දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දියණියක් සොයාදෙන ලෙස දක්වමින් මේ දිනවල කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන අතර ඒ පිළිබඳව බොහෝදෙනා විමසිලිමත්වන බව අපට නිරීක්ෂණය වුණා. එමෙන් ම එම සිදුවීම සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා බලන ලෙස අප වෙත පැමිණි ඉල්ලීම් කිහිපයක් ද මුල් කරගනිමින් මෙම සිදුවීමේ සත්‍යතාව පිළිබඳව අප කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
මාතර වලස්මුල්ල ප්‍රදේශයේදී තම දරුවා අතුරුදන්වූ බව දක්වමින් තම දරුවාව සොයාදෙන ලෙස සටහන් කළ සමාජ මාධ්‍ය සටහනක් පසුගිය 28 වනදින පළ කර තිබුණා. එහි දරුවා හමු වුවහොත් දැනුම්දීමක් සිදුකරන ලෙස දුරකතන අංකයක් ද සටහන් කර තිබුණු අතර බොහෝදෙනා එම සටහන ෆේස් බුක් ඔස්සේ හුවමාරු කරගෙන ද තිබුණේ මේ අයුරින්.
මෙම සටහන පළ කර තිබූ ගිණුමෙන් ම නැවතවරක් මෙම දියණියගේ ම ඡායාරූප යොදාගෙන ඊයේ(29) සටහනක් පළ කර තිබුණු අතර එහි සඳහන් වුණේ, තමා මෙම දරුවාගේ පියා ලබාදුන් තොරතුරු අනුව මෙම සටහන තැබූ බවයි. එනම් මුලදී ඔහු මෙම දියණියගේ පියා ලෙස හැඟවෙන අයුරින් සටහන පළ කර තිබූ නමුත් නැවතවරක් මෙම සටහනින් දක්වා තිබුණේ මෙය උපුටා ගැනීමක් බවයි. කිසිඳු ලාබ ප්‍රයෝජනයකින් තොරව සිදු කරන ලද දෙයක් බවත් දියණිය සොයා ගැනීමට උදව්කරන ලෙසත්, එහි දක්වා තිබුණා. එම සටහන පහතින්,
මෙවැනි අයුරින් සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබූ නිසාවෙන් බොහෝදෙනෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් සැක සහිත බවටත් මෙය අසත්‍ය බවටත් අදහස් දක්වා තිබුණා.
මෙලෙස සමාජ මාධ්‍යයේ හුවමාරුවන මෙම සටහන්, ඡායාරූප සත්‍යක් ද යන්න අප කරුණු විමර්ශණයක් සිදුකළේ මේ අයුරින්.
කරුණු පැහැදිලි කිරීම (Explanation)
අප කළ සොයා බැලීමේදී අපට නිරීක්ෂණය වුණේ,කවිඳු ජනජය නමින් ඇති ෆේස් බුක් ගිණුමක මෙම දියණියගේ ඡායාරූප පළ කර ඇති ආකාරයයි. නමුත් මෑත කාලීනව එම දියණියගේ ඡායාරූප එම ගිණුමේ පළ කර නොතිබුණු අතර දියණිය සොයාදෙන ලෙස හෝ එහි කිසිඳු සටහනක් පළ කර තිබුණේ ද නෑ.
නමුත් මෙම ගිණුමේ පදිංචිය සඳහන් කර තිබුණේ වලස්මුල්ල යනුවෙන්. මෙම දියණිය අතුරුදන් වූ බවද සඳහන් කර තිබුණේ මාතර, වලස්මුල්ල ප්‍රදේශයේදී ය.
කෙසේ වෙතත් අප වැඩි දුරටත් මේ පිළිබඳව සොයා බැලූ අතර, එහිදී දියණිය සොයාදෙන ලෙස දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්කර තිබූ දුරකතන අංකය අප True Caller ඔස්සේ පරීක්ෂා කළා. එහිදී දියණියගේ ඡායාරූප පළ කර තිබුණු ෆේස් බුක් ගිණුමේ සඳහන් නම එනම්, කවිඳු ජනජය යන නමම එම දුරකතන අංකයේ හිමිකරුගෙ නම ලෙස ද සඳහන්වී තිබුණා. කවිඳු ජනජය නමින් ඇති ෆේස්බුක් ගිණුමේ තිබූ ඡායාරූපවල දැක්වුණු පුද්ගලයාගේ යැයි කිව හැකි ඡායාරූපයක් ම මෙම දුරකතන අංකයේ හිමිකරුගේ ඡායාරූපය ලෙස ද සටහන්ව තිබුණේ මෙලෙසින්.
අප මෙම දුරකතන අංකයට ඇමතුමක් ලබාගත් අතර එහිදී කවිඳු ජනජය යන පුද්ගලයා අපට තහවුරු කර සිටියේ තමා මෙම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන දියණියගේ පියා වන බවයි. ඒ අනුව තම දියණියට වයස අවුරුදු හතරාමාරක් වන බවත්, දියණියව ඇගේ මව එනම් මෙම පුද්ගලයාගේ බිරිඳ රැගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා. එබැවින්, මේ වන විට මව සහ දරුවා දෙදෙනාම සොයන බවයි ඔහු පැවසුවේ, එමෙන් ම මේ වනවිට ඔවුන්ට ළඟ ම පොලිසිය එනම්, කටුවන පොලිසියට පැමිණිලි කර ඇති බවත් ඔහු අපවෙත සඳහන් කළා.
ඒ අනුව කීර්තිකා දමයන්ති යනු තම බිරිඳගේ මව බවත්, තම බිරිඳ දියණියව ද රැගෙන නිවසින් යාමට පෙර සිට ඇත්තේ ඇයගේ මවගේ නිවසේ බවත්, එබැවින් බිරිඳගේ මව මෙම පැමිණිල්ල කටුවන පොලිසියට සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළා.
තම බිරිඳට අනියම් සම්බන්ධතාවයක් ඇති බවත්, දරුවා ද රැගෙන එම පුද්ගලයා වෙත ගොස් ඇති බවටත් ඔවුන් සැකකරන බව ඔහු පවසනවා. දරුවාව තම බිරිඳ රැගෙන ගිය දිනයේ ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත්, එහිදී ඇය කඩවත ප්‍රදේශයේ සිටින බවත්, ඔහුට පවසා තිබෙන නමුත්, මේ වන විට ඇයගේ දුරකතන ක්‍රියා නොකරන බව ඔහු අප වෙත පැවසුවා.කොළඹ අවට ප්‍රදේශවල සෝදිසි කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
බිරිඳගේ අනියම් සබඳතාව තිබෙන පුද්ගලයාගෙන් ද මේ පිළිබඳව විමසා තිබෙන නමුත් එලෙස තම බිරිඳ සහ දරුවා ඔහු වෙත නොපැමිණි බව එම පුද්ගලයා පවසා තිබෙනවා.
තම දරුවා පිළිබඳ තොරතුරක් ලදහොත් දන්වන ලෙසත් ඔහු අපගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීමට අදාළ බව සඳහන් කරමින් පොලිස් පැමිණිල්ලක ඡායාරූප පළකර තිබුණේ මෙලෙසින්.
මෙම ඡයාරූපවල දැක්වෙන තොරතුරු අනුව කීර්තිකා දමයන්ති නම් කාන්තාවක් ඉෂා රිද්නි හංසමාලිකා නම් තම දියණිය, අවුරුදු හතරාමාරක මිනිබිරිය වන තෙසදි දිලීෂා යන අය රැගෙන නිවසින් යාම පිළිබඳව පැමිණිලික් 2024.12.28 දින පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.
මේ හේතුවෙන් අප ඒ පිළිබඳව මෙම පැමිණිල්ලේ සටහන් වන පොලිස් ස්ථානයෙන්ද විමසීමක් කිරීමට පියවර ගත්තේ මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමටයි.
කටුවන පොලිස් ස්ථානාධිපති
කටුවන පොලිස් ස්ථානාධිපති පැවසුවේ, මෙය සත්‍ය සිදුවීමක් බවයි. පසුගිය දෙසැම්බර් 28 වන දින මෙම පැමිණිල්ල ලැබී ඇති බව ඔහු අප වෙත තහවුරු කළා.
මෙය පැහැර ගැනීමක් නොවන බවත්, වයස අවුරුදු 22ක් වන මව අවුරුදු හතරාමාරක් (4 2/1) වන දියණියව රැගෙන ගොස් තිබෙනවා.
මවට අනියම් සබඳතාවක් පවතින බවත්, මීට පෙර ද මව මෙලෙස සිය අනියම් පෙම්වතා වෙත ගොස් මාස තුනක් පිළියන්දල ප්‍රදේශයේ සිට තිබෙනවා.
පොලිසිය ද මැදිහත් වී අවවාද කර නැවත එම මව පැමිණ තිබෙන අතර නැවත මාස 4කට පසු මෙලෙස සිය දියණිය ද රැගෙන ගොස් ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා අප වෙත සඳහන් කළේ.
පොලිසිය ද සැක කරන්නේ නැවත අනියම් පෙම්වතා වෙත මෙම මව දරුවා ද රැගෙන ගිය බවටයි. නමුත් එම පුද්ගලයා පවසා ඇත්තේ, ඔහු වෙත මෙම මව සහ දරුවා නොපැමිණි බවයි.
පොල්ස් ස්ථානාධිපතිවරයා පවසන්නේ, මොහු බොරු පවසන බවට පොලිසිය සැක කරන බවයි. කෙසේ වෙතත් දරුවා සහ මව සෙවීම් කටයුතු සිදුවන බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.
මෙම දරුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ මේසන් වැඩ සඳහා අත් උදව් දීම් සිදුකරන අයෙක් බවත් කටුවන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා. ඒ බව කවිඳු ජනජය නම් ෆේස් බුක් ගිණුමේ පළ කර ඇති ඡායාරූප ඔස්සේ ද පැහැදිලිවනවා.
මේ අනුව පැහැදිලි වන්නේ, දියණියක් අතුරුදන්ව ඇති බවට සඳහන් කරමින් පළවන ඡායාරූපවල දැක්වෙන දියණියව, සිය මව රැගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව මෙය පැහැර ගැනීමක් නොවන බව පොලිසිය තහවුරු කරනවා. එනම් දියණිය එකවර අතුරුදන් වීමක් නොව ඇයගේ ම මව විසින් ඇයව රැගෙන යාමක් මෙහීදී සිදුව ඇත. කෙසේ නමුත් මේ වන විට එම මව සහ දරුවා පිළිබද තොරතුරක් මෙතෙක් හමු වී නෑ.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:මාතර වලස්මුල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියගේ සිදුවීම සත්‍යක් ද?
Written By: Piumika LakshaniResult: Insight
