූර්ණ වීඩියෝව පරීක්ෂාවට ලක් කිරීමට අප පියවර ගත්තා.

ඒ අනුව, පසුගිය ජූනි 29 වන දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසනයේ පැවති ජන රැලියක් අමතමින් මන්ත්‍රී වරයා සිදු කළ සම්පූර්ණ කතාවට අවධානය යොමු කළ ත්, ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රකාශයක් සිදු කර නොමැති බවට තහවුරු වුණා. එම රැළිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු පෙරමුණ නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබූ සජීවි ප්‍රකාශය මෙතනින්. එම අවස්ථාවේ තිස්සකුට්ටිආරච්චි මහතා සඳහන් කළ සම්පූර්ණ කතාව මෙතනින්.

තව දුරටත් අප මේ පිළිබඳව තහවුරු කර ගැනීමට මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර, ඔහු තහවුරු කළේ, තමන් එලෙසින් “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ” යනුවෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

කෙසේ වෙතත් ඔහු විසින් “සමලිංගික නීතිය නීතිගත කරන්නේ නැති අපේක්ෂකයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙන් සිදු කරන ලද මෙම ප්‍රකාශය ඔස්සේ ඉහත සඳහන් නොමග යවන සුළු සටහන් නිර්මාණය වී ඇති බවට පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

“සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ” යනුවෙන් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළ බවට පුවත් පතක ලිපියක් පළ වී නොමැති අතර ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. ඔහු විසින් සමුළුවකදී “සමලිංගික නීතිය නීතිගත කරන්නේ නැති අපේක්ෂකයා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා” යනුවෙන් කළ ප්‍රකාශය ඔස්සේ මෙලෙසින් නොමග යවන සුළු සටහන් නිර්මාණ වී ඇති බවට පැවසිය හැක.

Avatar

Title:සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading