දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින සැමරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ලිපියක් යනුවෙන් සඳහන් කරමින් පළවන සමාජ මාධ්‍ය සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
දමිළ මහවිරු දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ ඇති බවට පසුගිය 17 වනදා නිකුත් කරන ලද ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ දමිළ භාෂාවෙන් සංසරණය වූයේ මෙලෙසින්.
එහි සිංහල පරිවර්තනය මෙසේය.
“දිගු කලක් තම නිදහස වෙනුවෙන් සටන් කරන, ජීවිත දහස් ගණනක් අහිමි වූ දෙමළ ජනතාවට, සුබ පැතුම් එක් කරමි. මේ වසරේ සිට මේ නොවැම්බර් මාසයේ ඔබ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම දෙමළ ජනතාවට කිසිඳු බාධාවකින් තොරව සාමයෙන් හා ආරක්‍ෂාවෙන් ඉතා සාමකාමීව මළවුන් සැමරීමට පන්සල්, පාසල්, කාර්යාල සහ පොදු ස්ථානවලට රැස්විය හැකි සාමකාමී පරිසරයක් අද අප උදාකරගෙන ඇත. එවැනි සාමකාමී පරිසරයක් ස්වභාවධර්මය විසින් නිර්මාණය කර ඇති බව විශ්වාස කෙරේ”
මෙම ලිපිය රැගත් දමිළ වෙබ් අඩවියක්ද, මේ සම්බන්ධයෙන් පුවතක් පළ වී ඇති බව ට දැක ගන්නය ලැබුණේ මෙලෙසින්. Archived Link
මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සත්‍ය වශයෙන් ම මෙවැනි ලිපියක් නිකුත් කර තිබුණේ ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් පළ වී ඇති බව දැක ගන්නට නොලැබුණි.
විශේෂයෙන් ම ජනපති අත්සනින් යුත් ලිපියක් පළ වනවා නම් එය අනිවාර්‍යෙයන් මාධ්‍ය වෙත යොමු කරනු ලබනවා. නමුත් එවැනි ලිපියක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද, නිවේදනයක් නිකුත් කර නොතිබුණු බැවින් මෙහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අප ජනාධිපති මාධ්‍ය අංශය විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක් බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා විසින් කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් හෝ ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බවත්ය.
එමෙන් ම මෙවැනි ලිපියක් යොමු කරනු ලැබුවේ, කුමන පක්ෂයකට ද, යන්න ද සඳහනක් වී නොතිබුණු අතර ජනාධිපති අත්සනින් යුත් ජනාධිපති විසින් නිකුත් කරන නිවේදන නිල ලිපි ආකෘති හා සැසඳීමේදී ඉහත ලිපි ආකෘතිය වෙනස් බව දැක ගන්නට ලැබේ.
එම සත්‍ය ලිපි ආකෘතිය සහ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලිපි ආකෘතියේ ඡායාරූප අතර සංසන්දනය පහතින්.
Also Read : මැයි 18, ගාලු මුවදොර පිටියේදී සමරුවේ මියගිය කොටි සාමාජිකයින් ද ?
ආරක්ෂක අමාත්‍යාංශය
මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතාගෙන් අප විමසීමක් කළේ, ඉහත දමිළ වෙබ් වාර්තාවේ පෙන්වා දෙන පරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති පොලිස් ආරක්ෂාවේ ලිහිල් බව ක් මහ මැතිවරණයෙන් පසුව ඉවත් කළා ද, යන්නයි. ඒ මහතා සඳහන් කළේ, සෙසු ප්‍රදේශයන් වලට මෙන් ම මෙම ප්‍රදේශයට ද, ආරක්ෂාව ලබා දී ඇති බව ත්, විශේෂයෙන් ආරක්ෂාවක් අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවූ බවයි.
එස්. ශ්‍රීධරන්
ඉලංකෛයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු වරම් හිමි වූ එස්. ශ්‍රීධරන් මහතාගෙන් අප මේ පිළිබඳ විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, මහවිරු දින සැමරුම් සැමරීම සිදු නොකරන ලෙස ට හෝ සිදු කරන ලෙසට ජනාධිපති අනුර කුමාරගෙන් කිසිදු ලිපියක් නොලැබුණු බවයි.
ඒ මහතා පවසන්නේ 2020 වසරේ කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් එම සැමරීම සිදු නොකරන ලෙසට උපදෙස් ලැබුණ ත්, ඉන් පසු මෙම සැමරීම අඛණ්ඩව සිදු වන බවයි.
මෙම සැමරීම සඳහා LTTE නියෝජනය වන අයුරින් එහි වරණය අඩංගු ධජ මෙන් ම, LTTE සම්බන්ධ ගීත, ඡායාරූප නොමැති ව සැමරීම සඳහා උසාවියෙන් මීට පෙර නියෝග කළ අතර එම කරුණුවලට යටත් ව සැමරීම අඛණ්ඩව සිදු කරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ප්‍රාදේශිය වාර්තාකරුවන්
අප මේ පිළිබඳ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, මෙවර එම දිනය සැමරීම සඳහා කටයුතු සිදු කරන බවයි. මේ වන විටත් සැමරුම් සිදු කරන ස්ථාන වල ශ්‍රමදාන පවත්වමින් සුද්ද පවිත්‍ර කරන බව ද, ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
උතුරු පළාතේ මහවිරු දින සැමරුම් ඉතිහාසය
සෑම වසරකම නොවැම්බර් මස 27 වැනිදා පවත් වනු ලබනවා.
යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම පැවැත්වීම ආරම්භ කොට ඇති අතර, 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා ඇති බවට පුවත් වාර්තා පෙන්වා දෙනවා.
කිලිනොච්චිය කනගපුරම්,මුලතිව් මල්ලාවි,යාපනය කෝපායි,වවුනියාව ඊච්චන්කුලම,මන්නාරම වෙඩිතලතිව් යන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල්ටීටී සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවස්ථාවේදී එවකට එල්ටීටී සංවිධානයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු දින සැමරුම් වැඩසටහන් පවත්වා ඇති අතර එහිදී යුද්ධයෙන් මියගිය එල්ටීටී සාමාජිකයින් සිහි කරමින් මහවිරු ගීත ප්‍රචාරය කොට,මියගිය සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවය පිරිනැමීම සිදු කරනු ලබනවා. මේ සම්බන්ධනේ වැඩි දුර තොරතුරු මෙතනින්.
උතුරු නැගෙනහිර පළාතේ මහවිරු දින සැමරුම පැවැත් වීමට ඉඩ ලැබුණාද?
1982 වසරේ නොවැම්බර් 27 සිට පවත්වන මෙම දමිළ උත්සවය යුද්ධය දිනා ගැනීමට පෙර කොටි සංවිධානය උතුරේ බලයේ සිටින විටදී බොහෝ උත්සවාකාරයෙන් සමරන ලැබුවත් රාජපක්ෂවරුන් පාලනය කළ රජය යුද්ධය දිනා ගැනීමෙන් පසුව 2009 සිට වසර 7ක් පුරා එය සැමරීමට සම්පූර්ණයෙන්ම තහනම් වුණා.
නමුත් 2015 වසරේදී යහපාලන රජය බලයට පැමිණි පසුව මහවිරු උත්සවය පැවැත්වීමට එම රජය ඉඩ ලබා දුන් අතර 2016, 2017, 2018, සහ 2019 වසර වල සැමරීම සිදු කර තිබුණා.
නමුත්, 2019 වසරේ මහවිරු සැමරුම් වෙනුවෙන් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරුමක් සිදුවන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් පූර්ණ අධීක්ෂණයකට ලක් කොට ඇති අතර එවැනි තහනම් සැමරීමක සිදු කරනු ලබන්නේ නම් එම පිරිස් වෙනුවෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්.
මෙම ‘මවීරාර් නාල්’ යනු සැබෑ ලෙසම දමිළ ඊළාම් යුද්ධයේදී මියගිය ත්‍රස්තවාදීන් සැමරීම සඳහා පවත්වනු ලබන උත්සවයක් වුවත්, එහිදී ත්‍රස්තවාදීන්ට අමතරව යුද්ධයේදී මියගිය අනෙකුත් සිවිල් ජනතාවද සැමරීම සිදුකරයි. එහෙත් ප්‍රධාන අර්ථය නම් ඔවුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමයි.
2020 නොවැම්බර් 27 වැනිදා ‘මහවිරු දිනය’ සැමරීම සඳහා ඇතැම් පාර්ශ්ව විසින් මෙම නොවැම්බර් 26 සහ 27 යන දිනවල මෙම මහවිරු උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම හේතුවේ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ උතුරු ප්‍රදේශයේ මෙවැනි කිසිදු උත්සවයක් පැවැත්වීමට අවස්ථාවක් නොමැති බවත්, එසේ කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත්ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයේ සාමාජිකයන් සැමරීමට කිසිදු පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අවස්ථාව ලබා නොදෙන බවත්ය.
2021, 2022 යන වසර වලදී ත් මෙම දිනය සමරා තිබුණු බවට වෙබ් වාර්තා පෙන්වා දුන්නේ, මෙලෙසින් සහ මෙලෙසින්.
2023 වසරේ යාපනයේදී මහවිරු උලෙළ සැමරීම එහිදී යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් 24,379කගේ නාමාවලියක් හා ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබුණු අතර උතුරේ පොලිසි විසින් අධිකරණවලට ඉදිරිපත් කරන ලද වාර්තාවන් සැලකිල්ලට ගෙන සෑම අධිකරණයකින්ම මහවිරු උලෙළ පැවැත්වීම තහනම් කොට ඇතත් පේදුරුතුඩුව පොලිසිය විසින් පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අධිකරණ වාරණ නියෝගයක් ලබා ගැනීම සඳහා වූ පෙත්සම ප්‍රතික්ෂේප කොට තිබුණා. ඒ අනුව පේදුරුතුඩුව අධිකරණ බලප්‍රදේශය තුළ මහවිරු උලෙළ පැවැත්වීමට නීතියෙන් බාධාවක් නොවුණි. ඒ සම්බන්ධ වාර්තා මෙතනින් සහ මෙතනින්.
Also Read : இலங்கையில் மாவீரர் தினத்தை நடத்த ஜனாதிபதி அநுரகுமார திஸாநாயக்க முழு அனுமதி வழங்கினாரா? உண்மை என்ன?
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, උතුරු පළාතේ නොවැම්බර් 27 දා සිදු කරන මහවිරු උලෙළ සැමරීමට කිසිදු බාධාවක් නොමැති බව දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය අත්සනින් යුත් ලිපියක් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරන අතර, එම ලිපිය වත්මන් ජනාධිපතිගේ නිල ලිපි ආකෘතිය නොවන බව ද, දැක ගන්නට ලැබෙන අතර මෙය ව්‍යාජ ලෙසින් නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවට පැවසිය හැක.

Title:දමිළ ‘මහවිරු’ දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
